ගින්දර අයිති විනාශයටමය

86

පිංවත අපි අතීතයේ කවදත් වැටි වැටී නැඟී සිටි ජාතියක්. අපි වැටුනා කියලා කියන්නේ අකුසලය බලවත් වුණාය කියන කාරණයයි. අපි යළි නැඟීසිටියාය කියලා කියන්නේ කුසලය බලවත් වුණාය කියන කාරණයයි. පිංවත ඔබට මතකද පසුගිය වසරේ පැවති මුළු රටම අරාජිකභාවයට පත්කළ ගෝල්ෆේස් අරගලය. ජනපති, නිල නිවස, අගමැති නිල නිවස, ජනපති ලේකම් කාර්යාලය පවා අරගලකරුවන් සියතට ගත් අරගලය කියලා ධර්මානුකූලව හඳුන්වන්නේ, අපිව ගිලගැනීමට මානබලන අසත්පුරුෂ ජාත්‍යන්තර කණ්ඩායම්වල පිනත්, අපේ මාතෘභූමියේ පිනත් අතර තිබූ සංස්කාර තරගයයි. පිංවත මුළු රටම අරාජික කළ, රටට නායකයන් අහිමි කළ ඉහත සංස්කාර තරගයේදී ජාත්‍යන්තර බලවේගවල පින පරදා, පිංවත් ඔබේ මාතෘභූමියේ පිනේ ශක්තියයි ජයගත්තේ. යම් හෙයකින් මාතෘභූමියේ ජනතාවගේ පින, ජාත්‍යන්තරයේ පිනට පැරදුනානම්, මේ මොහොත විරුද්ධවාදී කණ්ඩායම් අතර සිවිල් යුදමය තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න තිබුණා. පිංවත මිහිඳු මහෝත්තමයන් වහන්සේගේ සහ සංඝමිත්තා උත්තමාවියගේ සද්ධර්මයේ ලෙයින් උපන්, ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, මෛත්‍රියෙන්, ත්‍යාගයෙන්, සතියෙන්, අන්‍ය ආගම් කෙරෙහි මනුෂ්‍යත්වයෙන් උපන් මේ මාතෘභූමිය සද්ධර්මයේ අර්ථයන් ජනතාව තුළ විකසිතව තිබෙන තාක්කල් වට්ටන්න බැහැ. පිංවත අරගලය ඉදිරියේ ඔබේ මාතෘභූමියේ පින බලවත් වුවත්, මාතෘභූමිය ලැබූ ජයග්‍රහණය අවංක, විනයගරුක, ජයග්‍රහණයක් නොවේ. පිංවත කරුණාකර සොරකම් නොකරන, සොරකම ආරක්ෂා නොකරන යම් පමණකට හෝ අවංක දේශපාලනයක් උදෙසා දශකුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පින කෙරෙහිම විශ්වාසය තබන්න.

පිංවත මේ ගෙවීයන්නේ උතුම් පොසොන් සමයයි. අපේ රටේ පුණ්‍යවන්ත ජනතාවට සම්මා සම්බුද්ධ ශාසනයේ දායාදය ලබාදීමට පෙරාතුව, මිහිඳු මහෝත්තමයන් වහන්සේ ඉලක්ක කළේ රටේ රජතුමාවයි. රජතුමා ධාර්මික වුණොත් පමණයි සියල්ලම ධාර්මික වෙන්නේ. ඉහත සම්බුදු වදන මතයි මිහිඳු මහෝත්තමයන් වහන්සේ මුලින්ම ස්ථානගත වෙන්නේ. මහරජ ඔබ මේ රටේ භාරකරු මිස, මේ රටේ අයිතිකරු නොවේ යැයි මිහිඳු මහෝත්තමයන් වහන්සේ රජතුමාට දෙන දේශපාලන අවවාදය තුළ, වර්තමානයේ භාවිතාවන ප්‍රජාතන්ත්‍රවාදයේ අර්ථයන් ඉක්මවා ගියා වූ දේශපාලන මනුෂ්‍යත්වයේ අර්ථයක් ගැබ්වෙලා තිබෙනවා. ගෞරවණීය පිංවත මේ පොසොන් සමයේ මිහිඳු මහෝත්තමයන් වහන්සේ පූර්වාදර්ශීව අපිට පෙන්වාදුන්, සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ධර්මිෂ්ඨ දේශපාලනයක අත්‍යවශ්‍යතාවය නුවණින් දකින්න. රජය මැදිහත් වී රාජ්‍ය පොසොන් උත්සව දසදහස් ගණනක් පවත්වනවාට වඩා, වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා අත්‍යවශ්‍යව පවතින්නේ, රාජ්‍ය දේශපාලනයේ අවංක, විනයගරුකභාවය බව ධර්මානුකූලව තේරුම්ගන්න. සියල්ල සංදර්ශන අසිරියට යටත් කොට, විඤ්ඤාණය නැමති මැජික්කරුවාට කීකරුවෙමින් අපි මේ යන ගමන අධර්මයෝ අධර්මයන්ම වැඩීමට හේතුවෙන ගමනක්. ගෞරවණීය පිංවත මාතෘභූමිය තුළ මුල් බැසගත් වංචාකාරී, අසත්‍යය, දේශපාලනය යම් පමණකට හෝ සදාචාරාත්මක බවට පත්කොට නොගත්තොත්, පිරිහෙන දේශපාලනයේ වේගයෙන්ම උතුම් සංඝ සමාජයද පිරිහීමට පත්වෙනවාය කියන කාරණය සමාව අවසර ඉල්ලමින්ම සටහන් තබනවා. බුදුරජාණන් වහන්සේ අධම්මික සූත්‍රයේදී බොහෝම පැහැදිලිව දේශනාකොට තිබෙනවා අධාර්මිෂ්ඨ දේශපාලනය මුල්කොටගෙනමයි සංඝ සමාජයේ පිරිහීම සිද්ධවෙන්නේ කියලා. පිංවත් ඔබ සංඝ සමාජයේ පිරිහීමක් දකිනවා නම්, ඔබේ ඉලක්කය විය යුත්තේ ධාර්මිෂ්ඨ රාජ්‍ය පාලනයක් බව ධර්මානුකූලව සටහන් තබනවා.

ගින්දර අයිති විනාශයටමය

පිංවත උතුම් සංඝ සමාජයේ පිරිහීම කියන්නේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන්ගෙන් දුර්වල වීමයි. උතුම් සංඝ සමාජය ගිහි සමාජයට වර්ණය, සැපය, බලය උපද්දවා දෙන, ගිහි සමාජය පූජා කරන සිව්පසයට පෙරලා උපරිමයෙන් ප්‍රතිලාභ ලබාදෙන පුණ්‍ය කෙතයි. ගෞරවණීය පිංවත මේ උතුම් පුණ්‍යකෙත පංචනීවරණ වල්පැලෑටි වලින් ගහන වුණොත්, පිංවත් ගිහි ජනතාව පූජා කරන සිව්පසයට පෙරළා ශක්තිමත් ප්‍රතිලාභයන් ලැබෙන්නේ නැහැ. උතුම් සංඝ සමජය නැමති පුණ්‍යකෙත දුර්වල වෙද්දී, පිංවත් ගිහි සමාජය සංඝ සමාජය කෙරෙහි ශ්‍රද්ධාව, ගෞරවය දුර්වල වෙනව, ඒ නිසාම බලවත් අකුසල් ජීවිතවලට එකතු කොටගන්නවා. මෙවැනි බලවත් අකුසල් අතීතයේ උතුම් ධර්ම, විනය අහිමිකොට දැමීමට පවා හේතු ධර්මයන් වුණා. පිංවත අවිද්‍යාවේ වචනවලින් සතර දිශාවට චෝදනා නොකර, මෙත් සිතින් වෙනස් විය යුතු ඉලක්කය හඳුනාගන්න. මේ පුණ්‍යවන්ත පොසොන් සමයේ අපේ රටේ පිංවත් රජතුමා අවංකව තීරණය කළොත් මම මේ රටේ අයිතිකරුවා නොව, මම මේ රටේ භාරකරුවා පමණක්මයි කියලා, පිංවත අද දවසේ යළිත් මිහිඳු මහෝත්තමයන් වහන්සේ මේ පුණ්‍යභූමියට වැඩියා වෙනවා. පිංවත එවන් භාග්‍යයක් ලබන්නට සත්‍යකින්ම අද අපිට පුළුවන්ද. පිංවත වර්තමානයේදිත් අවංක පුද්ගලයන් බැහැර කොට දූෂිත ධර්මයන්ගේ කළු පැල්ලම් සහිත පිංවතුන්ලාම නේද පදවි තනතුරු ලබන්නේ. ජනතාවගේ සැබෑ අදහස් යපත්කොට දේශපාලනයේ මමත්වයේ දැඩිභාවයම නේද රජ කරන්නේ. පිංවත කරුණාකර පුද්ගල සංඥාවන්ට ඇඟිල්ල දිගු කරන්න එපා. එවිට පිංවත් ඔබත් වරදේ, වරදකරුවෙක්ම වෙනවා. මේ විකෘතීන් සියල්ල අවිද්‍යාවේ හේතුඵල ධර්මයන්. පිංවත සිහිනුවණින්, සමාජගතවෙන අවිද්‍යා වියරුවට එරෙහිව විද්‍යාවෙන් නැඟී සිටින්න. පිංවත ඔබේ අවිය මෛත්‍රියමයි පිංවත ඔබේ බලය ශීලයමයි, අපි සියල්ලෝම බලාපොරොත්තු වන ඵලය කුසලය සහ අකුසලය නිවැරදිව හඳුනාගන්නා උතුම් සම්මා සතියයි. මේ උතුම් සම්මා සතියයි උතුම් ධර්ම විජය බොජ්ජංගයට මල් පාවඩ එලන්නේ.

පිංවත ගින්දර අයිති විනාශයටමයි. ඒ නිසාම අපි ගින්දර ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕනේ. පිංවත ගින්දරටත් වඩා විනාශකාරී දෙයක් තිබෙනවා. ඒ තමයි අවිද්‍යාව. පිංවත ලෝකයේ කොහේ ගින්නක් ඇති වුණත් එම ගින්න ඇතිවෙන්නේ මනුෂ්‍යයාගේ අවිද්‍යාව මුල්කොටගෙනමයි. පිංවත ගින්දරට වඩා අවිද්‍යාවට බියවෙන්න. පිංවත වර්තමානයේ අවිද්‍යාව විසින් අවුලවන පංචඋපාදානස්කන්ධ ගිනි, ගොඩාක් වැඩියි. මේ අවිද්‍යාව නිසා උපදින පංචඋපාදානස්කන්ධ ගිනිවලට පුළුවන්, මුළු රටක්ම ගින්දරින් ගිනි තියන්න. පිංවත වර්තමානයේ සමාජගත වෙන ශාසන විරෝධී ප්‍රකාශයන් සහ ක්‍රියාකාරකම් දකිද්දි අවිද්‍යාව මොනතරම් නම් විකෘතියක් දැයි ඔබට වැටහෙන්න ඕනේ. දශපාරමී පුණ්‍ය ශක්තියෙන් උපන්, දෙතිස්මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වූ බෝසත් සිදුහත් කුමරුන්ව, සුද්ධෝදනගෙ පොඩි එකා යැයි අවමන් කරද්දි, ඒ තුළින් අපි දකින්න ඕනේ අවිද්‍යාවේ විකෘතියයි. පිංවත සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුන ගමන් නෙළුම් මල් මත ඇවිද්දා යැයි, හාස්‍යයෙන් අවමන් කරද්දී, අපි දකින්න ඕනේ මිත්‍යා දෘෂ්ඨියේ පතුලයි. පිංවත උතුම් දශපාරමී ධර්මයන්ගෙන් දශමයක්වත් නොපිරු මෙය සටහන් තබන භික්ෂුව වඩින පාවඩ වලට අතුරන මල් දකිද්දී භික්ෂුව ධර්මය දේශනා කරන ධර්ම මණ්ඩපයක් සැරසෙන විසිතුරු මල් දකිද්දී, භික්ෂුවගේ අතීත කුසල් සංස්කාරයන්ගේ ආශ්චර්යමයි භික්ෂුව හේතුඵල ධර්මයන් හැටියට දකින්නේ. පිංවත බෝසත් සිදුහත් කුමරුන් ඉපදුන මොහොතේ පියවර හතක් තැබුවා නියතයක්මයි. ඒ තබන පියවර මත නෙළුම් මල් මහපොළොවෙන් පැන නැඟුනා නියතයක්මයි. පිංවත පිනේ ආශ්චර්යය තේරුම් ගන්න නම් අපිට සම්මා දිට්ඨිය තිබෙන්නට ඕනේ. නියත මිත්‍යා දෘෂ්ඨික පිංවතුන්, පිංවතියන්ලා කෙසේ නම් පිනේ ආශ්චර්යය දකින්නද. අනාගත භවයක් නැතැයි විභව තෘෂ්ණාවෙන් ඔද්දල්වුන, කර්මය කර්මඵල විශ්වාසය ගැන අබමල් රේණුවක්වත් නොදන්න නියත මිථ්‍යා දෘෂ්ඨිය පින සහ පව හඳුනන්නේ නැහැ. පිංවත මෙවන් මිත්‍යාදෘෂ්ඨින් හැට දෙකක් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි දඹදිව සමාජයේ අතීතයේ තිබුණා. පිංවත මේ සමාජගතවෙන ශාසන විවේචනයන් අහම්භයන් නොවේ. කවදත් ලෝකය තුළ තිබුණ අවිද්‍යාවේ හේතුඵල ධර්මයන්.

ගෞරවණීය පිංවත මෙවන් ශාසන විවේචනයන්, ජයගන්න මාර්ගයක් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. පිංවත ශාසනය විවේචනය කරන මිත්‍යා දෘෂ්ඨික වරදකරුවන් බන්ධනාගාරගත කලාය කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. අවිද්‍යාවේ ජන්මගතිය වෙන්නේ ශාසනය විවේචනය කිරීම තුළිනුත්, එවැනි ශාසන විරෝධී ක්‍රියාවන්ට එරෙහිවීම තුළිනුත්,

බන්ධනාගාරගත කිරීම් තුළිනුත් සියලු පාර්ශ්වයන්ගේ අවිද්‍යාවම තව තව පෝෂණය කිරීමමයි. පිංවත සමාජගතවෙන සම්මා සම්බුද්ධ ශාසන විරෝධී ක්‍රියාවන්ට සහ ප්‍රකාශයන්ට ඔබ පිළිතුරු දිය යුත්තේ අවිද්‍යාවට ආහාර අහිමිකරන උතුම් ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්. පිංවත සමාජගතවෙන මිත්‍යාදෘෂ්ඨික අභියෝගයන්ට පිංවත් ඔබ ආවේගශීලීව, ද්වේශයෙන්, විසඳුම් සෙවීමට ගියොත්, ඔබේ සම්මා දිට්ඨියේ ශක්තියත් අනතුරටයි යන්නේ. පිංවත ඔබ මිත්‍යා දෘෂ්ඨියට අසිහියෙන් විසඳුම් සොයන්න ගියොත් ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී ඔබත් මිත්‍යා දෘෂ්ඨික පවුලක උපදින්න පුළුවන්. පිංවත විඤ්ඤාණය නැමති මායාකරුවා සතු අවිද්‍යාව හේතුවෙන් සකස් වූ සංස්කාර මැජික් යශ්ඨිය හරිම විකෘතියක්. මේ ජීවිතයේදී ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් බැහැරව ප්‍රශ්නවලට විසඳුම් සොයන බෞද්ධයා, ඊළඟ පටිච්චසමුප්පන්න ජීවිතයේදී අබෞද්ධයෙක් වෙන්න පුළුවන්.

පිංවත ලෝකය සක්සුදක් සේ පැහැදිලියි. දුක කොතනද එතැන තෘෂ්ණාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියදී මාගන්ධිය කියන නවයොවුන් සුරූපි තරුණියට අපූරු දොළදුකක් හැදුනා. එම අසත්පුරුෂ දොළදුක තමයි බුදුරජාණන් වහන්සේව විවාහකර ගැනීමේ දොළදුක. මාගන්ධියාගේ බමුණු තාත්තා නිර්ලැජ්ජිතව තම දියණියගේ මඟුල් යෝජනාව බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. බමුණාගේ මඟුල් යෝජනාව අසා බුදුරජාණන් වහන්සේ මාගන්ධියාගේ සුරූපී රූපය උපමා කළේ අශූචි පිරවූ කළගෙඩියකටයි. පිංවත වර්තමානයේදිත් අශූචි පිරවූ කළගෙඩි වේදිකා මත ලොව්තුරා බුදුරජාණන් වහන්සේව විවේචනය කරමින් විසූඛදස්සනයන් රඟ දක්වද්දී, අපි දැකිය යුත්තේ අතීත මාගන්ධියාගේ පරම්පරාවේ වර්තමාන අවිද්‍යාවේ සෙළුව මිස අන් කුමක්ද. තම සුරූපී රූපය අශූචි පිරවූ කළගෙඩියකට උපමා කළ බව දැනගත් මාගන්ධියා බුදුරජාණන් වහන්සේ සමඟ ඇතිකොටගත් වෛරය, තෙරුවන් සරණ ගිය සාමාවතිය ඇතුළු පන්සියයක් පරිවාර කාන්තාවන් පණපිටින්ම ගිනිතබා මරා දැමීමට තරම් සාහසිකභාවයට පත්කළා. මාගන්ධියා මේ මොහොතේ පටිච්චසමුප්පන්නව නිරයේ දුක් විඳිනවා ඇති. පිංවත යම් අවිද්‍යාවේ වියරුවක් උතුම් තෙරුවන් විවේචනය කරයිද, පිංවත් ඔබ ආවේගශීලී වෙන්න එපා. සංස්කාරයෝ ඒවාට දඬුවම් කරාවි. ඔබ ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් ශක්තිමත් වෙන්න.

පූජ්‍ය රාජගිරියේ
අරියඥාන ස්වාමින්වහන්සේ

advertistmentadvertistment
advertistmentadvertistment