නොවැම්බර් 18න් පසුව ජනාධිපතිවරයාට බලයේ ඉන්න බෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්

87

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පසුගියදා සමගි ජන බලවේගය සමග එක්විය. ඒ පිළිබඳව මෙන්ම ජනාධිපතිධුරය අහෝසි කිරීමට සූදානම් වන බවට පළවන ප්‍රකාශ සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දැක්වූ අදහස් මෙසේය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයෙක්, එම ආණ්ඩුවේ ඇමැතිවරයෙකුත් ලෙස කටයුතු කළ ඔබ සමගි ජන බලවේගය සමග එක්වීමට තීරණය කළේ ඇයි?

පිළිතුර – මුල සිට ම අපි අදහස් කරගෙන සිටියේ ජනාධිපතිවරණයේ දී ප්‍රධාන අපේක්‍ෂකයකුට සහයෝගය ලබාදෙන්න. අපගේ අදහසක් තිබුණේ නැහැ ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයෙකුව ඉදිරිපත් කිරීමට. අපි අදහස් කරගෙන සිටියේ අපගේ ශක්තිය ප්‍රධාන අපේක්‍ෂකයකුට එකතු කිරීමට. පසුගිය කාලයේ දී අපි සමගි ජන බලවේගය සමග සාකච්ඡා කළා. එම සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස අපි ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදීමට තීරණය කළා.

ප්‍රශ්නය – ඔබලාගේ කණ්ඩායමේ නායකයා වගේ සිටිය ඩලස් අලහප්පෙරුම මහතා සමගි ජන බලවේගය සමග එක්වන්නේ නැද්ද?

පිළිතුර – ඒක එතුමාගෙන් තමයි අහන්න ඕනි.

ප්‍රශ්නය – අපි දන්නවා, ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, සමගි ජන බලවේගයෙන් ඔබට තනතුරක් ලැබෙනවාද?

පිළිතුර – නැහැ. නැහැ. අපි තනතුරු අපේක්‍ෂා කරන්නේ නැහැ. අපේ අරමුණ ජාතික මෙහෙවරක් ඉෂ්ට කිරීම. එළැඹෙන මැතිවරණය තීරණාත්මක මැතිවරණයක්. අපේ අරමුණ තනතුරු ලුහුබැඳගෙන යෑම නොවෙයි.

අපේ රටේ තිබෙන දැවෙන ප්‍රශ්නවලට ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් කාටද කියලා සොයල බලල අපගේ සහයෝගය ලබාදීම පමණයි අපේ අරමුණ. කිසිසේත්ම තනතුරු ඩැහැගැනීම අපේ අරමුණ නොවෙයි.

ප්‍රශ්නය – සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා මහතා ඔහු තනතුරින් ඉවත් කිරීම වලකන ලෙස අධිකරණ නියෝගයක් ලබාගෙන තිබෙනවා. එයින් පැහැදිලි වනවා නේද එම පක්‍ෂය තුළත් අර්බුද තිබෙන බව.

පිළිතුර – ඒක එම පක්‍ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. මම ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම සුදුසු වන්නේ නැහැ.

ප්‍රශ්නය – ඔබ සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගන්නේ නැද්ද?

පිළිතුර – නැහැ. අපේ අදහස් වී තිබෙන්නේ සංධානයක් ලෙස සමගි ජන බලවේගයට එකතු වෙන්න. එම සන්ධානයේ අප පමණක් නොවෙයි තවත් පක්‍ෂ සහ කණ්ඩායම් සිටිනවා. එබදු පුළුල් සංධානයක කොටස්කරුවන් ලෙස තමයි අපි ඉදිරියට යන්න අපේක්‍ෂා කරන්නේ.

ප්‍රශ්නය – එම සන්ධානයේ නම මොකද්ද?

පිළිතුර – එම සංධානය සඳහා සුදුසු නමක් පිළිබඳව සාකච්ඡා කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නැහැ.

ප්‍රශ්නය – සමගි ජන බලවේගය සමග එක්වූයේ ඉදිරි ජනාධිපතිවරණය අරමුණු කරගෙන බව ඔබ සඳහන් කළා. එම මැතිවරණය පැවැත්විය යුතු නිශ්චිත දිනය කුමක්ද?

පිළිතුර – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති අනුව ඒක ඉතා පැහැදිලියි. එම මැතිවරණය අනිවාර්යයෙන්ම මෙම වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලය තුළ දී පැවැත්විය යුතුයි. වත්මන් ජනාධිපතිවරයාට නොවැම්බර් 18න් පසුව කිසිසේත්ම බලයේ සිටින්න පුළුවන් කමක් නැහැ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් ජූලි මස අවසානයේ දී හෝ අගෝස්තු මස මුල දී ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ යුතුයි. ඒ සඳහා එම කොමිෂන් සභාව බැඳී සිටිනවා. ඒක නිශ්චිතයි. එය වෙනස් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නැහැ.

මම දැක්කා ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා ජනාධිපතිවරණය පවත්වන බවට. එය කිසිසේත්ම ජනාධිපතිවරයාට හෝ ජනාධිපති කාර්යාලයට අයත් දෙයක් නොවෙයි. එම කාර්යය සම්පූර්ණයෙන්ම වැටෙන්නේ මැතිවරණ කොමිසමේ විෂය පඨයට. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ සිට අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීම දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව වගකීම පැවරෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවට. ඒ සම්බන්ධයෙන් කිසිම බලයක් හෝ වගකීමක් ජනාධිපතිවරයාට හෝ ජනාධිපති කාර්යාලයට නැහැ.

ප්‍රශ්නය – ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලය තුළ දී පැවැත්විය යුතු බව ඔබ සඳහන් කළත්, ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සූදානමක් තිබෙන බව වාර්තා වනවා. එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවාද?

පිළිතුර – ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් කළ හැකි සෑම දෙයක්ම කළා. එම මැතිවරණය නොපැවැත්වීම සඳහා. මේ ආණ්ඩුවට තිබෙන්නේ මැතිවරණ භීතිකාවක්. මේ ආණ්ඩුව මැතිවරණයක් පවත්වන්න කිසිම කැමැත්තක් නැහැ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය වසරේ මාර්තු 16ට පෙර. නමුත් මුදල් නොමැති බව පවසා එම මැතිවරණය පැවැත්වූයේ නැහැ. ආණ්ඩුවට වෙනත් ඕනෙම කටයුත්තක් සඳහා නාස්ති කිරීමට මුදල් තිබෙනවා. නමුත් මැතිවරණ පැවැත්වීමට මුදල් නැහැ. අද වනවිට කිසිම පළාත් පාලන ආයතනයක ඡන්දයෙන් පත්වූ නියෝජිතයෙක් නැහැ. පළාත් සභා මැතිවරණය වසර හතරහමාරකින් පවත්වා නැහැ. ඒ අනුව පැහැදිලි වනවා මැතිවරණ පැවැත්වීම සඳහා මේ ආණ්ඩුව ලොකු බියකින් පසුවන බව.

ඒ ආකාරයෙන්ම ජනාධිපතිවරණයත් කල් දැමීම නොදරපු උත්සාහයක් නැහැ. නමුත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූවා.

ආණ්ඩුව දැන් ඒ සඳහා අවසාන තුරුම්පුව ගැසීමට සූදානම් වනවා. ඒක තමයි ජනාධිපතිධුරය අහෝසි කිරීම. එම ධුරය අහෝසි කළොත් ජනාධිපතිවරණයක් නැහැ. එසේ වුවහොත් ජනතාවගේ ඇඟට දැනෙන දේ තමයි මේ වසරේ මැතිවරණයක් නැහැ කියන එක. එසේ වුවහොත් යළිත් මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී. වර්තමාන පාර්ලිමේන්තුව තේරී පත්වූයේ 2020 අගෝස්තු මාසයේදී. පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 යි. ඒ අනුව මීළඟ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2025 අගෝස්තු මාසයේ දී. ජනාධිපතිධුරය අහෝසි කළ හොත් එහි ප්‍රායෝගික ප්‍රතිඵලය තමයි වර්තමාන ආණ්ඩුවේ ආයුෂ තවත් වර්ෂයකින් දීර්ඝ වීම.

එහෙත් එම කටයුත්ත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක බලය ප්‍රමාණවත්වන්නේ නැහැ. අපි මොහොතකටවත් විශ්වාස කරන්නේ නැහැ මේ ආණ්ඩුවට ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා 2/3 ක බලයක් ලබාගන්න පුළුවන් කියලා. නමුත් අපි මොහොතකට උපකල්පනය කරමු ආණ්ඩුවට 2/3 ක බලයක් ලබාගන්න පුළුවන් කියලා. එසේ වුවහොත් ඉන් අනතුරුව ජනමත විචාරණයක් පැවැත්වීමට සිද්ධ වෙනවා. ජනමතවිචාරණයක් පවත්වනවා නම් ජනතාවට ඉදිරිපත් කළ යුත්තේ ඉතාම සරල ප්‍රශ්නයක්. එම ප්‍රශ්නය තමයි මේ ආණ්ඩුවේ නිල කාලය තවත් වසරකින් දීර්ඝ කිරීමට කැමැතිද නැද්ද කියන එක.

ජනතාව පුන පුනා බලාසිටින්නේ මේ ආණ්ඩුව ගෙදර යවන්න. අද ජනතාව පත්වෙලා සිටින ආකාරයේ පීඩනයකට ජනතාව කවදාවත් පත්වෙලා නැහැ. එම නිසා ජනතාවගේ අපේක්‍ෂාව තමයි හැකි තරම් ඉක්මනට මේ ආණ්ඩුව ගෙදර යවන එක. ජනමත විචාරණයක් පවත්වනවා නම් ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම සඳහා එම මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ සඳහන් වන්නේ ලාම්පුව සහ කළගෙඩිය. 2025 අගෝස්තු දක්වා මේ ආණ්ඩුව බලයේ තබාගැනීමට කැමැති නම් ලාම්පුවට ඡන්දය ලබාදිය යුතුයි. මේ ආණ්ඩුව මේ වසරේ දීම ගෙදර යැවීමට නම් ජනතාවගේ කැමැත්ත ඔවුන් කළගෙඩියට ඡන්දය ලබාදිය යුතුයි. එම සරල පණිවුඩය තමයි අපි ජනතාවට දෙන්නේ. ජනමත විචාරණයක් පැවැත්වුවහොත්, එම මැතිවරණයේ ප්‍රතිඵලය කුමක්ද කියන එක ඉතා පැහැදිලියි. ඒක ආණ්ඩුව හොඳ හැටි දන්නවා. එම නිසා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මේ ආණ්ඩුව ජනමත විචාරණයක් පවත්වාවි කියලා.

ජනමත විචාරණයක් පවත්වනවා නම් එය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට දින 30 ක් තුළ පැවැත්විය යුතුයි. ජනමත විචාරණයක් පැවැත්වූ විගස එහි ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපතිවරයාට පුළුවන්කමක් නැහැ. එසේවීමට හේතුව තමයි ජනමත විචාරණයක ප්‍රතිඵලය අභියෝගයට ලක්කිරීමේ බලය ඕනෑම පුරුවැසියෙකුට තිබීම. අල්ලස් දූෂණ පදනම් කරගෙන එම අභියෝගය ඉදිරිපත් කරනවා නම් ඒ සඳහා සති තුනක කාලයක් තිබෙනවා. එම කාලය ගතවන තුරු ප්‍රතිඵලය ප්‍රකාශයට පත්කිරීමට බැහැ. ඊට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරන්න පුළුවන්. එබඳු නඩුවක් විමසා තීන්දුව ප්‍රකාශ්‍යට පත්කළ යුතු කාලසීමාවක් නැහැ.

එය සංකීර්ණ දීර්ඝ ක්‍රියාදාමයක්. එම ක්‍රියාදාමය ඉදිරියට යන අතරේ මැතිවරණ කොමිෂන් සභාවට අනිවාර්යය වගකීමක් තිබෙනවා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීම සඳහා. එම නිසා ප්‍රයෝගිකව ජනමත විචාරණයකට යන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ආණ්ඩුව දන්නවා. ආණ්ඩුවට ජනාධිපතිවරණය කල්දාන්න කෙතරම් වුවමනාවක් තිබුණත් එය කරන්න බැහැ. එම නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එම මැතිවරණය පවත්වනවා පමණක් නොවෙයි එම මැතිවරණය පවත්වන දිනයන් පවා නිශ්චිතයි. ඒ කියන්නේ සැපැත්ම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර කාලය තුළ.

දැන් තිබෙන ප්‍රශ්නය මැතිවරණය පැවැත්වීම නෙවෙයි. ඒ සඳහා විශාල සටනක් කරන්න සිද්ධ වූවා. දැන් තිබෙන අවශ්‍යතාවය තමයි සුදුසු වාතාවරණයක් තුළ එම මැතිවරණය පවත්වා ගැනීම. ඒ කියන්නේ සාධාරණ අපක්‍ෂපාතී වාතාවරණයක් තුළ.

ප්‍රශ්නය – සාධාරණ මැතිවරණයක් නොපවත්වන බවද ඔබ සඳහන් කරන්නේ. ඒ සඳහා තිබෙන හේතු සාධකයන් මොනවාද?

පිළිතුර – ආණ්ඩුව සූදානම් වන්නේ ජනතාව බිය ගන්වලා, නියම තොරතුරු ජනතාවට ලැබීම වළක්වල ආණ්ඩුවට වාසිදායක පරිසරයක් නිර්මාණය කරලා එම පරිසරය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම තමයි මේ ආණ්ඩුවේ අභිලාෂය වෙලා තිබෙන්නේ. ආණ්ඩුව ඒ සඳහා නොකරන දෙයක් නැහැ. පාර්ලිමේන්තුවට එක පිට එක නීති ගෙන එනවා. ඒ සියලුම නීතිවල අරමුණ තමයි ආණ්ඩුවට අහිතකර මත ප්‍රකාශ කිරීම වැළැක්වීම. ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සියලුම තොරතුරු අවශ්‍යයි. දුරස්ථ ක්‍රමවේද ආරක්‍ෂා කිරීමේ පනතින් අපේක්‍ෂා කරන්නේ සියලුම සමාජ මාධ්‍ය ආණ්ඩුවේ ග්‍රහණයට ගැනීම. ඒ වගේම මාර්තු මස මුල ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා. එහි ත්‍රස්තවාදය යනු කුමක්ද යන්න පිළිබඳව නිශ්චිත අර්ථ කථනයක් නැහැ. ඒ වගේම ආණ්ඩුව විකාශන අධිකාරි පනත නමින් පනතකුත් ගෙන ඒමට සූදානම් වනවා. මෙම සියලු පනත් වල අරමුණ තමයි ආණ්ඩු විරෝධි අදහස් මර්දනය කිරීම. එම නිසා සියලු දෙනාගේම වගකීම තමයි සුදුසු වාතාවරණයක් තුළ ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කිරීම. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනා පෙරට ආ යුතුයි. ආගමික නායකයන්, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විශ්වවිiාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන් ඇතුළු සියලු දෙනා ඒ සඳහා පෙරට ඇවිත් කටයුතු කළ යුතුයි.

සාකච්ඡා කළේ –
එරික් ගාමිණි ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment