මම මගේ රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කළ යුතුයි – එල්පීඑල් තරඟාවලියේ වීරයා වනිඳු හසරංග ජයග්‍රහණයෙන් අනතුරුව කියයි

531

ලීග් තරඟ වගේ නොවෙයි මම මගේ උපරිමයෙන් රට වෙනුවෙන් ක්‍රීඩා කළ යුතු යැයි මෙවර එල්පීඑල් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග පෙරේදා (20 වැනිදා) රාත්‍රී මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

පාදයේ ආබාධයක් හේතුවෙන් අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලද වනිඳු හසරංග එහිදී තවදුරටත් සඳහන් කළේ ඉදිරියේදී පැවැත්වෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලානයත් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ට මෙම අවසන් තරඟය සඳහා ක්‍රීඩා කිරීමට අවසර ලබා නොදුන් බවයි.

මම මගේ රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කළ යුතුයි - එල්පීඑල් තරඟාවලියේ වීරයා වනිඳු හසරංග ජයග්‍රහණයෙන් අනතුරුව කියයි

“ඔවුන්ගේ පැත්තෙන් එය නිවැරදි තීරණයක්. මොකද ලීග් තරග වගේ නෙවෙයි මම මගේ උපරිමය රට වෙනුවෙන් ලබාදිය යුතුයි. අපිට මේ හැමදේම ලැබිලා තියෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාවට අපි වෙහෙස වන නිසා. එම නිසා ඉදිරියේදී ක්‍රිකට් ක්‍රීඩා කරන තරුණ ක්‍රීඩකයන්ට මම කියන්නේ අපි ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අගයක් ලබා දෙන්න. එසේ කළහොත් එහි ප්‍රතිලාභ පෙරලා අපිටත් ලැබෙන බව මං විශ්වාස කරනවා.”

මෙවර එල්පීඑල් තරඟාවලියේ සෑම ආකාරයෙන්ම දක්ෂතා දැක්වූ වනිඳු හසරංග තරගාවලියේ වීරයා බවට පත්වූ අතර තරගාවලිය තුළ වැඩිම ලකුණු ලාභියා සහ වැඩිම කඩුලු ලාභියා වූයේ ද හසරංගයි.

මම මගේ රට වෙනුවෙන් උපරිමයෙන් ක්‍රීඩා කළ යුතුයි - එල්පීඑල් තරඟාවලියේ වීරයා වනිඳු හසරංග ජයග්‍රහණයෙන් අනතුරුව කියයි

එහිදී තරගාවලියේ ලකුණු 279 ක් ලැබූ ඔහු කඩුලු 19 ක් බිඳ හෙලූ අතර වැඩිම 6 පහර වාර්තාව ලෙස 6 පහර 19 ක් ද එල්ල කර ඇත.

එසේම වැඩිම ප්‍රහාරාත්මක වේගය ලෙස 189.8 කට හිමිකම් කියන වනිඳු හොඳම පන්දු යැවීමේ සාමාන්‍ය ලෙස 10.74 කට වනිඳු හිමිකම් කියයි.

පෙරේදා අවසන් තරගය ජයග්‍රහණය සඳහා වැඩි මෙහෙයක් කළ වනිඳුගේ ආදේශක නායකයා වූ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ ජයග්‍රහණය වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් තරගයේ වීරයා සම්මානයද හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තුළ ද ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන්ගේ සේවය ලබා ගතහොත් තරග ජය ගැනීමට එය හේතුවක් වනු ඇති බව ද ඒ අනුව වනිඳු හසරංග පෙරේදා පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කර සිටියේය.

“කමිඳු මෙන්ඩිස් මෙම තරගය ක්‍රීඩා කළ ආකාරයත් අශේන් බණ්ඩාර සතු දක්ෂතාවයත් නිසා ඔවුන් දෙදෙනා අපට ඉතා වටිනා ක්‍රීඩකයන් දෙදෙනකු වනවා. එසේම තරුණ ක්‍රීඩකයෙකු ලෙස මටත් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ඉගෙන ගත යුතු දේවල් රැසක් තියෙනවා. එසේ ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට නම් ඔවුන් කණ්ඩායමේ සිටිය යුතුමයි. ඔවුන් සමඟින් ක්‍රීඩා කළ යුතුමයි. එසේම ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්ට තව ඉදිරියටත් රටට විශාල සේවයක් කළ හැකි බව මම විශ්වාස කරනවා. මෙම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් කෙතරම් සංයමයකින් තරගය නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිය ද යන කරුණෙන් එය පෙනී යනවා.”

අවසාන මහා තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී ලකුණු 147 ක් ලබාගත් අතර නුවර ක්‍රීඩකයෝ පන්දු වාර 19.5 කදී අදාළ ඉලක්කය හඹා ගොස් තම කුළුඳුල් එල්පීඑල් කුසලානය හිමිකර ගත්හ.

ක්‍රීඩක වෙන්දේසියේදී ද තමන් ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට එක්කර ගැනීම සම්බන්ධයෙන් වැඩි වශයෙන් සැලකිලිමත් වූ බවද වනඳු හසරංග කියා සිටියේය.

තමන් මෙම තරගය ක්‍රීඩා කළත් නැතත් හොඳම ක්‍රීඩකයන් වෙන්දේසියේදී එක් කරගෙන තිබූ නිසා මෙම තරඟය ජයග්‍රහණය කිරීමට තම කණ්ඩායමට හැකිවුණු බවද වනිඳු එහිදී සඳහන් කළේය. පළපුරුදු ක්‍රීඩකයන් සිටීමේ වැදගත්කම එය බවද පසුගිය වර තමන්ට අවසන් මහා තරගයට ඒමට නොහැකි වුණේ අත්දැකීම් අඩු බව නිසා බවද වනිඳු කීය. එම වැරදි හදාගෙන ජේ්‍යෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට වැඩි වශයෙන් එක්කර ගැනීමේ ප්‍රතිඵල තමන් අද භුක්ති විඳින බවද ජයග්‍රාහී නායකයා සඳහන් කළේය.

ජයග්‍රාහී නුවර කණ්ඩායම සඳහා කුසලානය සමග ඇමරිකානු ඩොලර් 100000ක මුදල් ත්‍යාග ද පිරිනැමිණි.

අනුශූරතාවයට හිමිකම් කිවූ දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ අඩු ලකුණු පුවරුවක් නිසා තමන්ට මෙම තරගය පරාජය වීමට සිදු වූ බවයි.

“ඇත්තටම පන්දු යවන්නන්ට දොස් කියන්න බැහැ. මොකද 145ක් කියන්නෙ පන්දු වාර 20 තරගයක අඩු ලකුණු සංඛ්‍යාවක්. මං හිතන්නෙ අපිට 165ක විතර ලකුණු එකතුවක් තිබුණා නම් වටිනවා. අපිට පන්දු යවන්නන් කලින් හැම මැච් එකක්ම දිනවලා දුන්නා. අද දවස මගේ පැත්තෙන් ගොඩක් වුණේ නැහැ. මොකද බෝල 20ට 21ක් ගැහුවෙ”

එල්පීඑල් අවසන් මහා තරගය නැරඹීමට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවර කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන ලෝක ශූර පකිස්ථාන කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් මහතා සමග සුහද සාකච්ඡාවක නිරත වී සිටි අයුරු ඡායාරූපයේ දැක්වේ.

සංචාරක ඇමැති හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා යන මහත්වරුද ඡායාරූපයේ දැක්වේ.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment