එපා කියයි නීති ගොඩයි ඒත් ඉවරයක් නැති උන්ඩියල් ජාවාරම

298

නීති විරෝධී ආකාරයෙන් සිදුකරන මත්ද්‍රව්‍ය ජාවරම මැඬලීම පිණිස පොලිසිය විසින් ඉමහත් වෙහෙසක් දරන වටපිටාවක උන්ඩියල් ජාවාරම ඔස්සේ සිදුකරන අයථා ගනුදෙනු සහ ඒවා සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්ද පොලිසිය විසින් මේ දිනවල ක්‍රියාත්මක කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එවැනි ජාවාරම් ආදියේ නිරත වූ පුද්ගලයන් කීප දෙනෙක් සහ විදේශ මුදල් තොගයක් අත්අඩංගුවට ගැනීමට ඉකුත් දිනක පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් සමත් වූහ. ඒ අනුව බොරලැස්ගමුව ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් ඇමෙරිකානු ඩොලර් 47000 ක් පමණ පොලිස් භාරයට ගෙන ඇත. එය මෙරට මුදලින් රුපියල් දෙකෝටියකට ආසන්නය. ඉකුත් දිනක (15 දා) එවැනිම තවත් වැටලීමක් සිදුකළ පොලිස් විශේෂ කාර්ය බළකාය එමගින් යුරෝ 50000 ක් ළඟතබාගත් බවත්, පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. එහිදී විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් පුද්ගලයා පුංචි බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්ය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ විදෙස් මුදල් වැඩිදුර විමර්ශනය පිණිස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අයථා වත්කම් විමර්ශන ඒකකය වෙත භාරදී ඇත.

රට තුළ පැන නැඟී ඇති ඩොලර් අර්බුදය මුල්කර ගනිමින් උග්‍ර ආර්ථික හා සමාජ අර්බුදයන් රැසක් උද්ගතව පවතින වටපිටාවක රට තව තවත් අර්බුදය තුළ සිරගතවීම උන්ඩියල් ජාවාරම මගින් සිදුවන බරපතළ හානියක් බවට මේ වනවිට පත්ව ඇත. එබැවින් තවදුරටත් තම තමන්ගේ ‘ගොඩ’ වැඩිකර ගැනීම පිණිස විවිධ රටවල් හා මෙරට කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන උන්ඩියල් ජාවාරම මැඬලීම පිණිස පොලිසිය විසින් මේ දිනවල වැඩි බරක් තබමින් කටයුතු කරන ආකාරයක් දැක ගත හැක. ඉහත සඳහන් වැටලීම රට තුළ සිදුවෙමින් පවතින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

මොකක්ද මේ උන්ඩියල්

උන්ඩියල් යනු මුළුමනින්ම සම්ප්‍රදායික බැංකු කරණයෙන් පරිබාහිරව සිදු කරගෙන යන මුදල් ගනුදෙනුවක්ය. රටකින් තවත් රටකට මුදල් හුවමාරු කර ගැනීම පිණිස මෙම ක්‍රමය බෙහෙවින් භාවිතා කරන අතර උන්ඩියල් යනු මුළුමනින්ම විශ්වාසය මත පදනම් වූවක්ය. නියෝජිතයන් දෙදෙනෙක් හෝ කීප දෙනකුගේ මැදිහත්වීම මත සිදුවන මෙම මුදල් ගනුදෙනුව මගින් විදේශ මුදල් ඒකක දිනක් ඇතුළත රුපියල් බවට පත්කොට ගිණුම්ගත කිරීමට මෙරට ක්‍රියාත්මක නියෝජිතයන් කටයුතු කරන අතර මෙරට සිට වෙනත් රටවලට මුදල් යැවීමේදී ඒ ඒ රටවල ක්‍රියාත්මක නියෝජිතයන් ද ඒ ආකාරයෙන්ම කටයුතු කරනු ලබන්නේය. එමගින් පිළිගත් ක්‍රමවේද හරහා බැංකු මාර්ගයෙන් රටකින් තවත් රටකට මුදල් යැවීමේ ක්‍රමවේදය බරපතළ තර්ජනයකට මේ වනවිට පත්ව ඇත. මෙලෙස උන්ඩියල් ක්‍රමය හරහා මුදල් යැවීමේදී බැංකු ගාස්තු ඇතුළු වෙනත් අයකිරීම් කිසිවක් සිදු නොවන බැවින් මේ වනවිට එය ප්‍රවණතාවක් දක්වා වර්ධනය වී තිබෙන අතර නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව එය සිදුවන්නක් බැවින් එය ජාතික ආර්ථිකයට අයහපත් ප්‍රතිඵල අත්පත් කර දෙමින් ඇත. මෙරටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් ලෙස ගැනෙන විදේශ ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ වැටුප් උන්ඩියල් මගින් මෙරටට ලැබීමට සැළැස්වීම බොහෝ දෙනෙක් විසින් මේ වනවිට සිදුකරමින් ඇත. විදේශගතව උපයන මුදලට ඉහළ වටිනාකමක් ලබා දීමට උන්ඩියල් නියෝජිතයන් විසින් කටයුතු කිරීමත් එම මුදල් කඩිනමින් අදාළ පුද්ගලයන් වෙත ලැබීමට සැළැස්වීමත් උන්ඩියල් ජනප්‍රිය වීම පිණිස බලපා ඇති ප්‍රධාන සාධක බවට පත්ව ඇත.තේ සහ සෙසු අපනයන බෝග පිණිස ද මෙම ක්‍රමය හරහා ගෙවීම් සිදු කිරීමත් භාණ්ඩ ආනයනය කිරීමේදී ව්‍යාපාරික ප්‍රජාව විසින්ද උන්ඩියල් හරහා මුදල් හුවමාරු සිදුකිරීමත් හේතුවෙන් මේ වනවිට උන්ඩියල් යනු ආර්ථික බූවල්ලෙකු මුළු මහත් සමාජයටම බරපතළ හානි සිදුකරමින් ඇත.

මුල්වරට ඉන්දියාවෙන් ආරම්භ වන උන්ඩියල් ගනුදෙනුව මේ වනවිට මෙරට පමණක් නොව ලොව වෙනත් රටවලද මුදල් හුවමාරු කිරීමේ ප්‍රධානතම ක්‍රමවේදයක් බවට පත්ව ඇත. විදේශ විනිමය හුවමාරු කර ගැනීම පිණිස ක්‍රියාත්මක නීති විරෝධී ක්‍රමවේදයක් වන උන්ඩියල් හරහා කලක් හොර බඩු ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම ආශ්‍රිතව ක්‍රියාත්මක වූ ක්‍රමවේදයක් වුවද මේ වනවිට එය සාමාන්‍ය ජනතාව විසින් භාවිතා කරන ජනප්‍රිය ක්‍රමවේදයක් බවට පත්ව ඇත.රටක් ලෙස බරපතළ විදේශ විනිමය අර්බුදයකට ලක්ව සිටින වටපිටාවක ඉන් තරමක් දුරට හෝ මිදීම පිණිස රටවැසියන් ලෙස යම් කැපකිරීමක් කළ යුතුම මොහොත මේ වනවිට උදාවී ඇත. එබැවින් ව්‍යාපාරික කටයුත්තක් වේවා විදේශගතව රැකියාවන්හි නිරිත පිරිස වේවා ඒ කවුරු කවුරුත් වෙර වීර්යෙන් උපයන ආදායම් මෙරටට එවීමේදී පිළිගත් ක්‍රමවේදයන් යටතේ මෙරට ක්‍රියාත්මක බැංකු පද්ධතිය හරහා ඒ කටයුතු සිදුකිරීමට පෙළෙඹේ නම් මේ මොහොතේ රටට කළ හැකි ඉහළම සත්කාරයක් ලෙස එය හැඳින්විය හැක.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment