මේෂ ධනු මකර ලග්න හිමියන් නොමරා මරණ ශනි අට සඳු අට

6920

යම් අයෙකුගේ කේන්ද්‍රයේ උපතින් සෙනසුරු අටවැන්නේ මිත්‍ර බලයෙන්, උච්ච බලයෙන්, ස්වක්‍ෂේත්‍ර බලයෙන් සුබ මිත්‍ර ග්‍රහයෙකුගේ දෘෂ්ටියෙන් බලවත් වී නැතිව සතුරු රාශියක යෙදීම එම පුද්ගලයාව උපතේ සිට වරින්වර නොමරා මරණ තත්ත්ත්වයකට දැඩි දුක්පීඩා දෙන බව මා අත්දැකීම් සහිතව දැක ඇත්තෙමි. එය මේෂ, ධනු, මකර යන ලග්නයක් හිමි අයට විශේෂ වන්නේය. මෙහිදී සෙනසුරුගේ ක්‍රියාකාරීත්වය තව තවත් දරුණු වීමට චන්‍ද්‍රයා ද සංයෝග වීම විශේෂත්වයකි.

මේෂ ලග්නයේ අටවැන්නේ ශනි සමඟ චන්‍ද්‍රයා සංයෝග වී එම මහ දශාව ද ලබා තිබේ නම් කුඩා කල සිටම දැඩි දුක් පීඩාවලට ලක් කරන ග්‍රහ තත්ත්වයකි. කුඩා අවදියේ තම මව රෝගී තත්ත්වයකින් පීඩා විඳ මියයෑමට හේතු වේ. ඉන් පසුව මව් සෙනෙහස අහිමි වී දුක්වීමට සිදු වේ. චන්‍ද්‍රයාගේ මහ දශා කාලය තුළ දරුවාගේ ළදරු අවස්ථාව තනිවීම සිදු වේ. ඉන් පසුව කුජ මහ දශා කාලය තුළ මව නැති වී සිටින දරුවාගේ ළමා කාලය වැඩෙන අවස්ථාව තුළ දරුවාට මව් සෙනෙහසේ අඩුව කල්පනාවට නැගේ. බොහෝ අවස්ථාවල දරුවා කලකිරීමට පත් වී මුරංඩු ස්වභාවයක් ඇති විය හැක. එනිසා මෙම කාල සීමාව තුළදී පියාගේ සෙනෙහස නොඅඩුව ලබා දීමට උනන්දු විය යුතුය. එසේ නොවුවහොත් දරුවා අති දුක්ඛිත තත්ත්වයකට පත්වීම නම් වැළැක්විය නොහැක. බොහෝ අවස්ථාවල එය එසේ සිදු වී ඇත. ශනි අටවැන්නේ සිදුකරන්නේ එයයි. ඊට හේතුවන්නේ පියා පිස්සකු මෙන් ඒ වන විට කටයුතු කර තිබීමය. මේෂ ලග්නය හිමි දරුවාගේ පියා නියෝජනය කරන්නේ ද 10 වැන්න හිමි සෙනසුරු නිසාය. දරුවාට කුඩම්මාගේ සැලකිලි ලැබීම කුජගේ දශා කාලය තුළ අනිවාර්යයෙන් සිදු වේ. කුඩම්මාගේ සැර පරුෂ ගෙරවිල්ල මධ්‍යයේ දරුවා අන්ත අසරණ තත්ත්වයට පත්වෙමින් මුරණ්ඩු ගතිය ද ඇති වේ. මේ අනුව මෙම දරුවාගේ අනාගත තත්ත්වය කෙසේ වෙයිද? මෙවැනි දරුවන්ගේ පියා මෙවන් අවස්ථාවලදී ඈත දකින මිරිඟුව පසුපස නොගොස් තවදුරටත් සිතිය යුතු නේද? දරුවා වෙනුවෙන් කෙසේ නමුත් දරුවාගේ අටවැන්නේ ග්‍රහ තත්ත්වය ඊට ඉඩ නොදෙන බව මෙයින් පැහැදිලි වේ. දරුවාට ඉදිරිට තව දුක්විඳීමට පරිසරය සකස් කිරීම සෙනසුරුගේ කාර්යය නිසා ය.

ඒ සඳහා දරුවාගේ වයස 15, 16, 17 වනවිට රාහුගේ ග්‍රහ තත්ත්වය ද එකතු කර ගනී. බොහෝ විට මෙවැනි දරුවන්ගේ උපතින් රාහු ද කේන්ද්‍රය් එක, හතර, පහ එනම් මේෂ කටක සිංහ යන රාශියක සිටින අවස්ථා මා දැක ඇත්තෙමි. ඒ අනුව දරුවා පියා සමඟ නිතර හබවීම් ඇතිවීමත්, මුරණ්ඩු ස්වභාවයකින් හැසිරීමත් සිදු වේ. මේ තත්ත්වය යටතේ ක්‍රමයෙන් අධයාපන කටයුතු ද දුර්වල වන අතර පාසල් යෑම ද නතර වන තත්ත්වයක් උදා වේ. අනියම් යාලුවන්ගේ පරිසරයට ක්‍රමයෙන් ගොදුරු වේ. මේ වනවිට වයස අවු. 18 වන අතර අෂ්ඨම ඒරාෂ්ඨකයක් ලග්න ඒරාෂ්ඨකයක් දෙකම අවසන් වන්නේ දුෂ්ඨ සමාජයක් මධ්‍යයේ ය. මවගේ ආදරයත්, ඇසුරත් දෙකම නැති මේ දරුවා අනාගතයේ කුඩම්මාගේ මාරයා විය නොහැකිද? පියාගෙන් වැඩක් වේද? ජ්‍යොතිෂ ලේඛකයෙක් වශයෙන් ඔබෙන් මට ඇසීමට සිදුවන්නේ එයයි.

දස මාසයක් මව් කුසේ පෝෂණය වූ දරුවා තනිකර අවසන් ගමන් ගිය මවගේ අඩුව වහාම සම්පූර්ණ කර ගන්නා පියවරුන් දරුවා ගැන දෙවරක් සිතා කටයුතු කළ යුතුය. දරුවාට දශ වධ දෙමින් දුකට පත්කරන ඒරාෂ්ඨකයෙන් මව බේරා ගැනීමට මවගේ කේන්ද්‍රයේ බලවත් ග්‍රහයෙක් නොසිටියේද?. කෙසේ නමුත් මේ ගැන සිතා කටයුතු කරන්නේ ආදාරයන් බැඳී විවාහවන මිනිසුන් කීයෙන් කී දෙනාද? දරුවෙක් ලැබීමට සිටින මොහොතේදී තම භාර්යාවගේ කේන්ද්‍රය පරීක්‍ෂාකරවා තදබල අපල මාරක තිබේ නම් ඒ සඳහා පිළිවෙත් කිරීම මදිකමක් වගේම මිත්‍යා වැඩ වශයෙන් සලකා කටයුතු කරන අය ද මෙලෙස අමාරුවේ වැටෙන ආකාරය දකින්නට ලැබේ. කෙසේ නමුත් සියලු සිදුවීම්වලට මුහුණදීමට සිදුවන මෙවැනි දරුවන්ට අවසානයේ මවක් නැතිව පිය සෙනෙහසත් ගිලිහීයෑමෙන් රාහු මහ දශාව ගෙවී යෑමට පෙර අති දුෂ්කර ජීවිතයකට මැදි වී දුක් විඳීමටත්, නොමරා මරණ තත්ත්වයකට පත්වීමත් වැළැක්විය නොහැක. මේෂ ලග්නයේ ශනි අටත් සඳු අටත් ඒරාෂ්ඨකය ඒ තරම්ම දරුණු විය හැක.

ඊළඟට ධනු ලග්නය හිමි අයගේ උපතින් අටවැන්නේ සෙනසුරු හා සඳු යෙදීම නිතරම රෝග පීඩා මධ්‍යයේ කටුක ජීවිතයකට කුඩා කාලයේ සිටම ගොදුරු වන ග්‍රහ තත්ත්වයකි. ධනු ලග්නයේ ්අටවැන්න වූ කටක රාශියේ සඳු ස්වක්‍ෂේත්‍රව බලවත් වන අතර සෙනසුරුට සතුරු රාශියකි. ඊළඟට නව වැන්න වූ සිංහ රාශිය තුළදී සෙනසුරු ගෝචර ගමනේදී නොයෙකුත් රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වේ. මේ අනුව ළමා කාලය ශාරීරික වශයෙන් දුර්වල තත්ත්වයකට පත් වේ. වයස අවුරුදු 13 වනවිට සෙනසුරුට සතුරු රාශියක් වන වෘශ්චික රාශීයට පැමිණීමෙන් ලග්න ඒරාෂ්ඨක කාලය ආරම්භ වේ. මෙම කාලසීමාව තුළදී දරුවාගේ ශාරීරික තත්ත්වය තව තවත් දුර්වල කරන රෝග තත්ත්වයන්ට මැදිවන අතරම අධ්‍යාපන කටයුතුවලදී දැඩි බාධා සිදු වේ. එපමණක් නොව දරුවාගේ අලසකම, මුරණ්ඩු ගතිය, තදබල කෝපය මෙවැනි ලක්‍ෂණ ඇතිවීමෙන් සමාජය තුළ ප්‍රියමනාප බව ගිලියී යනු ඇත. මේ අනුව වයස අවුරුදු 15, 16, 17 වනවිට දරුවාගේ අධ්‍යාපන කටයුතු තදබල පසුබෑමකට ලක් වේ. ඉන් පසුව වයස අවු. 21 වනවිට තරුණ වියට පා තබන කාල සීමාවේ ලග්න ඒරාෂ්ඨකය අවසන් වුවත් සෙනසුරු තුන්වැන්නේ කුම්භ රාශියේ ගෝචරය බලවත් වුවද එය යෙදෙන්නේ චන්‍ද්‍රයාගෙන් අටවැන්නේ ය. එයද දුක්කරදර සහිත ජීවිතයකට හේතුවන කාලසීමාවකි. මෙම කාලසීමාවේ රැකියා කටයුතු කෙරෙහි සිත යොමුවන නමුත් දුර්වල අධ්‍යාපන තත්ත්වයක් ලබා ඇති නිසා සුදුසු රැකියාවක් සොයා ගැනීම ද අපහසු වේ.

ඊළඟට විවාහ කාලසීමාව වයස අවු. 24, 25 ලැබුවත් එය බාධක මධ්‍යයේ ප්‍රමාදවීම් සිදු වේ. මේ හේතුකොට ගෙන කලකිරීම් නිතර ඇතිවීමෙන් සමාජය තුළ මංමුලා වූවකු ලෙස කටයුතු කරනු ඇත. මෙම තත්ත්වය යටතේ කුජ රාහුගේ පාපී බලපෑම් ඇතිවුවහොත් සුරා හා මත්ද්‍රව්‍යවලට පවා ගොදුරුවීමෙන් ජීවිතය ක්‍රමයෙන් විනාශ මුඛයට පත්වීම වැළැක්විය නොහැක. ඉන් පසුව ශාරීරිකව දුර්වලතා ඇති වී රෝග තත්ත්වයන්ට භාජනයවෙමින් නොමරා මරණ තත්ත්වයට පත්වීම අනිවාර්ය වේ.

ඊළඟට මකර ලග්නය ගැන බලමු. මකර ලග්නය හිමි සෙනසුරු චන්‍ද්‍රයා සමඟ අටවැන්නේ උපතින් යෙදීම මුළුජීවිත කාලය තුළදී අනේක දුක් කරදර සමූහයකට මුහුණදීමට සිදුවන ග්‍රහ යෙදුමකි. විශේෂයෙන් රවි, සඳු, සෙනසුරු, ගුරු, කුජ මහ දශා හිමි නැකතකින් උපත ලැබීම ඉතා අවාසනාවන්ත ජීවිතයකට හේතු වේ. කුඩා කල සිටම නොයෙක් රෝග තත්ත්වයන් මත ශරීර දුර්වලතාවය ඇතිවීම, අධ්‍යාපනය දුර්වලවීම, මානසික දුර්වලතාවය, සමාජය තුළ හෑල්ලුවට ලක්වීම, විවාහ කටයුතු දුර්වලවීම, ස්ථීර රැකියාවක් නොමැතිවීම, ආර්ථික දුර්වලතා මේ ආදී නොයෙකුත් හේතූන් මුල්වීමෙන් අවසානයේ සුරාපානයට හා මත්රකුසාට බිලිවීමෙන් ජීවිතයේ අවසානය කරා යොමුවන්නේය.

කෙසේ නමුත් ජීවිතයේ මධ්‍යම වයසේදී සිකුරු මහ දශාවක් හෝ බුධ මහ දශාවක් ලබා සිකුරු බුධ එකොළොස්වැන්නේ උපතින් යෙදී සිටී නම් තරමක් දුරට හෝ සහනයක් ලැබෙන නමුත් ලග්නාධිපති සෙනසුරු සමඟ සඳු උපතින් අෂ්ඨම ඒරාෂ්ඨකවීම මකර ලග්න හිමියා නොමරා මරණ තත්ත්වයට ඇදදැමීම වැළැක්විය නොහැකි බව පෙන්වා දෙමි.

ජ්‍යෝතිර්වේදී ජේ. ගුණපාල
170, පාදුක්ක පාර,
අරමණාගොල්ල, හොරණ

advertistmentadvertistment
advertistmentadvertistment