පේරාදෙණියේ තරුණියට මරු කැඳවූ ඖෂධයෙන් – මහනුවර තවත් දෙදෙනකුට අසාධ්‍යයි

567

මිනිස් ජීවිත සමඟ තවදුරටත් සෙල්ලම් කරනු එපා
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සන්ධානය

උදරාබාධයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පේරාදෙණිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ 21 හැවිරිදි තරුණියක මියයෑමට හේතු වූ බව කියන සෙෆ්ටි්‍රඇක්සෝන් (Ceftriaxone) නමැති ඖෂධය භාවිතයෙන් ඉවත්කර නොමැති බවට පේරාදෙණිය රෝහලේ පැවැති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් පවසා පැය කිහිපයක් ගතවීමටත් පෙර එම එන්නත ලබාදුන් මහනුවර රෝහලේ රෝගීන් දෙදෙනකු මරණාසන්න අසාත්මිකතාවකට පත්වී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

ඒ අනුව එම ඖෂධය භාවිතය තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙරේදා (15 දා) රාත්‍රි තීරණය කර, මහනුවර සහ පේරාදෙණිය රෝහල්වල අදාළ ඖෂධය පරීක්‍ෂාව සඳහා වෛද්‍ය රසායනාගාරය වෙත යැවීමට තීරණය කර ඇතැයි දැනගන්නට තිබේ.

කෙෆ්‍රිඇක්සෝන් ඖෂධය කාණ්ඩ 10 ක් යටතේ දිවයිනේ රෝහල් වෙත නිකුත් කර තිබෙන බවත් 21 හැවිරිදි තරුණියගේ මරණයෙන් පසු එම ඖෂධය හේතුවෙන් ආසාත්මිකතාවක් ඇතිවූ බවට වාර්තා නොවූ නිසා එය භාවිතයෙන් ඉවත් කර නොමැති බවට තමන් ප්‍රකාශ කළ නමුත් මහනුවර ජාතික රෝහලේදී එවැනි ආසාත්මිකතාවන්ට පත්වූ රෝගීන් දෙදෙනකු වාර්තාවීම නිසා එම රෝහල් දෙකට කෙෆ්‍රිඇක්සෝන් ඖෂධය භාවිතා කිරීම තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දුන් බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ලියාපදිංචි නොවූ සහ තත්ත්වය පරීක්‍ෂා නොකළ ඖෂධ වලින් ආසාත්මික වීම සාමාන්‍ය අසාත්මිකතාවයක් යැයි පැවසීම ජනජීවිතය හෑල්ලුවට ලක්කිරීමක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ඊයේ (16 දා) පැවැසීය. මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්‍ෂාවකින් තොර විවිධ ප්‍රකාශ නොකරන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙසේ ද පැවැසීය.

වැඩි මුදලට හදිසි මිලදී ගැනීම යටතේ නිසි පරිදි තත්ත්වය පරීක්‍ෂා නොකරන ලද හා ලියාපදිංචි නොකරන ලද ඖෂධ ගෙන්වන බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගෙන තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ රෝගීන් මියයෑම හෝ අසාධ්‍ය තත්ත්වයට පත්වීම ඉතා සාමාන්‍ය සිදුවීමක් බවට සෞඛ්‍ය ඇමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ප්‍රකාශ කිරීම මේ රටේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය බරපතළ ලෙස හෑල්ලුවට හා උපහාසයට ලක්කිරීමක්.

ප්‍රශ්නගත ප්‍රතිජීවක ඖෂධ කිසිදු ගැටලුවක් නොමැති බවට එවැනි පිරිස පවසද්දීත් පුද්ගලයන් කිහිපදෙනකුට බරපතළ සංකූලතා ඇතිවී තිබෙන බවට වාර්තා වෙනවා. අනුරාධපුර රෝහලේදී ද සැකකටයුතු මරණයක් සිදුවී තිබෙන බවටත් වාර්තා වෙනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇමැතිවරයා ඇතුළු නිලධාරීන් ගෙන්වා සාකච්ඡා පවත්වා උපදෙස් දුන්නත් එය හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් ලෙස ජනාධිපතිවරයා ද අවබෝධ කරගත යුතුයි. ඉතිහාසයේ දුර්වලම සෞඛ්‍ය පරිපාලනය පෙන්නුම් කරමින් මිනිස් ජීවිත සමඟ සෙල්ලම් කිරීමට තවදුරටත් ඉඩ නොදී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා ලෙස සංගමයක් ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවැසීය.

රජයේ රෝහල්වල මෙවැනි තත්ත්වයක් වාර්තා වුවත් පෞද්ගලික රෝහල්වල ද එසේ වනවා ද යන්න සොයාබැලිය යුතුයි.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දෙදෙනා මියගියහොත් එයට වගකියන්නේ කවුරුන් ද යන්න සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රශ්න කළේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment