ලක් මව රනින් සැරසූ යකඩ කෙල්ල

1251


පසුගිය මාසයේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවැත්වූ Asian Classic Equipped Bench Press and Powerlifting Championship 2021 තරගාවලියේදී සවි එසවීමේ අංශයෙන් අති විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබමින් ශ‍්‍රී ලංකාව රනින් සරසන්නට ශෙනුකි දිශල්‍යා ක‍්‍රීඩිකාවට හැකි වුණා. Dead Lift  (කිලෝග‍්‍රෑම් 105)” Bench Press (කිලෝග‍්‍රෑම් 42) සහ Squat (කිලෝග‍්‍රෑම් 85) යන ඉසව් ත‍්‍රිත්ත්වයෙන් රන් පදක්කම් තුනක් සහ කිලෝග‍්‍රෑම් 47 බර කාණ්ඩයේ සමස්ත ශූරතාවයට හිමි රන් පදක්කමත් සමගින් රන් පදක්කම් 4ක් දිනා ගත්තා. මෙම තරගාවලියේදී සවි එසවීමේ අංශය සඳහා සහභාගි වූ ළාබාලතම ක‍්‍රීඩිකාව වූයේද ඇයයි. තවමත් දාහනවවන වියේ පසුවන ශ‍්‍රී ලංකාව රනින් සැරසූ දිරිය දියණිය ශෙනුකිට අපි මෙවර ‘මීවිත. ඉඩහසර වෙන් කළා.

අන්තර්ජාතික තරගයකට සහභාගි වෙන්න ලැබුණු පළමු අවස්ථාවේම රන් පදක්කම් හතරක් දිනා ගන්න ඔබට හැකි වුණා. ඒ ජයග‍්‍රහණය ගැන මොකද හිතෙන්නේ?

මේ ජයග‍්‍රහණය ගැන මට ලොකු සතුටක් තියෙනවා. විශාල කැපකිරීමක් එක්ක පුහුණු කිරීම් කරලා තමයි මම මේ ජයග‍්‍රහණය ලබාගත්තේ. රටවල් දහනමයට වඩා මේ අවස්ථාවට සහභාගි වෙලා හිටියා. අන්තර්ජාතික තරගයකට සහභාගි වුණු පළවෙනි අවස්ථාවෙම මගේ රටට රන් පදක්කම් හතරක් ගේන්න ලැබුණු එක ගැන මට ආඩම්බරයි. ජාතික මට්ටමේදී සවි එසවීමේ අංශයෙන් මම තැබූ වාර්තාව කඩන්න ජාත්‍යන්තර තරගයකදී මටම පුළුවන් වුණා.

ලක් මව රනින් සැරසූ යකඩ කෙල්ල

වෙනත් රටකදී පවත්වන තරගාවලියකට සහභාගි වීම කියන්නේ වෙනස් අත්දැකීමක්. ඒ ගැන ශෙනුකිට දැනුණේ කොහොමද?

මම සවි එසවීමේ ක‍්‍රීඩාවට යොමු වෙලා අවුරුදු දෙකක වගේ කාලයක් වෙනවා. කොවිඞ් වසංගතයත් එක්ක අන්තර්ජාතික තරග කිහිපයකටම සහභාගි වෙන්න තිබුණ අවස්ථාව නැතිවෙලා ගියා. ඒ නිසා මීට් එකකට ගියාම මොනාද වෙන්නේ කියන එක ගැන මට ලොකු අවබෝධයක් තිබුණේ නෑ. මේ මීට් එකේදී මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කලින් වීඩියෝ බලලා මූලික අවබෝධයක් අරන් තිබුණත් එතෙන්ට ගියාම වෙන රටවල ක‍්‍රීඩිකාවෝ වෝර්ම් අප් කරන විදි” පුහුණු කරන විදි පවා වෙනස්. තවත් ගොඩක් දේවල් ඒ රටවලින් මට ඉගෙන ගන්න තියනවා.

අනිත් එක ඒ රටේ උෂ්ණත්වය ගොඩක් අඩු නිසා මගේ මසල්ස් හිරවෙයිද කියලා ෆ්ලයිට් එකේ යද්දි පවා බයෙන් හිටියේ. එතෙන්ට ගියාම ජිම් එක පවා වෙනස්. නමුත් මම තරගය ගැනම අවධානයෙන් හිටියා. ඒ නිසා අනෙක් දේවල් ලොකු ප‍්‍රශ්නයක් වුණේ නැහැ.

සවි එසවීම කියන ක‍්‍රීඩාව ඒ තරම් පහසු ක‍්‍රීඩාවක් නෙමෙයි. මේ අංශය තෝරාගද්දි ශෙනුකිට බයක් හිතුණෙ නැද්ද?

ගොඩක් අය හිතනවා සවි එසවීම කියන්නේ පිරිමි අය කරන ක‍්‍රීඩාවක්” ගැහැනු අයට ඒක කරන්න බෑ කියලා. නමුත් එහෙම බෙදීමක් නෑ. කවුරුත් නොකරපු අමාරු දේවල් ට‍්‍රයි කරන්න මම කැමතියි. සවි එසවීම කියන ක‍්‍රීඩාව ටිකක් අමාරු ක‍්‍රීඩාවක් තමයි. මම ජරදිිසෙඑ වලට තමයි මුලින්ම යොමු වුණේ. ඊට පස්සේ මේ අංශයට යොමු වුණා. දිගටම පුහුණු කිරීම් කරගෙන යද්දි මේ ක‍්‍රීඩාව ගැන කැමැත්තක් ඇති වුණා. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා පුහුණු කිරීම් කළා.

කවදා හරි මේ වගේ විශාල ජයග‍්‍රහණයක් ලබා ගන්නවා කියලා බලාපොරොත්තුවක් තිබුණද?

සාමාන්‍යයෙන් ක‍්‍රීඩකයන් කුඩා කාලයේ ඉඳලාම සවි එසවීමේ ක‍්‍රීඩාවට යොමු වෙනවා. නමුත් මම මේ අංශයට යොමු වුණේ 2019 වර්ෂයේ දී. අවුරුදු දෙකක් වගේ කාලයක් තමයි ගත වුණේ. මුල් කාලයේ මේ වගේ ජයග‍්‍රහණයක් ගැන අදහසක් තිබුණේ නැහැ. නමුත් මාස හතරක් වගේ කාලයක් පුහුණු කිරීම් කරගෙන යද්දි අරමුණක් තියාගෙන පුහුණු කිරීම් කළ යුතුයි කියලා මට හිතුණා. ඒ නිසා ඊට පස්සේ දිගටම මහන්සි වෙලා මගේ අරමුණ වෙනුවෙන් පුහුණු කිරීම් කළා.

මේ අංශය තෝරගෙන වැඩි කාලයක් ගත වුණේ නැති වුණාට ශෙනුකි කුඩා කාලයේ ඉඳලම විවිධ ක‍්‍රීඩාවලට යොමු වුණා නේද?

පොඩි කාලේ ඉඳලම මම ක‍්‍රීඩාවට කැමැති කෙනෙක්. අවුරුදු හතරේදී ජිම්නාස්ටික් වලට යොමු වුණා. අවුරුදු දාහතරක් ජිම්නාස්ටික් කළා. ඊට පස්සේ 2014 වර්ෂයේ කිමිදුම් ක‍්‍රීඩාව පටන් ගත්තා. ජිම්නාස්ටික් අන්තිම මීට් එකේදි මට ඇන්කල් ඉංජරි එකක් ආවා. ඒ නිසා ජිම්නාස්ටික් නතර කරන්න සිද්ධ වුණා. දැන් සවි එසවීමට තමයි වැඩි අවධානයක් තියලා තියෙන්නේ. ඊට අමතරව ඉදිරියේදී ජිම්නාස්ටික් නැවත ආරම්භ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඩයිවින් වලට නැවත යොමුවෙන්න මගේ කැමැත්තක් නැහැ.

නැවත කිමිදුම් අංශයට යොමු නොවෙන්නේ ශෙනුකිට ඒ ක‍්‍රීඩාව ගැන ඇති වුණ කලකිරීම නිසාද?

ඩයිවින් වලින් මම සහභාගි වුණු අවසාන මීට් එකේදි මට ලැබෙන්න තිබුණ පදක්කම අසාධාරණ හේතුවක් නිසා වෙන කෙනෙක්ට ලබා දුන්නා. ඒක නිසා මට ඒ ක‍්‍රීඩාව සම්බන්ධයෙන් කලකිරීමක් ඇති වුණා. ඒ නිසා මම ඒ අංශයෙන් ඉවත් වුණා. නැවත කිමිදුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ නැහැ. දැන් මගේ සම්පූර්ණ කාලය සවි එසවීම සඳහා වැය කරලා තියෙන්නේ.

සවි එසවීම කියන ක‍්‍රීඩාවට ලංකාව ඇතුළේ තවමත් වැඩි ඉඩක් නෑ නේද ?

සවි එසවීම ලෝකයේ ජනප‍්‍රිය ක‍්‍රීඩාවක්. ලංකාවේ තවමත් එය ජනප‍්‍රිය වෙමින් පවතින ක‍්‍රීඩාවක්. ගැහැනු පිරිමි භේදයක් නැතුව මේ ක‍්‍රීඩාවට වැඩි පිරිසක් සම්බන්ධ වෙනවට මම කැමැතියි. අනිත් එක තමයි ලංකාවේ මේ පිළිබඳව පුහුණුකරුවන් ඉන්නේ ටික දෙනයි. මම යන ජිම් එකේ පහසුකම් තිබුණට හැම ජිම් එකකම මේ ක‍්‍රීඩාවට අවශ්‍ය පහසුකම් නැතිව ඇති. ඒ නිසා අවශ්‍ය පහසුකම් හදලා” පුහුණුකරුවන් වැඩි දෙනෙක් ඉදිරිපත් වුණොත් නවකයන් බොහෝ දෙනෙක් මේ ක‍්‍රීඩාවට නැඹුරු වෙයි කියලා හිතනවා. වැඩි පිරිසක් මේ අංශයට යොමු වෙනවට මම කැමැතියි.

මේ ගමනට ඔබට ශක්තියක් වුණු පිරිස මතක් කරමු.

මගේ පුහුණුකරුවන් වන රන්සිළු ජයතිලක” තරිඳු පෙරේරා චානක වික‍්‍රමසිංහ” විමුක්ති ද සොයිසා සහ ඩොක්ටර් චතුරංගවත් විශේෂයෙන්ම සිහිපත් කරනවා. මාව පුහුණු කළ මට ශක්තියක් වුණු හැම දෙනාටම ස්තූතිවන්ත වෙනවා. පාසලෙන් සහ යහළුවන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබුණා. ඒ සියලූ දෙනාටත්” මම තරගය ජයග‍්‍රහණය කළ අවස්ථාවේ ඉඳලා මේ රටට එන්න කලිනුත් ඊට පස්සේත් මට ඉහළ ප‍්‍රතිචාර ලැබුණා. මගේ ජයග‍්‍රහණයට සුබ පැතූ සියලූ දෙනාටමත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment