ජීවිත උඩින් යන සුනාමිය!

43

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ඉලක්කකොට එරට හමුදා පාලනය විසින් නොනිල හා නිල මාධ්‍ය වාරණයක් දියත් කොට තිබෙන්නේ වෛරී ප්‍රකාශ ප්‍රචාරය නොකළයුතු බවට වන වගන්තියකට මුවා වෙමින්. ඒ විතරක් නෙවේ, එරට මාධ්‍ය නියාමන කොමිසම විසින් සියලු මාධ්‍ය වෙත නිකුත් කොට ඇති නිවේදනයක සඳහන් වෙන්නේ වෛරී ප්‍රකාශවලට ඉඩ නොතැබිය යුතු බවයි. එහි ප්‍රතිඵලයක් විදිහට එරට කිසිම මාධ්‍යයක් මේ වන විට හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කටහඬ හෝ ප්‍රකාශ හෝ පළකිරීමෙන් වැළකී සිටිනවා.

එය මාධ්‍ය නිදහස ඉලක්ක කරගත් බරපතළ තත්ත්වයක්. අනෙක් අතට භාෂණයේ නිදහසට සහ තොරතුරු දැනගැනීමේ නිදහසට මුඛවාඩම් දැමීමක්.

ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධී බව වැනි කරුණු කාරණා හේතුකොට ගෙන ලෝකයේ බොහෝ රටවල්වල පාලන ක්‍රමයන්ට එරෙහිව ජන අරගල ඉස්මතු වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ පවා ඇතැම් බලලෝභී පාලකයන් ස්වකීය පැවැත්ම තහවුරු කරගැනීම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට යොමු වීම ඔවුන් විසින්ම ඔවුන්ගේ අවසානය සනිටුහන් කර ගැනීමක් ලෙස තමයි සැලකිය හැකි වන්නේ.

අපේ රටත් එවැනි ඛේදවාචකයක් වෙත දැන දැනම අත දිගුකරමින් සිටිනවාද යන්න පිළිබඳව සාධාරණ සිතුවිල්ලක් පහළ වෙමින් තිබෙනවා.

ජනතා අරගල ඉදිරියේ බලය අතහැර යන්නට වූ පාලනය වෙනුවට අනුප්‍රාප්තික පාලනය විසින් අපේ රට ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් වෙත තල්ලු කරමින් සිටිනවා.

ත්‍රස්ත විරෝධී පනත, පුනරුත්ථාපනය පිළිබඳ පනත, මැතිවරණ සංශෝධන පනත, විකාශන නියාමන අධිකාරී පනත වැනි පනත් කෙරෙහි අවධානය යොමු කරමින් ලංකාවේ ආණ්ඩුවත් සැරසෙන්නේ පාකිස්තානු මිලිටරි ආණ්ඩුවේ ස්වභාවයම කරලියට ගෙන එන්නට බව පෙනෙන්නට තිබෙනවා.

එක් අතකින් දරාගත නොහැකි ජීවන වියදම හේතුකොටගෙන ජනතාව දිනෙන් දින ප්‍රපාතයට සහ පීඩනයට තල්ලු වෙමින් සිටිනවා. දරාගත නොහැකි කුසගින්න, උහුලාගත නොහැකි ජීවන වියදම, අනාගතය පිළිබඳව නිශ්චිත බවක් නැති අවිනිශ්චිත ස්වරූපය, ලබාගත් අධ්‍යාපනයට සුදුසු රැකියාවක් නොමැතිකම හේතුකොටගෙන තරුණ ප්‍රජාව තුළ ඇතිවී තිබෙන අපේක්ෂාභංගත්වය, දේශීය හෝ විදේශීය බලපෑම් මත ආණ්ඩුව විසින් ජනතාවගේ හිස මත පටවන අධික ජීවන බර වැඩි කාරණා හේතුකොට ගෙන රටේ සමස්ත ජනතාව බරපතළ පීඩනයක ගිලී සිටිනවා.

ඒ පීඩනය එසේ තිබියදී, අනෙක් අතින් ප්‍රජාතන්ත්‍රවාදය මානව නිදහස සංහිඳියාව දෙදරා සසලවී යන මට්ටමේ උපක්‍රමශීලී මර්දනයක් ආණ්ඩුව දියත් කරමින් සිටිනවා.

මේ 1948 නිදහස ලැබුවාට පසුව ලංකාව මුහුණ දුන් වඩාත්ම බරපතළ අර්බුදයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටිමින් තමයි අදාළ ණය ලබා දීම සිදු කරන්නේ. එහිදී රටට පනවා ඇති කොන්දේසි සරල සහ සැහැල්ලු නැහැ. එහි ආදීනවත් භුක්තිවිදීමට සිදුව තිබෙන්නේ රටේ අහිංසක ජනතාවට ම යි.

ජනතාව මුහුණ දෙන අර්බුදයේ තරම පිළිබඳව හාස්‍යජනක සටහනක් පසුගිය දිනවල සමාජජාලවල හුවමාරු වෙමින් තිබුණා.

“මේ යන විදිහට ජීවත් වෙන්න නම් උදේ රස්සාවක් කරලා, හවස රස්සාවක් කරලා, දඩයමේ ගිහිල්ලා, පාන්දරත් රස්සාවක් කරන්න වෙනවා”

මේ හාස්‍යජනක සටහන තුළ ඇත්තේ හාස්‍යයට වඩා බරපතළ ඛේදවාචකයක්.

ජීවත්වීමේ සටන ජයග්‍රහණය කිරීම කෙසේ වෙතත් සටනෙන් බේරී සිටීම සඳහා ජනතාවට අප්‍රමාණ කැපකිරීම් කරන්නට සිදුව තිබෙනවා.

ඩොලර් ගැටලුව දඩමීමා කරගෙන දේශීය නිෂ්පාදන දිනෙන් දින ඉහළ යෑම නිසාත් ජනතාවට විශාල පීඩාවක් වෙලා. සබන් කෑල්ලේ සිට පාවිච්චි කළ වාහනය දක්වා මිල ගණන් සතිපතා ඉහළ යනවා. දරාගත නොහැකි විදුලි බිල, ජල බිල පමණක් නොවේ බැංකුවලින් ගත් ණය මුදලක පොලිය පවා අදහාගත නොහැකි තරම් ඉහළ ගිහින්.

එක්තරා තරුණියකට බැංකුවකදී දැකගන්නට ලැබුණු සිදුවීමක් පසුගිය දිනක සමාජ ජාල ගිණුමක පලවී තිබුණා.

“අම්මා කෙනකුයි ළදරු පාසල් යන වයසේ දුවෙකුයි බැංකුවට ආවා. ඒ අම්මා එතනදිම අර සිඟිති දියණියගේ කන් දෙකේ තිබුණු පුංචි අරුංගල් දෙක ගලවලා පරෙස්සමෙන් අරගෙන බැංකු නිලධාරිනිය අතේ තිබ්බා. අර පුංචි දැරිය විපිළිසර ඇස්වලින් බලාගෙන හිටියා. බැංකුවෙන් එළියට එන්න ආවා. බැංකුවේ දොරටුව ළඟ දී ඒ දියණිය එයාගේ අම්මගෙන් මෙහෙම ඇහුවා.

“අම්මේ අම්මේ ඇයි මගෙ කරාඹු දෙක ඒ ඇන්ටිට දුන්නේ. එයා ඒක තියාගත්තනෙ” කඳුළු පුරවාගෙන සිඟිති දියණිය එහෙම අහනකොට මගේ පපුව කඩාගෙන වැටුනා.

මේ සටහන මම දුටුවේ සමාජ ජාලයක හුවමාරු වෙමින් තිබියදී.

අපේ රටේ මිනිස්සු මොන තරම් අසරණ වෙලාද? මේ අසරණ කමට විසඳුම් දෙනවා වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ජීවිත සමඟ සූදු කෙළීම නම් ඒ අපරාධයට ආණ්ඩුවට වන්දි ගෙවන්නට සිදුවෙනවාට කිසිම සැකයක් නැහැ.

මේ ආණ්ඩුව රට තල්ලු කරගෙන යමින් සිටින්නේ “අධිපතිවාදි සුනාමියක්” දෙසට බවයි අපේ හැඟීම වන්නේ.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment