සසල බොදු සත නිසල කරවන ඇසළ සමය

190

බෞද්ධ ඉතිහාසයට පමණක් නොව ලෝක ඉතිහාසයට ම ඉතාම වැදගත් වූ පොහොයක් හැටියට ඇසළ පුන් පොහොය හැඳින්විය හැකිය. අප ගෞතම බුදුපියාණන් වහන්සේ පුරා සත් සතියකින් පසු ශ්‍රී සම්බුද්ධත්වයට එළැඹී ඉන්පසු තමන් වහන්සේ දැන හැඳින අවබෝධ කරගත් ඒ උතුම් සත්‍ය ධර්මයෙන් මුළුමහත් සකල ලෝක ප්‍රජාවට පිරිසිදු වූ දහම් නැණස පහළ කොට “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” නම් වූ ප්‍රථම ධර්ම දේශනය බරණැස, ඉසිපතන මිගදායිහි දී පස්වග තවුසන් උදෙසා දේශනා කරන ලද්දේ මේ උතුම් ඇසළ පොහොය දිනයේය.

චතුරාර්ය සත්‍ය තුළින් පහළ වූ ඥානය, ප්‍රඥාව, විද්‍යාව හා ආලෝකය නම් වූ ධර්මයෙන් ලැබුවා වූ ස්ථිර විමුක්තිය මෙන්න මේ යැයි සියලු ලෝක සත්ත්වයාහට ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මනා ලෙස අවබෝධ කර දුන් සේක. උන්වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලද ඒ උතුම් වූ සත්‍ය ධර්මය සියලු ලෝක ධාතුව පුරා විනිවිද ගොස් දිව්‍යානුභාවය ඉක්ම වූ මහත් ආලෝක ධාරාවක් ලෙස පැතිරී ගියේ ද අද වැනි උතුම් දවසකය.

බුද්ධ චරිතයත්, ඇසළ පොහොයත් අතර ඇති ශාසනික වැදගත්කම මෙපමණ ද නොවේ. සිදුහත් කුමරාණෝ මහමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ද මේ උතුම් ඇසළ පොහෝ දිනයේ ය. නොමඳ සැප සම්පත් පිරුණු රජගෙදර පවා අතහැර විසිනවවන වියැති මෙකුමරු මහා අභිණිෂ්ක්‍රමණය කළේ ද මේ උතුම් දවසේය. තම පෙම්බර යසෝදරාවන් රාහුල පුත් කුමරුන්ගේ මෙලොව උපත ද සිදු කළේ මේ උතුම් ඇසළ පොහෝ දිනයේය.

සංස්කෘතික වශයෙන් ගත් කළ ධර්ම විනය ආරක්ෂා කරවීම පිණිස පවත්වන ලද ප්‍රථම සංගිතිය ද, මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්දිව සමාරම්භ කළ ප්‍රථම උපසම්පදාව ද සිදුවූයේ මේ උතුම් පොහෝ දිනයේය. මේ ලෙසින් ඇසළ පොහොය බුද්ධ චරිතය හා බෞද්ධ සංස්කෘතිය සමග අනේකවිධ සිදුවීම් රැසකින් බැඳී පවතිනු ඇත.

ලක්දිවට බෞද්ධාලෝකය ලැබීමට පෙර මෙහි විසූ හුදු ජන කොටස් පවා ඇසළ මාසයේ නොයෙක් පුද පූජා හා පෙරහැර මහත් භක්තියකින් යුතුව පවත්වා ඇත. මේ අතුරින් දේව උත්සව හෙවත් දෙව්කෙළි ඔවුන් විසින් ඇසළට පවත්වනු ලැබූ ප්‍රධාන උත්සවයන්ය.

විජය රජු ලක්දිවට ගොඩ බසින අවධියේ මෙහි විසූ දේව කොට්ඨාසයක් පිළිබඳව මහාවංශයේ සඳහන් වේ. මොවුන් විවිධ දෙවිවරුන් ඇදහුවෝ වෙති. මෙහි රජ කළ වළගම්බා රජු ද යම දෙවියන් ආරූඪ කරගත් අයුරු එහි කියැවේ.

ගොවි කර්මාන්තයට ධෛර්ය දුන් රජෙකු ලෙස හඳුන්වන මහසෙන් රජුන්ට සිය මරණින් පසු ‘මින්නේරි දෙවි’ නමි දේවත්වයෙන් පිදු බවට වංශකතාවල විස්තර වේ. ගජබා රජු ද පත්තිනි දෙවඟන පිදූ රජ කෙනෙකි. රෝ දුක් බිය පතුරුවාලන දෙවියන් හැටියට හඳුන්වනු ලබන පත්තිනි මෑණියන් උදෙසා නොයෙක් ඇසළ පූජා පවත්වමින් සෙත් ශාන්ති පැතූ සැටි ද රාජවලියේ සඳහන් වේ.

රුහුණට අධිපති මහතෙද බලැති කතරගම කඳකුමර පූජෝත්සවය ද පැවැත්වනුයේ මේ ඇසළ මාසයේය. එදා රජ දරුවන් ප්‍රමුඛ රටවැසියන් විසින් නොයෙක් වරප්‍රසාද, වරදාන හා ඇප උපකාර ඉල්ලා කඳසුරිඳුන් වෙනුවෙන් වාර්ෂික පුද පූජා උළෙල පවත්වනු ලැබුවේ ද මේ ඇසළ මාසයේය. මේ පූජා උළෙල අවසන් වනවාත් සමගම ඊළඟට ආරම්භ වනුයේ දෙවිනුවර දේවාලයන්හි ඇසළ උළෙලයි.

මෙහිදී දේවානුභාවය ලබාගැනීමේ අභිප්‍රායෙන් ශ්‍රී විෂ්ණු දෙවියන් උදෙසා පුද පඬුරු භාරගෙන, ඔප්පු කරමින් දේව පූජා මංගල්‍ය පවත්වනු ලබයි. මෙය අවසන් වනුයේ පුරා සතියකින් පසුවය.

මේ ලෙසින් බැලූ කල අනාදිමත් කලෙක සිට ලක්දිව විවිධ ජන කොටස් ඇසළ මාසයේ නොයෙක් දේව උත්සව පැවැත්වූ මාසයක් හැටියට හැඳින්විය හැකිය. මෙසේ ඇසළ මාසය දෙවියන් සම්බන්ධ කොට ගත් විශේෂ උත්සව පැවැති බවට සඳහන්ව ඇති සාක්ෂි ප්‍රමාණවත්ය.

විශේෂයෙන් සිංහල සංස්කෘතියේ ප්‍රෞඪත්වය විදහාපාන ඓතිහාසික සෙංකඩගල “දළදා පෙරහර” ද පවත්වනුයේ මේ ඇසළ සමයේය. මෙහිදී පැහැදිලි වන තවත් කරුණක් නම් බුදු සසුන පිහිටුවීමට පෙර පටන් ලක්දිව වැසියන්ට ඇසළ මාසය ඉතා වැදගත්ව තිබූ බවයි. සමස්ත ලෝකයේ වෙසෙන ථේරවාදී උපසම්පදා භික්ෂූන් වහන්සේලාට ඇසළ පොහොය විශේෂයෙන් වැදගත් වනුයේ වස් සමාදන් වීම නිමිත්තෙනි. මෙතැන් පටන් තුන් මසක් නොකඩවා එක දිගට එකම විහාරයක වස් සමාදන් වීම භික්ෂු ධර්ම විනයක් ලෙස සැලකේ.

“ඉමස්මිං විහාරේ ඉමං තේවාසං වස්සං උපෙමි” යනුවෙන් සෑම භික්ෂුවක් ම වස් සමාදන් විය යුතු බවට බුදුන් වහන්සේ විසින් විනය නීතිය පැනවූ සේක. මේ ලෙසින් නොකඩවා එක් විහාරස්ථානයක හෝ ආරාමයක පුරා තෙමසක් වස් විසූ උපසපන් භික්ෂුන්ට පමණක් කඨින චීවර පූජාවක් කළ හැකි බව බුදුන් වහන්සේ වදාළ සේක.

විශේෂයෙන් මේ වස් කාලය තුළදී භික්ෂුන් වහන්සේලාට බණ භාවනා කිරීම, ගුණ දහම් දියුණු කර ගැනීම ආදී ස්වකීය නිදහස හිමිවන්නේය. මෙසමයෙහි සිංහල බෞද්ධ ජනතාව වස් පිංකම් හෙවත් කඨින පූජෝත්සව ඉතාමත් උසස් අන්දමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව පැවැත්විය යුතු වේ.

පෙර සිටි බෞද්ධ රජ දරුවන් පවා මේ කඨින උත්සව පැවැත්වීම සඳහා රාජානුග්‍රහය දක්වා ඇති සැටි ඉතිහාසයේ මූලාශ්‍රවල පවා සඳහන්ව ඇත. සවැනි පැරකුම්බා රජු විසින් ලියන ලද “කඨිනානිසංසය” නම් ග්‍රන්ථය මේ රාජානුග්‍රහය ලැබුණු බව සනාථ කිරීමට වටිනා සාක්ෂියකි.

වර්තමාන බෞද්ධ ජන සමාජය දෙස බැලීමේදී මෙවැනි උතුම් පොහොය දිනයන්හිදී බෞද්ධයන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක්ම දැන් දැන් මඟ හැරී යනු ඇති බවක් පෙනෙන්නට ඇත. සිංහල මාස ක්‍රමයට අනුව සඳහන් වන දොළොස් මහ පොහොය බෞද්ධ දර්ශනය හා සසැඳු විට ඒ හැම පොහොයක්ම බුද්ධ චරිතය හා සම්බන්ධ වැදගත් සිදුවීම් පසුබිම් කොට ගෙන ඇත්තේය. මෙය කෙටියෙන් සඳහන් කරනුයේ නම් ජාතික හා ආගමික වැදගත්කමයි.

බොදුනුවන් වශයෙන් අප දුරුතු, බක්, වෙසක්, පොසොන්, ඇසළ යන පොහොයන් කෙරෙහි නම් විශේෂයක් දක්වන්නෙමු. මේ පොහොයයන් කෙරෙහි ද වර්තමානයේ නම් දක්වනු ලබන විශේෂය ආගමික ශ්‍රද්ධාවෙන් හා දැඩි භක්තියෙන් හීන වී ඇති බව පෙන්වීම ද කනගාටුවට කරුණකි.

විශේෂයෙන් වර්තමානයේ වෙහෙර විහාරස්ථානවල පෙහෙවස් සමදාන් වීම, බණ ඇසීම, භාවනා කිරීම, දානමානාදී කුසල කර්මයන්හි යෙදීම ආදී ප්‍රතිපත්ති පූජාවන්ගෙන් බැහැර වී සිටින බෞද්ධ ජනතාව කෙමෙන් කෙමෙන් ඒ වෙනුවට වෙන්ත පුහුආටෝප කරමින් තම ආගමික කේන්ද්‍රස්ථානවලට නොයා එම සිද්ධස්ථාන පාළු ජනශුන්‍ය ස්ථාන බවට පත්කොට ඇත.

මේවා ඇසිදිසි මානයට පෙනෙන ආගම් විරෝධී කල්ලි බෞද්ධයා බුදු දහමින් ඈත් කරවීමට නොයෙකුත් කූට උපාය මාර්ග යොදනු ඇත. පසුගිය දිනවල හතු පිපෙන්නාක් මෙන් මතු වූ මිසදෙටුවන් වැන්නවුන් උතුම් බුදුදහම වැඩි පොසොන් සමයේම බෞද්ධයා හා බෞද්ධ දර්ශනය හෑල්ලුවට ලක්කිරීම හොඳම නිදසුන්ය. එහෙත් මෙම උතුම් බෞද්ධ දර්ශනය කිසිවෙකුටත් වැනසීමට නොහැකි සත්‍ය සනාතන දහමකි.

එහෙයින් පන්සල, වෙහෙර, විහාරය අදටත් රැකෙන්නේ ශ්‍රද්ධාශීලී බෞද්ධයින් නිසාය. මේ නිසා ගිහි පැවිදි සම්බන්ධය මීට වඩා සමීප වන ලෙසින් ආගමික කටයුතුවල නියැළී බෞද්ධකමට අබමල් රේණුවක වරදක් සිදු නොවන්නට වගබලා ගත යුතු වේ. කවරෙකුගේ හෝ ආගම් විනාශකාරී ක්‍රියාවන්ට නොසැලී බෞද්ධකම රැක ගනිමින් කෙසේ හෝ සසල වූ බොදු සිත් බුද්ධිමත්ව නිසල කරගත් සකල ලෝකවාසී බෞද්ධ ජනතාවට මේ උතුම් ඇසළ සමය ඉතා වැදගත් වනු ඇත.

● ජී. ඒ. කිංස්ලි පෙරේරා
පානදුර

advertistmentadvertistment
advertistmentadvertistment