අපේක්‍ෂකයකු දිනවීමට සන්ධාන රැසක් රොද බඳී

6237

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට පුළුල් සන්ධානයක් ගොඩනැගෙන බව ආණ්ඩුවට සහය පළකරන පක්‍ෂයක අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු අපේක්‍ෂක ලෙස ජනාධිපති තරගයට ඉදිරිපත් වන බවට ප්‍රකාශයට පත්කර තිබෙන බවත් ඒ අනුව දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන පක්‍ෂවල එකමුතුවෙන් ගොඩනැගීමට නියමිත සන්ධානයන්හි සාමාජික පක්‍ෂවල යෝජනාව වී ඇත්තේ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීම බවත් එම ආරංචි මාර්ග කීය.

මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර සහය රනිල් වික්‍රමසිංහ මහතාට පළ කළ යුතුය යන මතයේ ඇති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත ගොඩනැඟීමට නියමිත පොදුජන එක්සත් පෙරමුණ යටතේ ගොඩනගන සන්ධානයට සම්බන්ධ සුළු පක්‍ෂවල ද බහුතර කැමැත්ත ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට නිමල් ලන්සා, සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරියේදී සහය පළ කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

සමගි ජනබලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට කැමැත්ත පළකර තිබෙන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමා සහයෝගය ලබා දෙන්නේ කාට ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැත. මේ අතර උතුරේ සී. විග්නේෂ්වරන් ඇතුළු කණ්ඩායම් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහය දෙන බව ප්‍රකාශ කර ඇතත් ඒ බව නිල වශයෙන් සනාථ කර නැත.

මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ ජාතික ජනබලවේගයට සහය දීමට තවත් දේශපාලන පක්‍ෂ ගණනාවක් හා බහුජන සංවිධාන සාකච්ඡා පවත්වමින් සිටිති.

මේ අනුව මෙරට වැඩිම සන්ධාන සහිත මැතිවරණය බවට ඉදිරි මහ මැතිවරණය හෝ ජනාධිපතිවරණය පත්වනු ඇතැයි දේශපාලන විචාරකයෝ මත පළකර සිටිති.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment