ජනපති අවධානයට; ඉන්දියාවේ බිත්තරයට වඩා දැන් අපේ මිල අඩුයි, කෝටි 4ක බිත්තර අපි දෙන්නම් ඉන්දියාවෙන් ගෙන්වනවා වගේ අපිට සල්ලි දීලා ගන්න

244

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක

පාරිභෝගික ජනතාව හා බිත්තර නිෂ්පාදකයන් අතර ගැටුම්කාරී අන්දමින් මාතෘකා ඇති කළේ රජයේ පාර්ශ්වයෙන් බවත් අද වන විට ඉන්දියන් බිත්තරයටත් පහළින් අපේ බිත්තර අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ඇති බවත් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පවසයි.

ඉන්දියන් බිත්තර යළි කෝටි 4ක් ආනයනය කිරීමේ යෝජනාව පිළිබඳ රුවනි ලෙෂර් පාක් හිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ඒ බැව් කීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

අද ඉන්දියන් බිත්තර රු. 45ට විකිණෙද්දී ඒ හා සමාන බරින් යුතු අපේ බිත්තර රු. 40ට විකිණෙන අවස්ථා ජනතාව පවා සමාජ මාධ්‍ය ජාලාවල පළ කරනවා. අපි එදා කිව්වා අපිට මේ පෝතක සතුන් බිත්තර දාන කාලය වෙනතෙක් සාධාරණ කාලයක් දෙන්න අපි මේ රට බිත්තරයෙන් ස්වයං පෝෂිත කරනවා කියලා. අද වෙනවිට බිත්තර අතිරික්ත තියෙනවා.

මම මාධ්‍යයෙන් ඉල්ලනවා අද බිත්තර තිබෙන තරම සහ මිල අඩු බව රටට කියන්න කියලා.

අවුරුදු සීසන් කියලයි කියන්නෙ. බොහොමයක් බඩු භාණ්ඩ ටිකක් මිල වැඩි කරන කාලයක වුවත් අපි එන්න එන්න මිල අඩු කරමින් තියෙන්නෙ. අවුරුදු ළං වෙනකොට තවත් අපේ බිත්තර අඩුවේවි. අපි හිතලු කියන්නෙ නැහැ. හැම වෙලාවෙම අපි කිව්වෙ ගොවි බිමේ ඉන්න ගොවියෝ විදිහට අත්දැකීමෙන් හා නිවැරදි සංඛ්‍යාලේඛන දත්ත එක්ක.

මාෆියා කියමින් අපි කෙරෙහි ජනතාව වෛර ගන්වන්නට උත්සහ කළත් දැන් ජනතාව දන්නවා මේ බිතර තියාගන්න පුළුවන් උපරිම දින 10ක් වගේ කාලයක් පමණක් බව. මහා ලොකු ශීතාගාර තියන අය ගබඩා කරගන්න ඇති. ගොවියන්ට ඒක කරන්න බැහැ. ඒ නිසා අපි දැං මේක වෙන කිසිවකුට කියලා හරියන්නෙ නැහැ.

අපි ජනාධිපතිවරයාට කියන්නෙ මේ අවශ්‍යතාවය තියන කෝටි 4ක බිත්තර අපි දෙන්නම්. ඉන්දියාවෙන් ගෙන්වනවා වගේ අපිට සල්ලිදීලා ගන්න. දෛනිකව ලක්‍ෂ 25 ක් වයඹින් බිත්තර දෙන්න අපිට පුළුවන්. නිකං නෙවෙයි දින 10 වගකීම් කාලයක් එක්ක. ඒ බව අපි දිවුරුම් ප්‍රකාශයක් වුණත් දෙන්නම්. එහෙම කළොත් ඩොලර් මොනතරම් ප්‍රමාණයක් රටේ ඉතිරි කරගන්න පුළුවන්ද?

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment