අනියම් ඇසුර රහ වැටී සැමියා කූඩු කරන්න හැදූ දෙදරු මවගේ ගේම පත්තු වෙයි

10889

අනියම් සැමියා සමග එක්වී සිය සැමියා මත්කුඩු අලෙවි කරන බවට පවසමින් සැමියා පොලිසියට කොටුකර දීමට තැත් කළ කාන්තාවක් බියගම පොලිසිය මගින් ඉකුත් සිකුරාදා (14 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මේ කාන්තාව විසින් සැමියා වෙළෙඳාම් කරන ස්ථානයේ මේසය යට මිලිගෑම්ස් 320 ක් අඩංගු හෙරොයින් පැකට් 08 ක් හොර රහසේ සඟවා සැමියා මත්කුඩු අලෙවි කරන බවට අනියම් සැමියා ලවා දුරකථන ඇමතුමක් පොලිසියට ලබා දී සැමියා මෙසේ කොටු කර දීමට තැත් කර තිබිණි.

මේ අනුව දුරකථන ඇමතුමට වහාම ක්‍රියාත්මක වූ එහි පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ධම්මික කස්තුරිආරච්චි මහතා විසින් එම ස්ථානයට ගොස් මත්කුඩු සොයා ගෙන සැමියා අත් අඩංගුවට ගනූ ලැබීය.

පසුව මේ පිළිබඳව සැමියාගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමා මත්කුඩු අලෙවි නොකරන බව කියමින් මෙය බිරිඳගේ උප්පරවැට්ටියක් බව පවසා තිබේ. ඉන් අනතුරුව බිරිඳගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙහි සුලමුල හෙළි කර ගැනීමට පොලිසියට හැකිවිය.

මේ කාන්තාවගේ සැමියා අපරාධයක් සම්බන්ධව සිර දඩුවම් ලබා සිටියදී ඇය වෙනත් පුද්ගලයෙකු සමග අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර සැමියා නිදහස් වී පැමිණීමෙන් පසුව ඔහු නැවත අධිකරණයට හසුකර දීමේ අරමුණ ඇතිව මෙය සිදු කර තිබෙන බව කියති.

අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව බියගම ප්‍රදේශයේ පදිංචි තිස්හතර හැවිරිදි දෙදරු මවකි.

බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ උපදෙස් අනුව පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික කස්තුරිආරච්චි මහතා මේ සිද්ධිය සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ පවත්වයි.
දෙල්ගොඩ ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම සුදත් පුබුදු කීර්ති

advertistmentadvertistment
advertistmentadvertistment