මේක අභියෝගයක් – අඛිල සපුමල්

96

වේදිකා නාට්‍ය කලාවේ දිනෙන් දින පෙරළිකාර, නවමු අත්දැකීම් ප්‍රේක්ෂකයාට ලබාදෙන තරුණ, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන අඛිල සපුමල්ගේ “අසමා රූපණ සරසවිය” පාඨමාලාව තුළින් සංවිධානය කරනු ලබන “අසමා Educational Drama Festival” නමින් වේදිකා නාට්‍ය පහක් එකම දිනයේ එනම් ඔක්තෝබර් 3 වැනිදා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රංගගත කිරීමට සැලසුම් කර ඇත්තේ නාට්‍ය විෂයක් ලෙස හදාරණ දරුවන් වෙනුවෙන්මයි. ඒ පිළිබඳ වැඩිදුරටත් විස්තර අඛිල අපට පැවැසුවේ මෙසේය.

● අඛිල මොකක්ද මේ “අසමා Educational Drama Festival” කියන්නේ?

මේක අභියෝගයක් - අඛිල සපුමල්

නාට්‍ය හා රංග කලාව විෂය උසස් පෙළට සහ විශ්වවිද්‍යාලවල උපාධියක් විදිහට අධ්‍යයනය කරන්න අරගෙන දැන් අවුරුදු විසිපහක් විතර වෙනවා. ග්‍රීක නාට්‍යයක් විදිහට “ඊඩිපස්ට්, සංස්කෘත නාට්‍යක් විදිහට “සාකුන්තලය”, විලියම් ශේක්ෂ්පියර්ගේ නාට්‍යයක් විදියට “ජූලියස් සීසර්” නාට්‍ය සහ බර්ටෝල් බ්‍රෙෂ්ට් ගේ නාට්‍ය ඉගෙන ගන්නට තිබුණා අවුරුදු 25 ක් පුරාවටම. අධ්‍යාපන අමාත්‍යාංශයෙන්හරි, කවුරුහරි බලධාරීන්හරි, විශ්වවිද්‍යාලයක්හරිවත් මෙම කෘති දරුවන්ට පෙන්වන්නට උත්සාහයක් ගත්තේ නැහැ. මම ඒකයි “අසමා රූපණ සරසවිය” තුළින් මගේ ඥානය සහ ගුරුවරයෙක් විදිහට ලබපු අත්දැකීම් පදනම් කරගෙන මම ගොඩනඟපු මගේ පාඨමාලාවන් හරහා මම අවුරුද්දකට එක ගානේ මේ නාට්‍ය ටික නිර්මාණය කළා. මේ වෙද්දි මගේ අසමා රූපණ සරසවිය මගින් මේ සියලුම නාට්‍ය නිර්මාණය කරලා තියෙනවා. දැන් මේ ඔක්කොම ටික එක දවසකින් පෙන්නන්න තීරණය කරන්නේම විවිධ පළාත්වල ඉඳලා එන දරුවන් වෙනුවෙන්මයි. මේ නාට්‍ය උළෙලේ නාට්‍ය දහයක් තියෙනවා. ළමයින්ට නාට්‍ය සම්ප්‍රදායන් පහකගේ අත්දැකීමක් එදාට විඳගන්නට පුළුවන්.

● කාගේහරි ඉල්ලීමකට ද මේ නාට්‍ය උළෙල පවත්වන්නේ?

ඇත්තටම ගුරුවරුන්ගේ ඉල්ලීමට කළේ. ජපන් නාට්‍ය බලන්න එල්ෆින්ස්ටන් එන ඈත පළාත්වල ගුරුවරු ඉල්ලීමක් කළා අනේ මේ ඊඩිපස්ට්, ජුලියස් සීසර් නාට්‍ය එකට පෙන්වන්න කියලා. ඉතිං ඒ ගැන හිතලා තමයි මෙහෙම දෙයක් සංවිධානය කළේ. ඇත්තටම මේ නාට්‍ය උළෙල ඓතිහාසික සන්ධිස්ථානයක්වෙයි.

● මේ නාට්‍ය සියල්ල එකම දිනයේ පෙන්වන එක ලොකු අභියෝගයක් නේද?

ඇත්තෙන්ම ඔව්. මට තියෙන අභියෝගය තමයි එක දවසේ අපිවත් තාම නාට්‍ය පහක් නරඹලා නැහැනේ. ඒක තමයි අභියෝගය. ඊට පස්සේ ජය ගන්න ඕන අභියෝගය තමයි උදේ 09.00ට කලින් වාඩි වුණ දරුවාව රෑ 9.00 වෙනකන් කම්මැලිකමක් නැතුව, ආසාවෙන්, වඩාත් හොඳ ප්‍රගතිශීලී, නිර්මාණශීලී පුරවැසියෙක් විදිහට සමාජගත කරන්න මේ නාට්‍ය පහේ තියෙන උත්තේජනය දෙන එක තමයි මට තියෙන අභියෝගය. ඒ දරුවන්ට කම්මැලිවෙලා මේ නාට්‍ය පහම ඔළුවට බර උනොතින් මම අසාර්ථක වෙනවා. ඒ නිසා ඉතාම රසවත්ව, ගුණාත්මක බවින් යුක්තව බලන්න පුළුවන් විදිහට මම රංගනයන් සියල්ල ගොඩනගලා තියෙනවා සහ මේ නාට්‍ය ටික එකිනෙකට වෙනස්. ඒ වෙනසම ළමයාගේ මනස අවදි කරයි. ඉතින් ඒ නිසා මම හිතනවා දරුවන්ට සහ ගුරුවරුන්ට සුබ දවසක් වෙයි කියලා.

● මේ නාට්‍ය උළෙල රට වටා ගෙනියන්න අදහසක් තියෙනවද?

ඔව්. ඇත්තටම ලංකාවේ විශ්වවිද්‍යාල පහළොවක් විතර තියෙනවනේ. විශ්වවිද්‍යාලවල මම කැමති මේ නාට්‍ය පහ දවස් පහක් festival එකක් විදියට සංවිධාන කරනවානම්. මොකද ලෝකෙ ප්‍රචලිතම, ජනප්‍රියම, අලුත්ම රංග සම්ප්‍රදායන් පහක් තමයි මේකෙන් දකින්නට ලැබෙන්නේ. විශ්වවිද්‍යාල වෙන වෙන නාට්‍යය ගෙන්වන අතරතුර මේ වගේ වැඩක් කරනවා නම් විශ්වවිද්‍යාල ප්‍රජාවට මේක පෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රධාන නගරවල මේ නාට්‍ය පෙන්නන්න හොඳ රංග ශාලාවක් අවශ්‍ය වෙනවා. මහනුවර, ගාල්ල, මාතර වගේ නගරවල තියෙන හොඳම රංගශාලා වලින් අපේ නාට්‍යයට ආරාධනා කරනවා නම් දරුවන්ට පෙන්වන්න, නිසැක වශයෙන්ම අපි යන්න සූදානම්.

● පාරමී කෞෂිකා

මේක අභියෝගයක් - අඛිල සපුමල්
advertistmentadvertistment
advertistmentadvertistment