හමුවුණේ කට්ටංගේ පතලයකින්: කහවත්තේ නිල් මැණික කෝටි 43කට වෙන්දේසි වෙයි

3562

කෝටි 47කට ලංසු තැබූ ව්‍යාපාරිකයා මගදී වෙනස් වෙයි

කහවත්තේ මැණික් පතලකින් හමුවූ පිරිසිදු නිල් මැණික් ගලකට රුපියල් ලක්ෂ හාරදහස් තුන්සියයක් (කෝටි 43) මිලක් හිමිවිය. පැල්මඩුල්ල ප්‍රදේශයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙක් මෙම ගල ප්‍රසිද්ධ වෙන්දේසියේදී මිලදී ගත්තේය. කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ මෙම නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43 (ලක්ෂ හාරදහස් තුන්සීය) කට ඊයේ (16දා) වෙන්දිසියේ අලෙවි කෙරුණි. බ්ලූ සැෆයාර් වර්ගයේ මෙම මැණික් ගල කැරට් අනූනවයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ රත්නපුර නිලධාරියෙක් පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේදී වෙන්දේසි කෙරුණි. එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෝ රැසක් සහභාගී වී සිටියහ. එම වෙළෙඳුන් විසින් තම නම සටහන් කර මැණික් ගල තමන් මිලදී ගැනීමට අපේක්ෂා කරන මිල ද සටහන් කර ලංසු තබා තිබුණි. රුපියල් කෝටි 39, 41 ක වැනි ලංසු ද ඒ අතර විය. කහවත්ත ප්‍රදේශයේ මැණික් වෙළෙන්දකු රුපියල් කෝටි 47ක පමණ ලංසුවක් තබා තිබුණ ද වෙන්දේසිය පවතිද්දී ඔහු එම මිලෙන් රුපියල් කෝටි හයක් අඩුවෙන් මැණික් ගල ඉල්ලුම් කරන බව පැවසීය. ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඩුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුට මැණික් ගලේ අයිතිය හිමිවිය. පසුගිය සතියේදී කහවත්ත නගරයට ආසන්නව කට්ටංගේ ප්‍රදේශයේ පතලක මැණික් ගරද්දී මෙම වටිනා නිල් මැණික හමුවී තිබේ. ලොව වටිනාම ස්වභාවික නිල් මැණික් හමුවෙන ප්‍රදේශයක් ලෙස කහවත්ත ප්‍රචලිතව තිබේ. පසුගිය කාලයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපතිවරයකු ලෝකයේ ලොකුම නිල් මැණික කහවත්තෙන් හමුවූ බව ප්‍රචාරයක් ගෙන ගිය අතර පසුව පාර්ලිමේන්තු කමිටුවකදී එය අසත්‍ය බව අනාවරණය විය. එමගින් අපකීර්තිමත් වූ මැණික් ක්ෂේත්‍රයට මෙවැනි ස්වභාවික නිල් මැණික් නිසා රටේ මැණික් ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර අවධානයට පත්වෙන බව මැණික් ක්ෂේත්‍රයේ යෙදෙන්නෝ පවසති. කපා ඔප දැමූ විට මෙම නිල් මැණිකට විශාල මිලක් නියම වෙන බවත් රට ආර්ථික අර්බුදයක පවතින අවස්ථාවක එවැනි විදේශ විනිමයක් හිමිවීම රටට සම්පතක් බවත් මැණික් ක්ෂේත්‍රයේ යෙදෙන්නෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment