දිනේෂ් ශාෆ්ටර්

1383

ජීවත්ව සිටින මනුෂ්‍යයාට වඩා, මැරුණ මනුෂ්‍යයා ගැන දැන ගැනීමට පෘතග්ජනයා තුළ කැමැත්තක් තිබේ. පසුගියදා කොළඹ කනත්තේදී හෝ ඊට ආසන්න ප්‍රදේශයකදී පහර දී මරා දමන ලද දිනේෂ් ශාෆ්ටර් ගැන ඔහු මියයන තුරුම දැන සිටියේ ඔහුගේ ගෙදර අයත්, ව්‍යාපාරික ලෝකයේ පිරිසකුත් පමණි. එහෙත් මරාදමා පැය 24 ක් ගත වීමට පළමු දිනේෂ් ශාෆ්ටර්ගේ නම මාධ්‍ය මගින් ප්‍රචාරයට පත්කරනු ලදුව ඉතාම ප්‍රසිද්ධ විය. ඔහු මරා දැමීම සහ එය සිදුකළේ කෙසේද යන්න මේ කතුවැකිය ලියන මොහොතේදීත් රහසක්ව පැවතිණ. පොලිස් කණ්ඩායම් 4 ක් යොදා මේ ගැන පරීක්‍ෂණ පවත්වනු ලැබේ. කිසියම් පුද්ගලයකුගෙන් ලැබීමට නියමිත රුපියල් කෝටි සිය ගණනක් හෝ ඊට අඩු ප්‍රමාණයක් ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් නිවසින් පිටතට යන බව සිය බිරිඳට පැවසූ දිනේෂ් ශාෆ්ටර් යළි කවදාවත් පණපිටින් ගෙදර ආවේ නැත. ඔහුගේ මිනීමැරුම සම්බන්ධයෙන් පළමුවෙන්ම සැකයට ලක් වූ තැනැත්තා ඔහු සමඟ විශාල වශයෙන් ගනුදෙනු කළ ක්‍රිකට් විචාරක සහ කෝටිපති ව්‍යාපාරික බ්‍රයන් තෝමස් ය. කෙසේ වුවද මිනීමැරුම සිදු වූ දවසේ බ්‍රයන් තෝමස් ගෙදරම සිටි බව දැන ගන්නට තිබේ. දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිළිබඳ මේ වන විට න්‍යාය කිහිපයක් ගොඩනැඟී තිබේ. මේවා ඉංග්‍රීසියෙන් හඳුන්වනු ලබන්නේ CONSPIRASY THEORY යනුවෙනි. මේ තියරිවලින් 3 ක් මෙසේ ය.

1, .X විසින් දිනේෂ් ශාෆ්ටර් මැරූ බව හෝ මැරවූ බව

  1. X ගේ ගිණුමට බැර වන පරිදි Y විසින් මේ මිනීමැරුම සිදුකරනු ලද බව
  2. X හෝ Y නොවන Z විසින් වෙනත් අරමුණක් සඳහා මේ මිනීමැරුම කළ බව

ව්‍යාපාරික ලෝකය තුළ දිනේෂ් ශාෆ්ටර්ට ලොකුම ආරවුල තිබුණේ බ්‍රයන් තෝමස් සමඟය. තමා සමඟ බ්‍රයන් තෝමස් කළ මුදල් ගනුදෙනු කිහිපයක් සම්බන්ධයෙන් දිනේෂ් ශාෆ්ටර් විසින් රහස් පොලිසියට පැමිණිලි කිහිපයක් කර තිබුණි. මේ නිසා මේ මිනීමැරුමට බ්‍රයන් තෝමස් ඈඳීමට වැඩි දෙනා කැමැතිය. එවිට මිනීමැරුම පිළිබඳ ගිණුම ඉක්මනටම වසා දැමිය හැකිය. මේ අතර දිනේෂ් ශාෆ්ටර් විසින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ලෝකය තුළ කරන ලද ගනුදෙනු මොනවාද යන්න ගැන ප්‍රශ්නයක් තිබේ. ඔහු ජනශක්ති රක්‍ෂණ සමාගමේ සභාපතිවරයා ය. ඒ අතර ඔහු මේ රටේ දැනට බහුලව පවත්නා FUND MANAGEMENT හෙවත් පිරමීඩ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කළ බව ද කියනු ලැබේ.

PONZI SCAMවල ලොකු මුදල් ආයෝජනය කළ කෙනෙකුට බොහෝ විට ලැබෙන ප්‍රතිඵල දෙකක් තිබේ. ඉන් පළමුවැන්න බංකොලොත්වීමය. දෙවැන්න පිරමීඩ් ජාවාරම්කරුවන් අතින් මරණයට පත්වීමය. වර්ල්ඩ් ටේ්‍රඩ් සෙන්ටර්හි පිරමීඩ ජාවාරමක් පවත්වාගෙන ගිය තිළිණි ප්‍රියමාලි රුපියල් බිලියන 1.2 කට වඩා ආයෝජකයන්ගෙන් ලබාගෙන විනාශ කර ඇති බව දැන ගන්නට තිබේ. දිනේෂ් ශාෆ්ටර් මීට වඩා වැඩිමුදලක් කිසියම් පිරමීඩ ජාවාරමක හෝ එවැනි ජාවාරම් කිහිපයක ආයෝජනය කළ බවට කටකතා තිබේ. මේ සියල්ලම CONSPIRASY THEORYවල අර්ථ නිරූපණ විනා ඇත්ත කතාව විය නොහැක. දිනේෂ් ශාෆ්ටර්ගේ මිනීමරුවන් කවරේද යන්න තව දින කිහිපයකින් හෙළිවීමට ඉඩ ඇත. එසේම එය යළි කවදාවත් හෙළි නොවීමට ද ඉඩ ඇත. උදාහරණයක් වශයෙන් ලසන්ත වික්‍රමතුංග මරවන ලද්දේ කවරෙකු විසින් ද යන්න අදටත් රහසකි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මේ ගැන විවිධ සැකකරුවන් ඉදිරිපත් කළ නමුදු ඉන් එකෙක්වත් නිවැරැදි භාණ්ඩය නොවීම අවාසනාවකි. වසීම් තාජුඩීන් අනතුරකින් මිය ගියේද නො එසේ නම් ඝාතනය කර රිය තුළට දමා ගිනි තබන ලද්දේද යන කාරණය අදටත් හෙළි වී නැත. මෙයට කලකට පෙර ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ සිටි විදේශිකයෙකු වූ ජොයෙල් ප්‍රේරා ට කැසිනෝ ක්ලබ් එකකදී වෙඩි තබා මරන ලදි. ඒ මිනීමරුවා කවරෙක්ද යන්න අදටත් හෙළි වී නැත. මියගිය ජෙයෙල් ප්‍රේරා ෆීජි දූපතේ ජාතික වීරයෙකි. සිය ජාතික වීරයා මැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් සමඟ විශාල ආරවුලක් ෆීජි දූපත් වැසියන්ට අදටත් තිබේ. සුප්‍රකට මරුසිරා ඔබට මතකද? ඔහු මරණ දණ්ඩනයට ලක්විය. එහෙත් ඔහු එල්ලා මැරුවේද, නො එසේ නම් මරා එල්ලුවේද යන කාරණය අදටත් හෙළි වී නැත. මේ සියලු ඝාතන වටා පෙර කී ආකාරයේ සැක කටයුතු තියරි රාශියක් ඇත.

ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් මරා දැමීම ධනවාදය තුළ ඉතා පැහැදිලි ලෙස දැකිය හැකිය. ධනවාදය තුළ මේවා සිදුකරන්නේ කොන්ත්‍රාත්කාරයන් විසිනි. සමාජවාදය තුළ මේ තත්ත්වය නැත. එයට හේතුව සමාජවාදය තුළ තනි පුද්ගල ව්‍යාපාර තිබීම හෝ ව්‍යාපාරිකයන් නොසිටීමය. සමාජවාදය තුළ මිනී මරනු ලබන්නේ රජය විසිනි. ව්‍යාපාරිකයන් නැති ආර්ථික ක්‍රමයක් වීම නිසා සමාජවාදය තුළ මැරුම් කන්නෝ ආණ්ඩු විරෝධීහු ය. සෝවියට් රුසියාව ජෝසප් ස්ටාලින් විසින් පාලනය කරනු සමයෙහි ආණ්ඩු විරෝධී වැසියන් සහ ආණ්ඩු විරෝධී නිලධාරීන් ලක්‍ෂ ගණනක් ඝාතනය කරන ලදි. උදේට කිසියම් ආණ්ඩු විරෝධී නිලධාරියෙක් සමඟ තේ පානය කරන ජෝසප් ස්ටාලින් රාත්‍රියේදී සිය රහස් පොලිස් සගයා වූ ලැවරෙන්ති බෙරියා ලවා එම නිලධාරියා මරවයි. පසුදින මියගිය නිලධාරියාගේ පෙට්ටියට කර ගසන්නටත් ස්ටාලින් මළගෙදරට යයි. මාඕ සේතුං විසින් චීනය අතට ගැනීමෙන් පසු ද මෙය විශාල වශයෙන් සිදුවිය. කිම් ඉල් සුං විසින් සමාජවාදී කොරියාව පිහිටුවීමෙන් පසු ද මෙය විශාල වශයෙන් සිදුවිය. පුටින් විසින් රුසියාව බාරගැනීමෙන් පසු ද මෙය මෙසේම විය. හැබැයි ධනවාදය තුළ මේවා සිදුවන්නේ ඉතා පහසුවෙන් අඩුවියදම් යටතේ ප්‍රසිද්ධියේ ය. ධනවාදයේ දේශපාලන ස්වරූපය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුන්වනු ලැබේ. මේ රැවටිලිසහගත වචනය නිසා ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති නිදහස වර්ණනා කරමින් මේ රටේ ජනයා ඉවක් බවක් නැතිව පිස්සු කෙළිති. ඔවුන්ගේ දෑස් ප්‍රජාතන්ත්‍රවාදී කළු රෙදි පටියෙන් සම්පූර්ණයෙන්ම වැසී ඇත. ඒ නිසා දිනේෂ් ශාෆ්ටර් ඔහුගේම රථයේ දමා කොළඹ කනත්තට ගෙන ගියේ කෙසේද යන්න ගැන හරියාකාර සාක්‍ෂියක් අදටත් සොයා ගැනීමට බැරිව ඇත. එක්කෝ බොරැල්ලේ කනත්තට එන ලෙස කිසියම් කෙනෙකු දිනේෂ් ශාෆ්ටර්ට කියන්නට ඇත. ඒ අතර කනත්තේ වෙසෙන අමනුෂ්‍යන් බලා සිටියදී දිනේෂ් ශාෆ්ටර්ගේ ඉරණම විසඳෙන්නට ඇති. අමනුෂ්‍යයන්ට කතා කිරීමට බැරිය. ඒ නිසා මේ මිනීමැරුම පිළිබඳ වැදගත්ම සාක්‍ෂි එළියට ගැනීමට නොහැක.

advertistmentadvertistment
advertistmentadvertistment