ජුනී 30ට පෙර පාස්කු වන්දි ගෙවනු – ශ්‍රේෂ්ඨාධිකරණය මෛත්‍රිපාලලාට නියෝග කරයි

2991

ඉල්ලූ වසර 10 මෛත්‍රීට නොලැබෙයි

4 දෙනාගේම වත්කම් වාර්තා ඉල්ලයි

නිලන්ත ජයවර්ධනට ගත් විනය පියවර මොකක්ද – උසාවිය අසයි

වන්දි ගෙවා අවසන් සිසිර මැන්ඩිස් පමණයි

අධිකරණයට අපහාස කළා ද සලකා බැලීම ජුනි 30 දාට පසු

පැවරී තිබූ රාජකාරි වගකීම් හා යුතුකම් පැහැර හැරීමට දඬුවමක් ලෙස පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට වන්දි ගෙවන ලෙසට තම අධිකරණය විසින් නියම කළ සම්පූර්ණ මුදල ලබන වසරේ ජුනි 30 වැනිදා වන විට ගෙවා අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (02දා) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023.01.12 වැනිදා ලබාදුන් තීන්දුව මගින් නියම කළ සම්පූර්ණ වන්දි මුදල ගෙවා අවසන් කිරීමට වසර දහයක කාලයක් තවදුරටත් ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය නීතිඥවරුන් මගින් කළ ඉල්ලීම ඒකමතිකව ප්‍රතික්‍ෂේප කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. පාස්කු ප්‍රහාර මාලාව එල්ල වූ 2019.04.21 වැනිදා වන විට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට අයත්ව තිබූ දේපළ වත්කම් හා ආදායම් මාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් දිවුරුම් ප්‍රකාශ මගින් තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරු මඬුල්ල නියෝග කළේය.

ඊයේ (02දා) දිනය වන විට එකී දේපළ හා වත්කම් අතරින් යමක් බැහැර කර ඇත්නම් එනම් වෙනත් පාර්ශ්වයකට පවරා විකුණා හෝ ත්‍යාග කර ඇත්නම් ඒ පිළිබඳව සවිස්තර වාර්තාවක් තම අධිකරණයට පැවරිය යුතු බවට ද විනිසුරු මඬුල්ල එමගින් එම වගඋත්තරකරුවන්ට නියෝග කළේය. මේ වනවිට සක්‍රිය සේවයේ යෙදී සිටින රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගන්නා ලෙසට තම අධිකරණය විසින් 2023.01.12 වැනිදා නිකුත් කළ තීන්දුව මගින් ලබාදුන් නියෝගය අනුව කටයුතු කර ඇත්තේ කුමන ආකාරයෙන් දැයි වහාම පොලිස්පතිවරයාගෙන් විමසා දැනුම්දෙන ලෙසටද විනිසුරු මඬුල්ල නීතිපතිවරයාට නියෝග කළේය. තමන්ට අධිකරණය විසින් නියම කළ වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට වසර දහයක කාලයක් ලබාදෙන්නැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීමට පෙත්සම්කාර සරත් ඉද්දමල්ගොඩ පියතුමා හා අතරමැදි පෙත්සම්කරුවකු වන කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, සංචාරක ව්‍යාපාරිකයකු වන ජනක් විදානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා ඇතුළු පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් මෙන්ම ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥවරු දැඩි විරුද්ධත්වය දැක්වූහ.

විදේශීය සංචාරකයන් ඇතුළු 271 දෙනකුට ජීවිත අහිමිකර තවත් සිය ගණනක් සදාකාලික ආබාධිතයන් බවට පත්කළ 2019.04.21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාර මාලාවක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීමට එරෙහිව ඉදිරිපත්කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් විභාග කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඬුල්ලක් 2023.01.12 වැනිදා නිකුත් කළ තීන්දු ප්‍රකාශය මගින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට රුපියල් ලක්‍ෂ 1000ක වන්දියක් පාස්කු වින්දිතයන්ට ගෙවන ලෙසට නියෝග කොට තිබිණි. ඊට අමතරව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට, නිලන්ත ජයවර්ධන මහතාට රුපියල් ලක්‍ෂ 750 බැගිනුත් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්‍ෂ 500 ක වන්දියකුත්, පාස්කු වින්දිතයන්ට ගෙවීමට නියම කොට තිබිණි. ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් මහතාටද විනිසුරු මඬුල්ල විසින් රුපියල් ලක්‍ෂ 100 ක වන්දියක් ගෙවීමට නියම කොට තිබුණි. අධිකරණයේ නියෝගයට අවනතවී එකී සම්පූර්ණ මුදල ගෙවා ඇත්තේ ඔහු පමණක් බවද ඊයේ (02දා) ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

හානිපූර්ණ සඳහා වූ කාර්යාලයේ තොරතුරු අනුව 2023.07.11 වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා ඇත්තේ රුපියල් ලක්‍ෂ 150 ක මුදලක් පමණක් බවත් පූජිත් ජයසුන්දර මහතා ලක්‍ෂ 170 කුත්, නිලන්ත ජයවර්ධන මහතා ලක්‍ෂ 41 ක මුදලකුත්, හේමසිරි ප්‍රනාන්දු මහතා ලක්‍ෂ 20 ක මුදලකුත් ගෙවා ඇති බවත් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කර තිබිණි.

නීතිඥ දූතික පෙරේරා, ප්‍රිමල් රත්වත්තේ, චමත් ප්‍රනාන්දු හා ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර මහතා සමග ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මහතා කාදිනල්තුමා හා සරත් ඉද්දමල්ගොඩ පියතුමා වෙනුවෙන් පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිස පීරිස් මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් ද සෙසු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් යන මහත්වරු නීතිපතිවරයා නියෝජනය කළහ.

අධිකරණය ලබාදුන් තීන්දුව ප්‍රකාරව වන්දි නිසි ලෙස නොගෙවීමෙන් හිටපු පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බැවින් ඔහු ඇතුළු නිසි ලෙස වන්දි නොගෙවූ වගඋත්තරකරුවන්ට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පියවර ගන්නැයි සංචාරක ව්‍යාපාරිකයකු වන ජනක් විදානගේ මහතා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී පෙරේරා මහතා මගින් ගොනුකර තිබූ මෝසම් පත්‍රයක් මගින් ඉල්ලීමක් කර තිබිණි. එම ඉල්ලිම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම ලබන වසරේ ජුනි 30 වැනිදායින් පසුව සලකා බැලීමට තීරණය කළ විනිසුරු මඬුල්ල එතෙක් එම මෝසම බහා තැබීමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment