ත්‍රාසජනක වීඩියෝ ක්‍රීඩාවක විධානවලට බියෙන් කිළිනොච්චිය සරසවි සිසුවා දිවි නසා ගෙන

1133

මියයන්න පෙර වීඩියෝ ක්‍රීඩාව ගැන මිතුරන්ට තොරතුරු කියලා

මාරාන්තික හා ත්‍රාසජනක ක්‍රියාවල නිරත වන ලෙසට විධාන ලැබෙන වීඩියෝ ක්‍රීඩාවක නිරත කිළිනොච්චිය විශ්වවිද්‍යාලයේ සිසුවකු අවසානයේදී බියට පත්ව ගෙළ වැළලාගෙන 15 දා මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ පන්නෙයි ප්‍රදේශයේ පදිංචි සුබරාජා එෂිල්නාත් (22) නමැති අයෙකි.

ඔහු සිය නිවසට පැමිණ සිටින අවස්ථාවකදී එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව සිට ඇති අතර යම් විධානයක් නිසා ඔහු බියට පත්ව මෙසේ සිය දිවි හානි කරගෙන ඇති බවට සාක්කි ලැබී තිබේ.

එම වීඩියෝ ක්‍රීඩා වල ස්වභාවය වන්නේ තමන් වෙත ලබා දෙන විවිධ අභියෝගවලට මුහුණ දෙමින් එම ක්‍රියාවල නිරත වෙමින් ඉදිරියට ගමන් කිරීමය.

මේ අන්දමටම වූ වීඩියෝ ක්‍රීඩාවක නිරත වූ යාපනයේ එක් විදුහලක සිසුවෙකු විදුහලේ තට්ටු ගොඩනැගිල්ලෙන් පහතට පැන තුවාල ලබා සිටියේ මීට මාස හතකට ඉහතදීය.

කිළිනොච්චිය විශ්වවිද්‍යාල සිසුවාටද එම ඉරණම ම අත් වී තිබූ අතර ඔහු ඔහුට ලබා දී තිබූ විධානය ඉටුකිරීම වෙනුවට බියට පත්ව සිය දිවි හානි කරගෙන තිබුණි.

ඔහු එම පවුලේ සිටි එකම දරුවා වන අතර නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවක එම වීඩියෝ ක්‍රීඩාවේ නිරතව මේ අන්දමට සියදිවි හානි කරගෙන ඇත. ඊට පෙර ඔහු සිය මිතුරන්ට මේ පිළිබඳව විස්තර හෙළිදරව් කොට තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේදී මෙම මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම කරුණු හෙළි වූ අතර යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරගෙන යයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment