එන්.එස්.එල්. තරගාවලියේ අවසාන මහා තරගය හෙට

107

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එන්. එස්. එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය දඹුල්ල සහ මහනුවර කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී හෙට (10 දා) පැවැත්වීමට නියමිතය. දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වේ. අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට දඹුල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම පසුගියදා සමත්විය.

මෙම තරගාවලිය සඳහා නුවර, දඹුල්ල, යාපනය, ගාල්ල, කොළඹ යන කණ්ඩායම් 5ක තරග වැදි අතර පැවැති තරග අතරින් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට නුවර කණ්ඩායමට සහ දඹුල්ල කණ්ඩායමට හැකිවිය.

එන්.එස්.එල්. තරගාවලිය යටතේ පැවැති මුල්ම තරගය ගාල්ල සහ කොළඹ කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දු වාර 38.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 188 ක් ලබාගත් අතර කොළඹ කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ පන්දු වාර 18.4ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 174ක් පමණි.

දෙවැනි තරගය යාපනය කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී යාපනය කණ්ඩායම ලකුණු 218ක් ලබාගත් අතර දඹුල්ල කණ්ඩායම ලකුණු 219ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඉන් පසු නුවර කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැති තරගයෙන් නුවර කණ්ඩායම පන්දු වාර 48.3ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 201ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම ලකුණු 204ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තාකර ගත්තේය.

සිව්වැනි තරගය ලෙස පැවැත් වූයේ ගාල්ල කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර තරගයයි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ ලකුණු 288ක් රැස් කිරීමට සමත් වුවත් ලකුණු 289ක් ලබා ගනිමින් එම ඉලක්කය පසුකර යෑමට යාපනය කණ්ඩායමට හැකි විය.

තරගාවලිය යටතේ පැවැති පස්වැනි තරගය කොළඹ කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැති අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම ලකුණු 215ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායම පන්දු වාර 42ක් තුළ ලකුණු 221ක් ලබා ගනිමින් එම ඉලක්කය පසුකර ගියේය.

හය වන තරගය දඹුල්ල සහ ගාල්ල අතර පැවැත්විණි. එහිදී දඹුල්ල ලකුණු 241ක් ලබාගත් අතර ගාල්ල ලකුණු 242ක් ලබා ගනිමින් එම තරගය ජයග්‍රහණය කිරීමට සමත්විය.

මීළඟ තරගය කොළඹ කණ්ඩායම හා දඹුල්ල කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොළඹ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබාගත් අතර පිළිතුරු ලෙස දඹුල්ල කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 263ක් ලබා ගනිමින් එම තරගයේ ජය තමන් සතුකර ගැනීමට සමත්විය.

තරගාවලියේ කැපී පෙනුණම තරගය 8වන තරගය විය. එය නුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතර පැවැති අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නුවර කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 359ක් ලබා ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ යාපනය කණ්ඩායම පන්දු වාර 48.5ක් අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 360ක් ලබා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය.

නම වන තරගය ගාල්ල කණ්ඩායම හා නුවර කණ්ඩායම අතර පැවැත්විණි. එහිදී ගාල්ල කණ්ඩායම ලකුණු 146ක් ලබාගත් අතර එම ඉලක්කය පන්දු වාර 23.2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 147ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තා කිරීමට නුවර කණ්ඩායමට හැකිවිය.

දහවන තරගය යාපනය කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර පැවැති අතර එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් යාපනය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 310ක් ලබාගත් අතර පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායමට ලබාගැනීමට හැකි වූයේ 212ක් පමණි.

සිසිර ජයසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment