චරිතයක් හින්දාගුටිත් කෑවා – සුගත් ජනක

49

බොඳවූ සිහිනය මගේ සිහිනය සැබෑ කළා

සුගත් ජනකගේ කලා දිවියට වසර විසිපහයි. කට්ට කාලා හෙමින් ආපු ගමනක ප්‍රතිපලයක් හැටියට අද ඔහු රංගන ශිල්පියෙක්” අධ්‍යක්‍ෂවරයෙක් වගේම ගායකයෙක්. සුගත්ගේ අලුත්ම තොරතුරු ඔබටත් දැනගන්න මේ විදිහට සටහන් කළා.

● සුගත්” මේ දවස්වල මොකද වෙන්නෙ?

පසුගිය දවස්වල තනපාලසුන්දරම් කියන අධ්‍යක්‍ෂවරයා යටතේ ‘බොඳවූ සිහිනය’ නමින් එන අළුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ මම. අනෙකුත් චරිත අතර අපේ රටේ දමිළ රංගන ශිල්පියෙක් ඉන්නව ගජන් කියල. මගේ නංගිගේ චරිතය නිරූපණය කරන්නෙ ඉන්දියානු රංගන ශිල්පිණියක්. මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු පසුගිය දිනවල නිමාවට පත්වුණා.

චරිතයක් හින්දාගුටිත් කෑවා - සුගත් ජනක

● කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

අපේ කැමරා ශිල්පී සුජිත් නිශාන්ත සහ සහය අධ්‍යක්‍ෂ චන්දන එදිරිසිංහ යන දෙදෙනා තමයි මාව මේ සඳහා යෝජනා කරන්නෙ. නමුත් අධ්‍යක්‍ෂවරයාට මං ගැන විශ්වාසයක් තිබුණෙ නැහැ. ඔහු මට එන්න කියල ෂූට් එකක් කළා. පළමු දවසේ රූගතකිරීම් තිබුණෙ බණ්ඩාරවෙල. පළමු වැනි සීන් එකෙන් පසුව තමයි ඔහුට මං ගැන විශ්වාසය ඇතිවෙන්නෙ.

● කොහොමද ටෙලි නාට්‍ය වැඩකටයුතු?

කොටස් දෙසීයකින් සමන්විත ‘ලොක්කිගේ කතාව’ ටෙලි නාට්‍යය පසුගියදා අවසන් වුණා’ ඒ සඳහා බලාපොරොත්තු නොවුණාටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබුණා.

● ඔබේ කලා දිවියට වසර විසිපහක්?

මේක මම බොහොම හිමින් ආපු ගමනක්’ ඒ ගමන තුළ ලොකු කට්ටක් කෑවා. නමුත් අද ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක විශාල සතුටක් භුක්තිවිඳිනවා.

චරිතයක් හින්දාගුටිත් කෑවා - සුගත් ජනක

● අදටත් පාසල් වේදිකාව මතක්වෙනව ඇති?

අනිවාර්යයෙන්ම’ මම මේ ගමන පටන්ගන්නෙ පාසල් වේදිකාවෙන්’ 1999 වර්ෂයේදී මගේ පළමුවැනි ටෙලි නිර්මාණය රූපවාහිනි තිරයේ දිගහැරෙන්නේ මම පාසල් යන අවධියේමයි. ලොකු අත්දැකීමක් නොතිබුණත් ඉන් පසු ලැබුණ හැම චරිතයක් තුළින්ම කලාව කියන දේ හඳුනාගන්න භාවිතා කළා වගේම හැකියාවන් වර්ධනය කරගත්තා. මේ දශක දෙකහමාරක කාලය තුළ මම යම් සාර්ථකත්වයක් ලැබුවා නම් ඒ සාර්ථකත්වය පිටුපස මට ලැබුණ හැම චරිතයකින්ම ලබාගත් අතිදැකීම් තියෙනව.

● කැපිලි කෙටිලි?

කැපිලි කෙටිලි එන්න තරම් මට කවුරුවත් අභියෝගයක් වුණේ නැහැ. මම හැම මොහොතකම අභියෝගයක් කරගත්තෙ මාවමයි. මේ නිසා මම කියන්නෙ නැහැ කලා ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි නැහැ කියල. නමුත් මට එහෙම දේකට මුහුණදෙන්න සිදුවෙලා නැහැ. කොහොම වුණත් සමහර අවස්ථාවලදි එහෙම හිතන්න තැන් නොතිබුණා නෙමෙයි.

● ඔබ දුෂ්ටයා ලෙසිනුත් පෙනී ඉන්නව?

ඔව්” බොහෝ විට මම මේ ක්‍ෂේත්‍ර තුළ දුෂ්ටයාගේ චරිතයෙන් පෙනී ඉන්නව. නමුත් ඒක මට තුළනය කරගන්න සිදු වුණා. මොකද සිරස නාළිකාවේ විකාශය වුණ ‘කාව්‍යා. ටෙලිනාට්‍යයේ මම රඟපෑ සේනකගෙ චරිතය නිසා පිළියන්දල ප්‍රදේශයේදී ගුටිකන්න පවා සිදු වුණා. එතනදි මම තීරණය කරනව රංගන ශිල්පියෙක් හැටියට මම ලේබල් එකක් අලවා ගන්න ඕනෑ නැහැ කියල.

● ඉන් පසු සුගත් දුෂ්ට චරිත භාරගත්තෙ නැහැ?

ඔව්” එවැනි චරිත බොහොමයක් ප්‍රතික්‍ෂේප කළා. මම කොහොමත් චරිත තෝරාබේරාගැනීමක් කරනව. මොකද ප්‍රේක්‍ෂකයාට දැනෙන දෙයක් කරන්න පුළුවන්නම් විතරයි මම ඒ චරිතය භාරගන්නෙ. දුෂ්ඨයාගේ චරිතය දිගින් දිගටම භාරනොගැනීමෙන් අද වන විට මට විවිධ චරිතවලට දායක වෙන්න අවස්ථාව ලැබිල තියෙනව.

● අද ඔබට ප්‍රධාන චරිතයක් ලැබිල තියෙනව?

මගේ හීනයක් තිබුණා මියයන්න කලින් චිත්‍රපටයක ප්‍රධාන චරිතයකට සම්බන්ධ වෙන්න ඕනා කියල. ‘බොඳවූ සිහිනය’ හරහා අද වන විට ඒ හීනය සැබෑවක් වෙලා තියෙනව.

● ටෙලි නාට්‍යවලට ආරාධනා නැතිද?

ටෙලි නාට්‍යවලට ආරාධනා බොහෝ ප්‍රමාණයක් ලැබෙනව. නමුත් මුදල්මය ප්‍රශ්නයක් තියෙනව. මගේ වෘත්තිය රංගනය. බොහෝ වෙලාවට මට භාරදෙන චරිතයත් එක්ක තමයි මුදල තීරණය කරන්නෙ. නමුත් බොහෝ වෙලාවට මම චරිතයට තමයි මූලිකත්වය දෙන්නෙ. මට මේ දෙකෙන් එකක් හරි තියෙන්න ඕනා. එක්කො මුදල” එහෙම නැතිනම් චරිතය.

● රංගන ශිල්පියෙක් හැටියට ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?

බොහෝ වෙලාවට සෑහීමකට පත්වෙන්න පුළුවන්. මේ කාලය ගත්තොත් ගොඩක් දුරට කලා කටයුතුවල වටිනාකම අඩුවෙමින් යන තත්ත්වයක් දකින්න ලැබෙනව. මොකද විශාල වශයෙන් නිර්මාණ බිහිවෙනව. අධ්‍යක්‍ෂවරු” නළුනිළියන් බිහිවෙනව. ඇතැම් තැන්වලදි ගුරුවරු හැටියට කටයුතු කරන අධ්‍යක්‍ෂවරු අතින් හරියාකාරව අධ්‍යක්‍ෂණයක් වෙනවද කියන ගැටලුව පෞද්ගලිකව මට තියෙනව.

● මේ වසර විසිපහ තුළ කලාව වෙනුවෙන් දැක්වූ දායකත්වය?

මේ වන විට මම ටෙලිනාට්‍ය එකසිය පනහකට පමණ සහ චිත්‍රපට පනහකට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වෙලා තියෙනව. මේ දිනවලත් චිත්‍රපට දෙකක චරිත දෙකක් දැකබලාගන්න පුළුවන්. ඒ ‘ශ්‍රී වික්‍රම’ චිත්‍රපටයේ පලිපාන නිළමේ සහ ‘මේක පුදුම කතාවක්’ චිත්‍රපටයේ මෙතුකිගේ පියාගේ චරිතය.

● සිනමාවට ඔබේ දායකත්වය ප්‍රමාණවත්ද?

ඇත්තටම මම හිතනව සිනමාව පැත්තෙන් මට මීට වඩා යමක් කරන්න පුළුවන් කියල. නමුත් මගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අධ්‍යක්‍ෂවරයෙක් මට තවම මුණගැහිල නැහැ.

● ඉදිරියේදී දකින්න ලැබෙන නිර්මාණ මොනවාද?

ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය තුනක් තියෙනව. ඒ හැම එකකම කොටස් පහළොවක් විස්සක් පමණ රූගත කරල තියෙන්නෙ. විකාශය වීමත් සමග ඉතිරි කොටස් රූගත කරන්න සූදානම්කරල තියෙනව. ඒ වගේම චිත්‍රපට හතරක් පමණ තිරගත වීමට නියමිතව තියෙනව. චිත්‍රපට ගැන කිව්වොත් බොඳවූ සිහිනය” කිඩ්නැප්” අගපිටුවේ මල් සහ කම්බිලි. තවත් චිත්‍රපටයක් තියෙනව. එහි නමේ යම් වෙනසක් සිදුකරන්න නියමිත නිසා ඒ ගැන ඉදිරියේදී බලමු.

● ඔබත් අධ්‍යක්‍ෂණ කාර්යය කරනවා?

ඔව්” වසර දෙකහමාරක පමණ කාලයක් සිට මමත් අධ්‍යක්‍ෂණ කටයුත්තට අතගහල තියෙනවා. දැනට ‘අතීතස්මරණය’ නමින් පොහොය නාට්‍යයක් අධ්‍යක්‍ෂණය කරල තියෙනවා’ එය ඉදිරියේදී තිරගත වේවි.

● ඒ වගේම සුගත් කියන්නෙ ගායකයෙක්?

මේ වන විට මගේ ගීත දෙකක් රූපරචනා සමගින් එළිදක්වා තියෙනවා වගේම තවත් ගීතයක වැඩකටයුතු අවසන් කරල තියෙනව.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment