රම්‍යා වනිගසේකර දිවි සැරිය නිම කරයි

132

සම්මානිත ගුවන් විදුලි හඬ පෞරුෂය, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී, ප්‍රවීණ වේදිකා, ටෙලිනාට්‍ය හා සිනමා රංගවේදිනී, රම්‍යා වනිගසේකර මහත්මිය ඊයේ (08 දා) අභාවප්‍රාප්ත වූවාය.

කලක් රෝගාතුරව පසුවූ ඒ මහත්මිය කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වනවිට 73 හැවිරිදි වියෙහි පසුවිය.

1974 වර්ෂයේ දී වේදිකා නාට්‍ය පසුබිම් ගායිකාවක ලෙස එක්ව කලා ලොවට ප්‍රවිෂ්ඨ වූ ඇයගේ එකම සිහිනය වූයේ ගායිකාවක වීම වුවත් දෛවය විසින් ඇය මෙරට අතිදක්‍ෂ නිවේදිකාවක සහ අතිදක්‍ෂ රංගන ශිල්පිනියක ලෙස ද ඔසවා තබන ලදී.

ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ නූර්ති ගී ගායිකාවක වූ ඇය 1976 හස්තිරාජ මහත්මයා, වේදිකා නාටකයේ රංග ගත වෙමින් රංගන ශිල්පිනියක ලෙස ‘සඳ කිඳුරු, ‘මූදු පුත්තු’, ‘හිරු නැති ලොව’, ‘සිරිසඟබෝ’ සහ ‘කැලණි පාලම’ ඇතුළු වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයක දී රංග ගත වූවාය.

ඇය දශක තුනකට අධික කාලයක් පුරා ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස සහ විවිධ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ද වූවාය.

1978 දී ප්‍රවීණ නාට්‍යවේදී කලා ශිල්පී, ආර්. ආර්. සමරකෝන් මහතාගේ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍ය නිර්මාණයේ ‘මැටිල්ඩා’ නම්වූ ප්‍රධාන චරිතයට ඇය තෝරාගැනීම එදා ඇගේ කලා දිවියේ හැරවුම් ලක්‍ෂය වූ අතර පසු කලෙක ඇය සමරකෝන් මහතාගේ ජීවන සහකාරිය බවට ද පත්වූවාය. ඔවුන්ගේ එකම දියණිය බුද්ධිකා මුදිතානි වන්නීය.

1990 පැවැති විජය ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය වූ රම්‍යා 1991 ජනප්‍රියතම කාන්තාව ද වූවාය. එමෙන්ම 1993 හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය හිමිකරගත් ඇය, 1994 දී හොඳම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස ජනාධිපති සම්මානයට පාත්‍රව මියෙන තෙක් විවිධ වූ සම්මාන සහ ගරු බුහුමනට ද පාත්‍ර වූවාය.

අභාවප්‍රාප්ත ප්‍රවීණ කලා ශිල්පිනී, රම්‍යා වනිගසේකර මහත්මියගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (10 දා) ඉරිදා බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment