ලොව අංක එකේ භාවනා අත්පොත ‘මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉන්ග්ලිෂ්’ Mindfulness in plain english

634

ටයිම්ස් පුවත්පතේ සමීක්‍ෂණයක ප්‍රතිඵලයක්

හේනේපොළ හාමුදුරුවන්ට වයස අවුරුදු 96යි…දවසකට කිලෝ මීටර් පහක් සක්මන් කරනවා…

ශ්‍රී ලාංකිකයකු රචනා කරන ග්‍රන්ථයක ඉහළම පරිවර්තනය මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ් පොත…

මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ් පොත ඇමරිකාව තුළ පිටපත් මිලියන දහයයි ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය වෙලා…

භාවනා, භන්තෙ වචන ඉංග්‍රීසි භාෂාවට එකතු කළේ හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ…

‘මයින්ඩ්ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ලොව විශිෂ්ට භාවනා අත්පොතය. නිවැරදි සිහිය පිහිටුවා ගැනීම යන කාරණය පිළිබඳ ඉගැන්වෙන මෙම ග්‍රන්ථය මේ වනවිට ලොව පුරා භාෂා තිහකට පරිවර්තනය කර තිබීම ද විශේෂත්වයකි. ඇමරිකාව තුළ මිලියන දහයකට අධික පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය කර ඇති මේ ග්‍රන්ථය එරට වසර දහයක් පුරා ඉහළ ම ආදායම් ලබන කෘති අතර ඉදිරියෙන්ම තිබේ. භාවනාවෙන් සිත දියුණු කරගැනීම ඇතුළු ජීවිතය පිළිබඳ අවබෝධ කරදෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ඇමරිකාව, එංගලන්තය සහ තායිලන්ත විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශයට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ. එමෙන්ම මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ලොව පිළිගත් විශ්වවිද්‍යාල රාශියක සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස නම් කර දැනට වසර ගණනාවක් වන බව ද සැබෑය.

විස්ටම් පබ්ලිකේෂන් යටතේ ප්‍රකාශයට පත්කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කරන ලද සමීක්‍ෂණයකට අනුව ලොව පුරා තිබෙන බෞද්ධ භාවනා කෘති අතරින් ප්‍රධානතම කෘතිය ලෙස ද පසුගියදා නම් කර තිබේ. ලොව වැඩි ම පාඨක පිරිසක් කියවන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් එම පර්යේෂණය සිදු කර ඇත්තේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු, විද්‍යාඥයින් මෙන්ම භාවනා ගුරුවරු සහ භාවනා කරන පුද්ගලයන් පාදක කරගෙනය. එමෙන්ම එම පර්යේෂණය සමාජ විද්‍යාත්මක ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන ලද සත්‍ය ගවේෂණයක් බව ද ලොව පිළිගෙන ඇත. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වාර්තාවක් පළකරනුයේ අදාළ පුද්ගලයා ගැන සියයට සීයක් නිවැරැදි තොරතුරු තහවුරු කරගැනීමෙන් අනතුරුව බව ද ලොව පිළිගෙන ඇත. ඒ අනුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස භාවනාවට හොඳම අත්පොත ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය තෝරාපත් කරගැනීම සුවිශේෂී ජයග්‍රහණයකි.

ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කර ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය අප මෙතරම් අතිවඩනුයේ අන් කවරක් නිසා නොව, එහි කර්තෘ ශ්‍රී ලාංකීක භික්‍ෂූන්වහන්සේ නමක් වූ නිසා ය. මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ උඩ පළාතේ, නැඟෙනහිර කෝරළයේ දෙහිදෙණිය වසමේ හේනේපොළ ගමේ දිළිඳු පවුලක ජන්ම ලාබය ලැබ, කුඩා කාලයේ දීම පැවිදි ජීවිතයට ඇතුළත් වී උඩු ගම් බලා ගමන් කරමින් මේ වනවිට එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩසිටින මහාචාර්ය අග්‍ර මහා පණ්ඩිත හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ වීම නිසා ය. ලෝකය පුරා ථේරවාදී බුදුදහම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ අතර පෙරමුණේ සිටින ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ ප්‍රධාන සංඝ නායක, අග්‍ර මහා පණ්ඩිත, මහාචාර්ය හේනේපොළ ගුණරතන හාමුදුරුවෝ ධර්ම විනයධර මෙන්ම ශබ්ද ශාස්ත්‍රය ද මනා සේ ප්‍රගුණ කළ මහා ප්‍රාඥයෙකි. එමෙන්ම පෙර අපරදිග භාෂාවන් පිළිබඳ ප්‍රවීණත්වයක් උසුලන පැනවතෙකි. ලොව පුරා බුදුදහම පතල කිරීමට උන්වහන්සේ සිදු කර ඇති මෙහෙවර සුළු පටු නැත.

ලොව අංක එකේ භාවනා අත්පොත ‘මයින්ඩ්ෆුල්නස් ඉන් ප්ලේයින් ඉන්ග්ලිෂ්’ Mindfulness in plain english

මේ වනවිට වෙස්ට් වර්ජීනියා භාවනා මධ්‍යස්ථානාධිපති ලෙස වැඩ සිටින හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ට වයස අවුරුදු අනූහයකි. අදට ද දවසට කිලෝ මීටර් පහක් සක්මන් කරන උන්වහන්සේ නිවැරැදි සිහියෙන් කටයුතු කරන බව අපට පවසා සිටියේ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හාමුදුරුවෝය. හේනේපොළ නායක හාමුදුරුවන්ගේ සෙවනැල්ල සේ වැඩසිටින, උන්වහන්සේගේ කනිෂ්ඨ ශිෂ්‍යයෙක් වන සද්ධාජීව හාමුදුරුවෝ ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයට හිමි වූ ජාත්‍යන්තර ඇගයීම දකිනුයේ අපේ රටට ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසට ය. එමෙන්ම ‘මයින්ඩ් ෆුල්නස්’ සතිමත් බව කියන වචනය ලෝකය පුරා සුවිශේෂී වශයෙන් වටිනාකමක් ලැබී තිබෙන, ලොව විශාල පිරිසක් එකතු වී සිටින වචනයක් බව ද පැහැදිලිය. ‘සතිමත්’ බව වචනය ලොව පුරා ප්‍රචලිත කරවීම අරමුණු කරගෙන හේන්පොළ ගුණරතන නායක හාමුදුරුවන් විසින් ප්‍රථම වරට ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කොට ඇත්තේ 1994 වර්ෂයේ දී ය. බුදුදහමේ මූලික ඉගැන්වීම්වලට අනුගතව භාවනාවට ප්‍රවේශය ලබාගන්නේ කෙසේද? භාවනා කරනුයේ ඇයි? භාවනාවේ අරමුණු සකසා ගන්නේ කෙසේද? යන සියලු කරුණු සම්බන්ධයෙන් නිවැරැදිව සහ සරලව ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයට ඇතුළත් කර තිබීම ද පාඨක ආකර්ශනය වැඩිවීමට ප්‍රධාන සාධකයකි. එම ග්‍රන්ථය රචනා කිරීමේ දී හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන්ගේ තීක්‍ෂණ ධර්ම ඥානය හොඳින් ඉස්මතු කර තිබෙන බව ද පැහැදිලිය. වර්තමාන ලෝකයේ ත්‍රිපිඨකය පිළිබඳ මනා අවබෝධයක් සහිත උගත්, බුද්ධිමත් භික්‍ෂූන්වහන්සේ අතර හේන්පොළ ගුණරතන හාමුදුරුවෝ ඉදිරියෙන් ම සිටින බවට අවිවාදයක් නැත. 2500 සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් පැවැති ත්‍රිපිටක සංගායනාවේ දී බුරුම පොත් පරිශීලනය කිරීමට ලැබීමෙන් ලැබූ දැනුමෙන් ද උන්වහන්සේ සන්නද්ධ බව සද්ධාජීව හාමුදුරුවෝ අපට සිහිපත් කළහ.

එමෙන් ම උන්වහන්සේ නිරන්තරයෙන් ඇසුරු, නිසරු කළ කොටහේනේ පක්‍ද්ක්‍දාකිත්ති, වල්පොළ රාහුල, ඹබරැන්දේ සිරිසීවලී, යක්කඩුවේ පක්‍ද්ක්‍දාරාම නායක හාමුදුරුවන් වැනි මහා යතිවරු යටතේ විද්‍යාලංකාර පිරිවෙනේ දී දහම් දැනුම ලබමින් ධර්මය, ත්‍රිපිඨක ධර්මය පිළිබඳ මනා දැනුමකින් පෝෂණය වී සිටින බව ද සැබෑය. මේ වනවිට ලොව වැඩි ම රටවල් සංඛ්‍යාවකට සංචාරය කර ඇති භික්‍ෂූන්වහන්සේ ලෙස උන්වහන්සේ ලබා ඇති දැනුම ද සුළු පටු නැත. ලොව පුරා වැඩි ම විශ්වවිද්‍යාල සංඛ්‍යාවක දේශන පැවැත්වූ භික්‍ෂූන්වහන්සේ ලෙස ප්‍රකටව සිටිනුයේ ද හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවෝ ය. ඇමරිකාවේ විශ්වවිද්‍යාල දෙකක දර්ශන අංශයේ මහාචාර්වරයෙක් ලෙස කටයුතු කිරීමෙන් ලැබූ අද්දැකීම් ද උන්වහන්සේගේ දැනුම් ගබඩාවේ තැන්පත් වී තිබෙන බව සැබෑය. භාවනා ගුරුවරයෙක් හැටියට වසර හතළිහකට වැඩි කාලයක් දීර්ඝව කටයුතු කිරීමෙන් ලැබූ අත්දැකීම් ද බොහෝය.

අදට ද අවුරුද්දකට මාස තුනක් භාවනාවට කාලය යොදවමින්, දවසේ පැය අටක, නවයක කාලයක් භාවනා යෝගීව වැඩ සිටිති. වසර හතළිහක් පුරාවට භාවනාව තුළින් උන්වහන්සේ දියුණු කරගත් ශක්තියත්, ත්‍රිපිටක ඥානය, පෙර අපරදිග භාෂාවන් පිළිබඳ පුළුල් දැනුම ආදී සියලු දැනුම් සම්භාරය ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයේ අන්තර්ගතව තිබෙන බවට විවාදයක් නැත. එහෙත් කවර අත්දැකීමක්, දැනුම් සම්භාරයක් එකතු කරගෙන සිටිය ද, මූලික බුදුදහම තුළ භාවනාව පිළිබඳ විග්‍රහා කෙරෙන සූත්‍රගත කරුණු ම පමණක් පදනම් කරගෙන ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය රචනා කිරීමට උන්වහන්සේ වග බලාගෙන සිටී ම ද විශේෂත්වයකි. එම ග්‍රන්ථය ලොව අංක එකේ භාවනා අත්පොත බවට පත්වීමට ඒ සියලු කරුණු පාදක වී ඇති බවට ද විවාදයක් නැත.

මහා දැනුම් සම්භාරයක එකතුවක් ලෙස නිර්මාණය වී ඇති ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය ක්‍රමානුකූලව, පියවරෙන්, පියවර පාඨකයන් අතර ජනප්‍රිය වෙමින් එම පොතෙහි අන්තර්ගත සුවිශේෂී වචන කිහිපයක් ඉංග්‍රීසි භාෂාවට ඇතුළත් වී තිබෙන බව ද වාර්තා වේ. ‘භාවනා, භන්තෙ’ කියන වචන දෙක ම ඉංග්‍රීසී භාෂාවේ ද එලෙසින් ම භාවිත වීම විශේෂත්වයකි. එමෙන් ම මේ වනවිට ලෝකයේ මිලියන ගණනක පිරිසක් උන්වහන්සේ විසින් රචනා කරන ලද ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය පරිශීලනය කරන බව ද වාර්තා වේ. ඒ සියලු ම පුද්ගලයන් මාර්ගයෙන් ක්‍රමානුකූලව තව තවත් එම ග්‍රන්ථය පාඨකයන් අතරට ආකර්ශනය වන බව ද පැහැදිලි ය. ඉනිදු පැහැදිලි වනුයේ හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් විසින් රචනා කරන ලද ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථයේ ඇති වටිනාකමය.

එමෙන් ම ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය පදනම් කරගෙන තවත් පොත් රාශියක් උන්වහන්සේ විසින් රචනා කර තිබේ. ඒ සියලු පොත් භාෂා තුන, හතරකට පරිවර්තනය වීම විශේෂ කරුණකි. ‘මයින්ඩ් ෆුල්නස් ඉන් පේන් ඉන්ග්ලිෂ්’ ග්‍රන්ථය භාෂා තිහකට පරිවර්තනය වීම මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකු විසින් රචනා කරන ලද ග්‍රන්ථයක ඉහළ ම පරිවර්තනය ලෙස ඉතිහාසගත වන බව ද සතුටින් සිහිපත් කළ යුතුය. එමෙන් ම හේනේපොළ ගුණරතන නායක හාමුදුරුවන් රචනා කරන ලද පොත්වලින් ලැබෙන සියලුම ආදායම මෙරට දුගී දුප්පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය නැංවීමට වෙන් කොට තිබීම ද ජාතියට වාසනාවකි. උන්වහන්සේගේ දැනුම හරහා මුළු මහත් ලෝකයට ම ආමන්ත්‍රණය කිරීමට ලැබීම ථේරවාදී කේන්ද්‍රස්ථානය යැයි සම්මත අපේ රටට මහත් අභිමානයකි. මුළු ලෝකයෙන් ම ගරුබහුමන් ලබන හේනේපොළ ගුණරතන හාමුදුරුවන් උපන්දා සිට අනූපස් වැනි විය පසු කරන මේ දක්වා ‘දිවිපෙත’ සහිත ‘තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟ රජු’ චරිතාප්‍රදානය සටහන් තැබීමට ලැබීම ජීවිතයේ මා ලද මහත් භාග්‍යයකි.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment