පවුල් සංවිධාන සංගමය සහ ලිවිං ටු ගෙදර්

1174

(වැඩිවන මනුෂ්‍ය ඝාතන නිමිති කරගෙන ලියන ලදී)

ලෝකයේ වැඩිම ප්‍රජනන වේගයක් ඇති ක්ෂීරපායි සත්ත්වයා හාවා බවට විශ්වාසයක් පවතී. තවත් පිරිසක් කියන්නේ ඒ ප්‍රජනන වේගය කැන්ගරුවා සතුව පවතින බවය. ඔස්ටේ්‍රලියාවේ කැන්ගරු ප්‍රජාව අවුරුද්දක කාලයකදී එරට ජනගහනය මෙන් තුන් හතර ගුණයක් ඉක්මවන බැවින් ආණ්ඩුවේ වියදමින් වෙඩි තබා මරාදමනු ලැබේ. මෙය අමානුෂික ක්‍රියාවක් බව කියන ගමන්ම අපගේ කතුවැකිය මෙතැන් සිට අරඹමු. එක්දහස් නවසිය හතළිස් ගණන්වල අගදී සහ පනස් ගණන්වල මුලදී මේ රටේ ජනගහනය ඉතා ඉක්මණින් වැඩිවන බව ආණ්ඩුව නිරීක්‍ෂණය කළේය. රටේ වවන ආහාර ප්‍රමාණයට වඩා කටවල් ප්‍රමාණය වැඩිවන බැවින් ඉදිරියේදී ආහාර ප්‍රශ්නයක් ඇතිවීමට නියමිත විය. ඒ කාලයේදී ලංකාවේ රසායනික පොහොර භාවිතයක්ද නැත. එබැවින් අද තිබෙන ඇට දාහේ වී කරල් වෙනුවට එදා තිබුණේ ඇට සීයේ වී කරල්ය. මේ නිසා 1953 දී මේ රටේ ජනගහනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය බිහිකරන ලදී. මෙය පිහිටුවන ලද්දේ සිංහල ජාතියේ බෝවීම වැළැක්වීම සඳහාය යනුවෙන්ද කට කතාවක් තිබේ. අපි එවැනි අන්තවාදී තත්ත්වයන් ගැන සාකච්ඡා නොකරමු. එක්දහස් නවසිය හතළිස් ගණන්වල ලංකාවේ පවුලක අඩුම ගණනේ දූ දරුවෝ දහ දෙනෙක් වූහ. දෙමළ, මුස්ලිම් සහ බර්ගර් පවුල්වල තත්ත්වය ඊටත් වඩා බරපතළ විය. පවුල් සංවිධාන සංගමයේ තේමාව වූයේ පොඩි පවුලක් යන්නය. මෙය මව, පියා, දුව, පුතා යනාදී වශයෙන් වූ හතර දෙනකුගෙන් සමන්විත standard පවුලකි. සිංහල මිනිස්සු මේ ප්‍රමිතිය හරියටම අනුගමනය කළ අතර දෙමළ සහ මුස්ලිම් ජනයා ආගමික හේතූන් මත එම ප්‍රමිතිය අනුගමනය කළේ නැත. එසේ වුවද ශ්‍රී ලංකාවේ ජනගහනය ඉතා වේගයෙන් අඩුවෙන්නට පටන් ගත්තේය. එහෙත් අද වන විට ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය වසා දැමිය යුතු තත්ත්වයකට පත්ව තිබේ. එයට හේතුව මේ රටේ ඉමක් කොනක් නැතිව සිදුවන මිනී මැරුම් මගින් ජනගහනය පාලනය වීමය. 1983 පටන් මේ රටේ දවසකට මරණ මිනිසුන් ප්‍රමාණය ගණන් කිරීමට පවා නොහැක. ඒ වර්ගවාදී යුද්ධය හේතුවෙනි. 88, 89 භීෂණයේදී රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ත්‍රස්තවාදය හරහා 80000 ට වඩා මරණ ලදී. මෙතැන් සිට අප සාකච්ඡා කරන්නේ ඊයේ පෙරේදා සිදුවූ ඝාතන කිහිපයක් සම්බන්ධයෙනි.

කොටහේනේ පදිංචි, නුවරඑළියේ මීපිලිමානේ නිවසක සේවය කළ 56 හැවිරිදි සුන්දරලිංගම් කඩුවලින් කපා කොටා ඝාතනය කරන ලදී. මෙය සිදුවන්නේ පෙරේදා පාන්දරය. සිද්ධියට හේතුව ඉඩම් ආරවුලක් යැයි කියනු ලැබේ. මේ අතර එදිනම රත්මලානේ දුම්රිය ස්ථානය අසළ සිදුකරන ලද වෙඩි තැබීමකින් 46 හැවිරිදි පුද්ගලයකු බරපතළ ලෙස තුවාල ලබා තිබේ. සැප්තැම්බර් 6 දා 38 හැවිරිදි පියෙක් සිය 6 හැවිරිදි දියණිය තුරුළු කරගෙන කෝච්චියට පැන්නේය. මේ පුද්ගලයාගේ බිරිඳ විදේශ රැකියාවකට ගොස් සිටින අතර ඇයට ඒ රටේ වෙන මිනිහෙක් සිටින බවට කවුරුහරි කේලමක් කීවේය. එයින් බලවත් සේ කම්පනයට පත්වුණු සැමියා ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට කන්තලේදී පැන්නේය. ඔහු දරුවා සමග දුම්රියට පැනීම සම්බන්ධයෙන් තර්ක දෙකක් ඉදිරිපත් කළ හැකිය. ඉන් පළමුවැන්න නම් තමා පමණක් දිවි නසා ගත්තොත් දියණියට හව්හරණක් නැති බව ඔහු කල්පනා කිරීමය. දෙවැනි තර්කය විය හැක්කේ දියණියත් මරාගෙන තමාද මැරුණොත් එම මරණවල විභවය ඉතා වැඩි නිසා බිරියට වැඩි සිත් තැවුලක් සහ සමාජ අපවාදයක් ඇතිවීමට ඉඩ තිබීමය. මේ අතර මීට දෙදිනකට පෙර ගල්කිස්සේ මහල් නිවාසයක 13 වන තට්ටුවෙන් බිමට පැන හෝ පහළට වැටී හෝ තල්ලු කිරීම නිසා හෝ තරුණියක් මියගියාය. එංගලන්ත පුරවැසියකු වූ මේ තරුණිය ස්විට්සර්ලන්තයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී ෆේස්බුක් එක හරහා කොල්ලෙක් හමුවිය. එය පෙමක් බවට පෙරලුණු පසු ස්විට්සර්ලන්තයේ සිටි ෆේස්බුක් කොල්ලාත් එංගලන්තයේ සිටි තරුණියත් ලංකාවට පැමිණ පෙරකී මහල් නිවාසයේ ලිවිං ටුගෙදර් ජීවිතයක් පටන් ගත්හ. පෙරේදා අලුයම් කාලයේදී ඒ දෙදෙනා ජීවත්වන නිවස දෙසින් ආරවුලක හඬක් ඇසුණු බව අසල්වැසියෝ කියති. ෆේස්බුක් කොල්ලා විසින් කෙල්ල පහළට තල්ලු කර දැමුවේද, නොඑසේ නම් කෙල්ල පහළට පැන්නේද යන්න තවම හෙළිවී නැත. ෆේස්බුක් පෙම්වතා සිද්ධිය වූ දිනයේදී රාත්‍රී නිදන්නට පෙර බියර් ටින් 6 ක් පානය කර තිබිණ. මේ බියර් ටින් 6 මගින් කළ හැකි විපර්යාස බොහෝය.

පත්තර සහ වෙනත් ජනමාධ්‍ය කොතරම් කෑ ගැසුවත් ආණ්ඩුව මොන තරම් නැටුවත් මේ රටේ තිබෙන මිනී මැරුම් අඩු කිරීමට නොහැක. මිනී මැරුමක් සිදුකරනු ලබන්නේ ආතතිය හේතුවෙනි. කොන්ත්‍රාත් මිනී මැරුමක මුල පවා ආතතියයි. A මැරීමට B විසින් කොන්ත්‍රාත්තුවක් දෙනු ලබන්නේ B නිසා A තුළ හටගත් ආතතිය නිසාය. මේ සමාජ ආතතිය නැති කළ දවසට මිනී මැරුම් ද නැති කළ හැකිය. එහෙත් සමාජ ආතතිය අඩු කිරීමට කිසිසේත්ම නොහැකි නිසා මේ රටේ ජනගහනය පාලනය කිරීමට ශ්‍රී ලංකා පවුල් සංවිධානය තව දුරටත් වැදගත් වන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment