සිරිපාල සහ තැටිපාල

1254

වරාය හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා උත්සව සභාවක් අමතමින් ගෙනහැර දැක්වූ කරුණු කිහිපයක් ගැන මුලින්ම සාකච්ඡා කිරීමට අපි අදහස් කරමු. ලංකාවේ වෘත්තිකයන් හෙවත් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ විද්‍යාර්ථින් සෑහෙන පිරිසක් මේ වනවිට රට හැර ගොස් ඇත. මෙය ලංකාව වැනි ආර්ථික අර්බුද පවත්නා රටවල තිබෙන ප්‍රවනතාවකි. නිමල් සිරිපාල ද සිල්වා කියන පරිදි ඉන්දියාවේ වෛද්‍යවරු ද මේ වනවිට රට හැර යමින් සිටිති. ඇමරිකාවේ වෛද්‍යවරුන් ද, එංගලන්තයේ වෛද්‍යවරුන් ද රට හැර යමින් සිටින බවත් අප්‍රිකාවේ සියලුම හෙදියන් රටවල් හැර ගොස් යුරෝපයට සංක්‍රමණය වී ඇති බවත් ඔහු කියයි. මේ රටේ වෘත්තිකයන් රට හැර යෑමේ විභවය ගැන දැනුමක් නිමල් සිරිපාල ද සිල්වාගේ පරම්පරාවේ දේශපාලනඥයන්ට නැත. තමන්ට ඇති තරම් කෑම බීමත් විනෝදාස්වාදයත්, වාසස්ථානත්, වෙනත් පහසුකමුත් ඇති අය මේ ප්‍රශ්නය දකින්නේ ඉතා ලාබෙටය. ඉන්දියාවේ ආර්ථික අර්බුදයක් නැත. මේ රටේ වෘත්තිකයන් රට හැර යන්නේ වඩා හොඳ රැකියා අවස්ථා අපේක්‍ෂාවෙනි. උදාහරණයක් වශයෙන් ගතහොත් එංගලන්තයේ අගමැති ද ඉන්දියානුවෙකි. ඔහු අයත් වන්නේ හොඳ රස්සාවල් සොයාගෙන ඉන්දියාවෙන් එංගන්තයට සංක්‍රමණය වූ පවුලකටය. නාසා ආයතනයේ උසස් ඉංජිනේරු අංශය ඉන්දියානුවන්ගෙන් පිරී ගොස් ඇත. එංගලන්තයේ සිටින වෛද්‍යවරු රට හැර යෑමක් ගැන අපි නම් අසා නැත්තෙමු. නිමල් සිරිපාල ද සිල්වා සමහරවිට මේ කියනු ඇත්තේ එංගලන්තයේ වෛද්‍යවරුන් අවුරුද්ද අන්තිමට නිවාඩු ගෙන පවුලේ අය සමග පිටරටවල ට්‍රිප් යෑම ගැන විය යුතුය. සමහර විට නිමල් සිරිපාල පිටරට ගිය වෙලාවකදී බ්‍රිතන්‍ය ජාතික සංචාරකයකු මුණගැසෙන්නට ඇති. ඔහු කොයි රටේ දැයි ඇසූ විට එංගලන්තයේ යැයි එම බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා කියන්නට ඇති. මේ දොස්තර පැමිණ සිටින්නේ ට්‍රිප් එකක් බව නොදන්නා නිමල් සිරිපාල ඔහු රස්සාවක් සොයාගෙන එන්නට ඇති බව කල්පනා කරන්නට ඇති. මෙවැනි දේශපාලනඥයන් ඊළඟට කරන්නේ තමන් ඇසින් දුටු දෙය කිසිදු විචාර බුද්ධියකින් තොරව ගෙඩිය පිටින් වැමෑරීමය. අප්‍රිකාවේ සියලුම හෙදියන් යුරෝපයට සංක්‍රමණය වී ඇති බව අප පිළිගන්නේ නැත. එසේ සංක්‍රමණය වී ඇත්නම් අප්‍රිකාවේ රෝහල්වල හෙද වෘත්තියේ යෙදෙනවා ඇත්තේ රෝගීන්ගේ පවුලේ අය විය යුතුය. ලෙඩා රෝහලට එනවිට ගෙදර අය ද රෝහලට පැමිණ වැඩ කිරීමට පටන්ගැනීමත් ලෙඩා සනීප වී යනවිට ඔවුන් රොත්ත පිටින්ම හෙදකම අතහැර ආපසු යෑමත් සිදුවනවා විය යුතුය. අන්තර්ජාලයට පිවිස අප්‍රිකා මහද්වීපයේ සේවා නියුක්තිය පිළිබඳ වෙබ් සයිට්වලට ගොස් ඒ රටවල හෙද සේවා නියුක්තිය ගැන සංඛ්‍යාලේඛන බලා කිසියම් අධ්‍යාපනයක් ලබාගන්නා මෙන් අපි නිමල් සිරිපාලගෙන් ඉල්ලමු. වෛද්‍යවරුන් රට හැර යන්නේ ලද දෙයින් සතුටුවීමට බැරි නිසා බවත් තෘෂ්ණාව නිසා බවත් අපගේ මේ ඇමැතිතුමා පසුගිය මාසයේ 27 වැනිදා බදුල්ල ශික්‍ෂණ රෝහලේ පැවති රැස්වීමකදී පැවසීය. තෘෂ්ණාව යනු එක රටාවකි. කෙනකුගේ ජීවන මට්ටම යනු තව කතාවකි. වෛද්‍යවරයකු හෝ ඉංජිනේරුවකු තමන් ලබන වැටුප අනුව ජීවත් වීමට පටන් ගනියි. ටික කලක් ගතවන විට මේ ක්‍රමයෙන් පිටතට යෑමට ඔහුට බැරි වෙයි. ස්වකීය සමාජ තත්ත්වයත්, කීර්ති නාමයත් ඉහළ මට්ටමින් පවත්වාගෙන යන ලෙස ධනවාදී සමාජ වටපිටාව විසින් ඔහුට බල කරනු ලැබේ. ඒ නිසා ඔහුට වැඩි වැඩියෙන් සල්ලි අවශ්‍යය. තෘෂ්ණාව අත්හැරීමට කියා එම වෛද්‍යවරයාට සාත්තු සේවකයකු වීමට බැරිය. හැකි නම් තෘෂ්ණාව අත්හැර ප්‍රාදේශීය සභා ඡන්දයකට හෝ සමුපකාර ඡන්දයකට ඉදිරිපත් වන ලෙස අපි නිමල් සිරිපාලගෙන් ඉල්ලමු. මේ කතුවැකියේ සිරිපාල කොටස මෙතැනින් අවසන් කරනු ලැබේ. ඊළඟට සාකච්ඡා කරන්නේ තැටිපාල ගැනය.

රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපුරාළ වූ සොමිපාල රත්නායක බැතිමතුන් විසින් දේවාලයට පූජා කරන භාණ්ඩ ගෙදර ගෙනයන බව පිළිගෙන ඇත.

අංගොඩ ලොක්කා නමැති කුණු ජරා කුඩු ජාවාරම්කාරයාගේ බිරිඳ විසින් කතරගම දේවාලයට පූජා කෙරුණු පවුම් 38ක් බර රන් තැටිය තමා විසින් ගෙදර ගෙනයන ලද බවද කියා තිබේ. දේවාලයට පූජා කරන ලද පූජා භාණ්ඩ සොමිපාලට අයිති නම් බැතිමතුන් කළ යුත්තේ කෙළින්ම සොමිපාලගේ ගෙදරට ගොස් ඒවා පූජා කිරීමය. සොමිපාල රත්නායකගේ වයස අවුරුදු 85කි. ඉහ නිකට පැසුණු පුද්ගලයකු මෙන්ම දෙවියන්ගේ නියෝජිතයකු ලෙස ද පෙනී සිටින ඔහු කියූ ඉහත සඳහන් කතාව කපටිකමට කියූවක් ද නැත්නම් ගොංකමට කියූවක් දැයි අපට නොතේරේ. දුටුගැමුණු රජතුමා සිය රන් කඩුවත් රාජාභරණත් කණ්ඩුල හස්තියාගේ දළ යුග්මයත් කතරගම දේවාලයට පූජා කළේය. සොමිපාල මේවාත් ගෙදර ගෙනගොස් ඇත්දැයි අප සොයා බැලිය යුතුය. මනුෂ්‍යයන් හා ගනුදෙනු කිරීමේදී දෙවියන්ට අතරමැදියන් අවශ්‍ය නැත. අතරමැදියා නිසා භාණ්ඩ හා සේවාවල මිල නිතරම ඉහළ යයි. මේ නිසා අතරමැදියා තුරන් කළ යුතු බවට ආර්ථික විද්‍යාව තුළ යෝජනාවක් තිබේ. මේ රටේ සියලු දේවාලවල සිටින හොර කපුවන් පලවාහැර දෙවියන් සමග කෙළින්ම ගනුදෙනු කිරීමේ අවස්ථාව බැතිමත් ජනතාවට ලබාදිය යුතුය. පුරාවෘත්තවලට අනුව කතරගම දෙවියන් යනු මතු බුදුබව පතන සිල්වතෙකි. වරක් උන්වහන්සේ භාවනානුයෝගීව කැබිලිත්ත වනාන්තරයේ කල්ගත කරද්දී ඩබල් කැබ්වලින් එහි ගිය කසිප්පුකාරයන් විවිධ පුද පූජා කරමින් මුළු කැබිලිත්තම වැනසූ බව දැනගන්නට තිබේ. මේ කාලකණ්ණි නරපණුවන්ගේ ක්‍රියාකලාපය නිසා සිත රිදවා ගත් කඳසුරිඳු කැබිලිත්තෙන් පිටතට වැඩමකළ බව සමහරු කියති. දේවාලයේ සිටින එක එක පාලලා පූජා භාණ්ඩ සොරකම් කරමින් පිස්සු කෙළින හැටි දන්නවා නම් කතරගම දෙවිහාමුදුරුවන් වහන්සේ මහත් සේ කලකිරෙනවා ඇත. දැනගැනීමට ඇති පරිදි සොමිපාල ගෙදර ගෙනගිය කුඩුකාරයාගේ රන් තැටිය අයිතිකර ගැනීම සඳහා සොමිපාල පවුලේ දෙදෙනකු ගහමරා ගන්නා බවද දැනගැනීමට තිබේ. ඉන්දියාවේ කෝවිල්වල කෝටි ගණන් සල්ලි තිබේ. රන් හා රිදී ටොන් ගණනින් තිබේ. එහෙත් කිසිම පූසාරි කෙනෙක් ඒවා සොරකම් කරන්නේ නැත. ලංකාවේ හින්දු කෝවිලකට වුවද කිසියම් වටිනා පූජා භාණ්ඩයක් පූජා කළ විට ඒ සඳහා රිසිට්පතක් පවා නිකුත් කරනු ලැබේ. පූජා භාණ්ඩයේ ස්වභාවය, එහි වටිනාකම එය රනින් හෝ රිදියෙන් කළේ නම් එම ලෝහවල ඇති බර, ඒවායේ මැණික් අල්ලා ඇත්නම් එම මැණික්වල ස්වභාවය සහ ප්‍රමාණය යන සියල්ලම එම රිසිට්පතට ඇතුළත්ය. දෙවියන්ට හොර නොකරන ලෙස අපි කපුවන්ගෙන් ඉල්ලමු. මන්ද එම පවු පලදෙන විට දරාගැනීම ඉතා දුෂ්කරය.

advertistmentadvertistment
advertistmentadvertistment