බෙග් මාස්ටර් ජීවත් වුණේ සිංහල බෞද්ධ ජනතාව හින්දා – ඉෂාක් මොහිදීන් බෙග්

258

ගොඩක් දෙනෙක් කියන්නේ මේක බෙග් මාස්ටර්ගේ මාසය කියලා
වෙසක්, පොසොන්, ඇසළ සමරන්නේ නැහැ කිව්වොත් මට මාර දුකයි
අපේ රටේ ස්වාමීන්වහන්සේලාට මම ණයගැතියි

බක් මාසය අවසන් වීමත් සමඟ මේ උදාවන්නේ වෙසක් මාසයයි. වෙසක් මාසය ආරම්භ වන පළමු සතියේදීම මෙවර සම්බුදු තෙමඟුල සැමරීම උදා වී තිබේ. ඉතිං මේ උදා වී ඇත්තේ අල්හාජ් මොහිදීන් බෙග් ගායකයාගේ මාසයයි. වෙසක් මාසයේ සිට ඇසළ මාසය දක්වාම ඔහු ගැයූ ගීත නිතර නිතර අපට අසන්නට ලැබේ. තොරණ, දන්සල් හි ශබ්ද විකාශන යන්ත්‍රවලිනුත්, සෑම ගුවන්විදුලි නාලිකාවකිනුත් වාගේම රූපවාහිනියෙන් ද මේ ගීත නිතර අසන්නට සහ දකින්නට ලැබේ. ඔහු මියගොස් දශක තුනක පමණ කාලයක් ගෙවී ඇති නමුත් අදටත් මේ ගී හඬ රැව් දේ. තවමත් ඔහු ගැයූ ගීතවල ජනප්‍රියත්වය අඩුවක් නැත. ඒ නිසාම වේදිකාවේ ද තවම මොහිදීන් බෙග් ගායකයාගේ ගීතවලට හොඳ ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම සපුරාලන්නට ඔහුගේ පුත් ඉෂාක් බෙග් එක්වී සිටී. ඉතිං මේ සම්බුදු තෙමඟුල සමරන අද දිනයේදී අපි ඔහුට ආරාධනා කළේ ඒ අතීත මතකයන් යළි අවදි කරවීමටයි.

බෙග් මාස්ටර් ජීවත් වුණේ සිංහල බෞද්ධ ජනතාව හින්දා - ඉෂාක් මොහිදීන් බෙග්

මෙවර වෙසක් මාසයේ ඉෂාක් බෙග්ට මොනවගේ ආරාධනා ද ලැබිලා තිබෙන්නේ?

මේ අවුරුද්දේ මම ගොඩක් වැඩ කළා. මොකද කලබල නැති කාලයක්නේ මේක. සිංහල අවුරුද්දත් මිනිස්සු හොඳට සැමරුවා කියලා හිතනවා. ඒ වගේම අපේ නෝම්බි අවුරුද්දත් මිනිස්සු හොඳට සැමරුවා. ඉස්සර වගේ ජයටම නැති වුණත් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට පුළුවන් විදිහට මෙදාපාර අවුරුද්ද සැමරුවා.

පසුගිය අවුරුදු පහක වගේ කාලයක් අපි ගොඩක් දුක් වින්දා. දැන් ඒ ප්‍රශ්න සියල්ල අහවරයි කියලා හිතනවා. පසුගිය දවස් ටිකේ අපි අලුත් ගීතයක් එළිදැක්වූවා.

මොකක්ද ඒ ගීතය?

ඩාර්ලිබට්ලර් ආයතනයේ අනුග්‍රහයෙන් අම්රිතා බැති ගීත එකතුවට තමයි මගේ ගීතයත් පටිගත කළේ. ගීතය සංගීතවත් කළේ නාලක අංජන කුමාර විසින්. ‘දිය මත මියයන පෙණ බුබුලක් සේ’ කියලා තමයි ගීතය නම්කරලා තියෙන්නේ.

සෑම වෙසක් කාලයකදීම තොරණ, දන්සල්වලදී ශබ්ද විකාශන යන්ත්‍රවලින් ඔබේ පියාගේ ගීතයි ඇසෙන්නේ. මොකද ඒ ගැන හිතෙන්නේ?

මේවා ඇත්තටම නිමාවෙන දේවල් නෙමෙයිනේ. ඇත්තටම බෞද්ධ දර්ශනය කියන්නේ සත්‍ය දෙයක්නේ. මම සින්දු කිව්වා කියලා නෙමෙයි, මේ දර්ශනය දශක ගණනාවක් පවතිනවා. අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර්ගේ හඬ රැව්දෙන්න ආරම්භ වෙන්නේ බක් මාසයෙන්. ඊට පස්සෙ ඇසළ මාසය දක්වාම ඒ හඬ රැව්දෙනවා. ඉතිං මේ වෙලාවේ බෙග් මාස්ටර්ගේ ගීත රචනා කළ රචකයන් වගේම සංගීතවත් කළ සංගීතඥයන් පවා මතක් කළ යුතුමයි. මේක තුන්දෙනකුගේ බැඳීමකින් තමයි නිර්මාණය වෙන්නේ.

ජනතාව බලාගෙන ඉන්නවා අපි මේ ගීත දිගටම ගායනා කරනවාද කියලා. මේ වෙසක් මාසය විශේෂයෙන් අපේ පවුලට සුවිශේෂියි. ගොඩක් දෙනෙක් කියන්නේ මේක බෙග් මාස්ටර්ගේ මාසය කියලයි.

බෙග් මාස්ටර් ජීවත් වුණේ සිංහල බෞද්ධ ජනතාව හින්දා - ඉෂාක් මොහිදීන් බෙග්

බෙග් මාස්ටර්ගේ ගීත ආරක්‍ෂා කරගන්න ඔබ මොනවද කරන්නේ.

බෙග් මාස්ටර්ගේ ගීත රැකගන්න තියෙන්නේ. ඒක කරන්න ඕනෑ ගුවන්විදුලි සංස්ථාව, රූපවාහිනී මාධ්‍ය විසිනුයි. ඔවුනුත් ඒක කරනවා. මට තියෙන්නේ මේ ගීත යළි යළි ගායනා කරලා එදා හඬ මම යළිත් අලුත් පරම්පරාවලට ද අහන්න ලබා දෙන්න. බෙග් මාස්ටර්ගේ ගීතවලට වැඩි හරියක් ආදරය කරන්නේ සිංහල බෞද්ධ ජනතාව. ඒක වචනවලින් විස්තර කරන්න බැහැ. බෙග් මාස්ටර් ජීවත් වුණේ සිංහල බෞද්ධ ජනතාව හින්දා. මම බැති ගී සරණියකට ගොඩවෙනකම් බෞද්ධ ජනතාව වගේම පන්සල්වල ස්වාමීන්වහන්සේලා බලාගෙන ඉන්නවා.

ඉෂාක් බෙග්ට නාලිකාවලින් ලැබෙන ඉඩකඩ අඩුද?

අලුත් ගීතයක් නිර්මාණය කළාම සාමාන්‍යයෙන් ඒක මාධ්‍ය මගින් හොයලා හරි ප්‍රචාරය කරනවා. ඒ කාලෙ නම් බෙග් මාස්ටර් ගුවන්විදුලි සංස්ථාවේම ගීත පටිගත කරපු නිසා ඒවා එහිම හරියට වාදනය වුණා. ඒකෙන් තමයි බෙග් මාස්ටර් ජනප්‍රියත්වයට පත්වුණේ. නමුත් අපි ගීත නිර්මාණය කළාම මාධ්‍ය මගින් නිතර ඇහෙන්නේ නැහැ. මාධ්‍යවලිනුත් කියන්නේ ඒ ගිත ප්‍රචාරය කරන්න අපි ඔවුන්ට ලබා දුන්නේ නැහැ කියලයි. මම මේ ඊයේ පෙරේදා රූපවාහිනියෙන් පවා දුටු ස්වාමීන්වහන්සේ නමක් කියනවා, වෙසක් මාසය කියලා ඒ දවස් දෙකට විතරක් ගීත දෙකක් විතර ප්‍රචාරය කරලා නවත්වන්න එපා, වෙසක් මාසය පුරාවටම ඒ ගීත ජනතාවට ඇහෙන්න සලස්වන්න කියලා. බෞද්ධ වැඩසටහනක් විතරක් කරලා මේ වෙසක් මාසය එක දවසකට සීමා කරන්න එපා කියලත් දේශනා කළා. වෙසක් බැති ගී නිතර ජනතාවට ඇසෙන්න සැලැස්විය යුතුයි. නටන, ගයන ගීත අනෙක් දවස්වලට ප්‍රචාරය කරන්න කියලා මම නාලිකාවලින් ඉල්ලනවා. වෙසක් මාසයේ අනිවාර්යයෙන්ම මාධ්‍යයෙන් බැති ගී වැඩිපුර ඇසීමට සැලැස්විය යුතුයි. නැතිනම් වෙසක් කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ.

පියා ගායනා කළ ගීත අතුරින් ඔබ වැඩිපුර කැමති මොන ගීතවලටද?

බුද්ධං සරණං ගච්චාමි, සුහදේ, බුදුන්ගේ අමා ධර්මේ වගේ ගීත රැසක් තියෙනවා. තාත්තා ගායනා කළ ගීත එකක්වත් අයින් කරන්න බැහැ. බෞද්ධ ජනතාවගෙන් මට විශිෂ්ට පිළිගැනීමක් තිබෙනවා. මම මේ ගීත ගායනා කරන්නේ බෞද්ධ ජනතාවට. බෞද්ධ ජනතාවගේ මට තිබෙන ආදරය අඩුවෙලා නැහැ, එන්න එන්නම වැඩිවෙලා. තාත්තාගේ මට්ටමට නැතිවුණත් ඒ කිට්ටුවට හරි යන්න පුළුවන්කමක් ඇතිවෙලා තිබෙනවා. මට වේදිකාවකට ගොඩවුණාම සින්දුවක් දෙකක් කියලා බහින්න විදිහක් නැහැ. සින්දු දහයක් පහළොවක් විතර කියලා තමයි බහින්න වෙන්නේ. අපේ රටේ ස්වාමීන්වහන්සේලාට මම හිසනමා ආචාර කරනවා. මොකද ස්වාමීන්වහන්සේලා මාව අමතක කරලා නැහැ. හැම පන්සලකින්ම වගේ බැති ගී සරණිවලට මට ආරාධනා කරනවා. අපේ රටේ ස්වාමීන්වහන්සේලාට මම ණයගැතියි. පසුගිය දවස්වල මම ලන්ඩන්වල පන්සලක වැඩසටහනකට පවා සහභාගි වෙලා ආවේ. ඒ වගේම තවත් බැති ගී වැඩසටහන් රැසකට සහභාගි වුණා.

මම ලාංකිකයෙක්. කොහේ හිටියත් පිළිගැනිමක් තිබෙනවා. ගමේ මට විශේෂ පිළිගැනීමක් තියෙනවා. මම දැන් පදිංචිවෙලා ඉන්නේ කොලොන්නාවේ. අනික බෙග් කියලා කිව්වහම ගමකට සීමා වෙන්නේ නැහැ. මුළු රටටම මා අයිතියි. ඒ වගේම පිළිගැනිමක් තියෙනවා. අනෙක් ගායකයන්ට ඒ පිළිගැනීම තියෙනවාද නැද්ද කියන්න මම දන්නේ නැහැ. මට කවදාවත් කවුරුවත් ඉෂාක් කියල කියන්නෙත් නැහැ. මාව කට්ටිය දන්නේ බෙග් මාස්ටර්ගේ පුතා කියලා තමයි.

මම මේ වෙසක් දවස්වල බැති ගී සරණිවලට තිස්සමහාරාමය වෙනකම් යනවා. වෙසක් බැති ගී කොතැනද සංගීතවත් කරන්නේ, මම එතැන ඉන්නවා.

වසංගතයත් සමඟ පසුගිය කාලයේ බොහෝ ගැටලුවලට එහෙම මුහුණ දුන්නා නේද?

ඒ කාලය අපි පහුකර ගත්තා. මොනවා කරන්නද. මේ සියල්ලම ස්වභාව දහමින් ලැබෙන දේවල්. දැන් හොඳ කාලයක ආරම්භයක් ඇවිත් තියෙන්නේ. වෙසක්, පොසොන්, ඇසළ සමරන්නේ නැහැ කිව්වොත් මට මාර දුකක් හිතෙනවා. මේ රටට මොකද වුණේ කියලත් හිතෙනවා. මේ දේවල් ලංකාවේ විතරයි සමරන්නේ. ලෝකයේ වෙන කිසිම රටක මේ දේවල් නැහැ. මේ දේවල් ජනතාව දුක් විඳලා හරි සල්ලි එකතු කරලා හරි කරනවනේ. පසු ගිය කාලයේ ඇති වුණු වසංගතයත් එක්ක අවුරුදු හතරක් විතර මේ දේවල් තිබුණේ නැහැ. කවදාවත් මේ රටේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් වෙසක් කාලෙට බැති ගීයක් ඇසුණේ නැත්තේ නැහැ. නමුත් පසුගිය කාලයේ ඇති වුණ වසංගතයත් එක්ක තමයි ඒ සියල්ල නැති වුණේ. නමුත් මෙවර ලොකු පිබිදීමක් තිබෙනවා.

මේ ආපු ගමනේදී මම ආපස්ස ගැන කතා කරන්නේ නැහැ. ඕනෑම කෙනකුට බාධා ඇති. ඕනෑම කෙනකුට කරදරයක් වෙලා ඇති. අපි මනුස්සයොනේ. මනුස්සයො හැටියට අපි ඒ දේවල්වලට මුහුණ දෙන්න එපායැ. අපිත් තාත්තාගෙන් දුප්පත්කම තමයි ඉගෙන ගත්තේ. එයාට මහා ගාන්ධර්ව හඬක් තිබෙනවා කියලා හිතුවේ නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් විදියට තමයි ජීවත් වුණේ. හැම ප්‍රශ්නයකටම අපිත් මුහුණ දීලා තිබෙනවා. නමුත් දැන් ඒවා ගැන හිතලා වැඩක් නැහැ. බෙග් මාස්ටර් හැමදාම කිව්වේ මම සින්දු කියනකොට මිනිස්සු මා දිහා සිනාමුසු මුහුණින් බලාගෙන ඉන්න ඕනෑ කියලා. ඒක තමයි කලාකරුවෙක් බලාපොරොත්තු වන දේ. තාත්තා නැති වුණාට පස්සෙත් ලක්‍ෂ ගණනක් මිනිස්සු අවසන් ගෞරව දක්වන්න ආවා. ඒක තමයි අවශ්‍ය.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment