කච්චතිව් මංගල්‍යය අද සහ හෙට

53

ඉන්දු – ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද (23 දා) සහ හෙට (24 දා) නාවික හමුදාවේ සහාය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

යාපනය පදවියේ රදගුරු ජස්ටින් ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් මෙම දේව මංගල්‍යය පැවැත්වේ. වාර්ෂික දේවමංගල්‍යයට අදාළ කටයුතු යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් සූදානම් කර ඇත.

සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීම ද සිදුකර තිබේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් කාංචන බානගොඩගේ අධීක්ෂණයෙන් මෙම කටයුතු සිදුකෙරේ.

බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීම ද නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි.

වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා මෙම වසරේ ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයින්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදින් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇතැයි ද නාවික හමුදාව පවසයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment