ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක්

66

පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල හෙළි කරයි

ජනාධිපතිවරයා සහ පොහොට්ටුව යන දෙපාර්ශවයේම අවශ්‍යතාවය ඉටු වන පරිදි ජනපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පැවැත්වීමට ආණ්ඩුව තුළ සාකච්ඡා සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව මදහන් කර සිටියේ ඊයේ (03 දා) පිවිතුරු හෙළ උරුමය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ජනාධිපතිවරයාට ඕනෑ ජනපති ධුරයේ බලය හීන වීම වළක්වා ගන්න ජනපතිවරණය තෙක් පාර්ලිමේන්තු මැතිවරණය නොපවත්වා ඉන්න. බැසිල් රාජපක්ෂ මහතාට ඕනෑ ජනපතිවරණ ප්‍රතිඵල ජනතාව දකින්න කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න. මේ නිසා තමයි බැසිල් මහතා පාර්ලිමේන්තු මැතිවරණය කලින් තියන්න කියලා ජනාධිපතිට බල කරන්නේ. මේ නිසාම තමයි ජනාධිපති මේ ඉල්ලීම ඉටු කිරීම මග හරින්නේ. දැන් දෙපැත්තේම අවශ්‍යතාවය ඉටු වෙන්න ජනාධිපතිවරණයත් පාර්ලිමේන්තු මැතිවරණයත් යන දෙකම එකම දිනයේ පැවැත්වීම පිළිබඳ ආණ්ඩුව තුළ සාකච්ඡා කරන බව අපට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැන ගන්න ලැබුණා.

මැතිවරණ දෙකම එකම දිනයේ පැවැත්වීමට නීතියෙන් කිසිම බාධාවක් නෑ. 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වනදා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා. මැතිවරණ කොමිසම නාමයෝජනා දිනය ප්‍රකාශයට පත් කරපු දවසේම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මේ මැතිවරණ දෙකම එකම දිනයේ පවත්වන්න පුළුවන්.

මැතිවරණ දෙකම එකම දවසේ පැවැත්වුවොත් ජනාධිපතිටත් පොහොට්ටුවටත් එක වගේ වාසියි. නමුත් අපට වැදගත් ජනාධිපතිටවත් පොහොට්ටුවටවත් වාසි ක්‍රමය නොවේ. රටට වාසි ක්‍රමය මොකක්ද කියන එකයි. මේ මොහොතේ කිසිම පක්ෂයකට වලංගු ඡන්දවලින් 50%ක් ගන්න බැරි බව කවුරුත් පිළිගන්නා තිත්ත ඇත්තක්. කාටවත් සාමාන්‍ය බහුතරය ලබා ගන්න බැරි වීම ජනපතිවරණයට නම් ගැටලුවක් නෑ. පළමු වටයේ දී වගේම තුන්වන මනාපය එකතු කලාටත් පස්සේ කාටවත් 50%ක් නැතිනම් වැඩිම ඡන්ද ගණන ගත් අපේක්ෂකයා ජනාධිපති විධියට තේරී පත් වෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ කිසිම පක්ෂයකට බහුතරය නෑ කියන්නේ කිසිම පනතක් රෙගුලාසියක් යෝජනාවක් සම්මත කර ගන්න බෑ කියන එකයි. ආර්ථික අර්බූදයක් මැද දේශපාලන අස්ථාවරත්වයක් රටේ ඇති වුණොත් රට නැවත ගොඩ ගන්න බැරි ආගාදයකට ඇද වැටෙනවා සිකුරුයි.

advertistmentadvertistment
advertistmentadvertistment