සුහුරු කෘෂිකර්මාන්තය උදෙසා ඩ්‍රෝන යානා යොදා ගනිමු

248

ජන සංගණන විශේෂඥයන්ගේ අධ්‍යයන මත ලෝක ජනගහනය වසර 2050 වන විට බිලියන 9 ක් දක්වා වැඩිවීම අපේක්ෂා කරන අතර එම කාලයට ළඟාවීමේදී ආහාර නිෂ්පාදනය සියයට 70 කින් ඉහළ නැංවීමට අවශ්‍ය බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පුරෝකථනය කරයි. එම තත්ත්වය උදෙසා සාර්ථකව මුහුණදීමට නම් කෘෂිකර්මාන්තයේ සෑම ක්‍රියාදාමයක්ම නව මුහුණුවරකින් වේගවත්ව සංවර්ධනය කිරීමට සිදුවේ. මේ උදෙසා ආහාර බෝග නිෂ්පාදනයේදී ශ්‍රම කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදන ඵලදායීතාව අඩුවීම අවම කරගත යුතුවේ. ඒ සඳහා කෘෂිකර්මාන්තය තුළ නවතම තාක්ෂණික යෙදවුම් ආදේශ කරගත යුතු අතර ප්‍රාග්ධනය මනා ලෙස කළමනාකරණය කරගත යුතුවේ. මෙහිදී සෑම බිම් අඟලක්ම වගා කළ යුතුය යන ජනප්‍රිය වදන බැහැරකර වගා කළ හැකි සෑම බිමකින්ම උපරිම ඵලදාවක් ලබාගැනීම කෙරෙහි අපි යොමුවිය යුත්තෙමු.

දැනුදු භාවිතයට ගන්නා තාක්ෂණික අනුවර්තන හා යෙදවුම් පිළිබඳ වූ බහුතරයකගේ අනවබෝධය හේතුවෙන් කෘෂිකර්මාන්ත අංශයේ ආදායමට සාපේක්ෂව නඩත්තු වියදම් ඉහළ යෑමක් පිළිබිඹු කෙරේ. අනෙක් අතට ගොවිතැනේ නිරතවන ප්‍රජාව වයස්ගතවීම හා නව පරම්පරාවන් එයට යොමුනොවීම ද ප්‍රශ්නකාරීවේ. එමෙන්ම බෝග හා සත්ත්ව නිෂ්පාදන ඵලදායිතාව බිඳ දැමීමට ඉවහල්වන ආන්තික කාලගුණික තත්ත්වයන් ද ඒ කෙරෙහි සෘජුවම බලපෑම ඉමහත් ගැටලුවකි. ස්වභාව ධර්මය විසින් ලෝකය පුරාම මෑතකදී නිර්මාණය කරන ලද පරිසරයේ උෂ්ණත්වය ඉහළයෑම, ලැව්ගිනි, වා සුළි, චණ්ඩමාරුත, ක්ෂණික වර්ෂාපතනය හා ගංවතුර ව්‍යසන ස්වරූපයන් ඒ බව අපට වඩාත් තහවුරු කරයි.

එවැනි බාධක හමුවේ වුවද ගොවිතැන හා සත්ත්ව පාලන කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා බොහොමයක් රටවල ගොවිජනතාව නැඹුරුවී තිබේ. වර්තමානයේදී එය උසස් තාක්ෂණික ශිල්පීය ක්‍රමෝපායයන් පදනම් වූ යන්ත්‍රෝපකරණ, රොබෝ සේවාවන් හා ස්වයංක්‍රීය සංවේදක ඇසුරෙන් කළමනාකරණය කරගත හැකි සුහුරු ගොවිතැනක් දක්වා පරිවර්තනය කිරීමට තාක්ෂඥයන් කටයුතු කරන ආකාරය විද්‍යාමානවේ. මෙම කටයුතු සඳහා උපයෝගි කරගන්නා නවතම මෙවලමක් ලෙස කෘෂිකාර්මික ඩ්‍රෝන යානා හඳුන්වා දිය හැකිවේ.

සීතල යුධමය අපේක්ෂාවන් ඉටුකර ගැනීම සඳහා උපයෝගි කරගත් ඩ්‍රෝන යානා අත්ලමත වුවද රඳවාතබා ගතහැකි හුරුබුහුටි ක්‍රීඩා භාණ්ඩයක් දක්වා වේගයෙන් අතික්‍රමණය වූ තාක්ෂණික නිපැයුමක් බවට දැන් පත්ව තිබේ. දුරස්ථ පාලකයක් හෝ සුහුරු ජංගම දුරකථනයක් මගින් භූමියේ ඕනෑම ස්ථානයක සිට පාලනය කිරීමට හැකිවීම ඩ්‍රෝන යානා සතු විශේෂත්වයයි. වඩාත් සරලව පැවසුවහොත් එය පියාසර කරන අතරතුර විවිධ කටයුතු ඉටුකරවාගත හැකි රොබෝ යන්ත්‍රයක් ලෙස හැඳින්විය හැක. එවැනි ඩ්‍රෝන යානා නිෂ්පාදන මාදිලි රැසක් විවෘත වෙළෙඳපොළේ දැකගත හැකිවේ.

ඩ්‍රෝන යානාවක් සතුව සංරචක විශාල ප්‍රමාණයක් ඇත. ඒවා අතර සුළං ජනනය කරන පංකා තල, පංකා මෝටරයන්හි වේගය සහ දිශාව පාලනය කරන ඉලෙක්ට්‍රොනික වේග පාලකයක් ඩ්‍රෝන යානයේ මොළය ලෙස සැලකෙන පියාසැරි පාලකයක්, සියලුම ඒකකවලට විදුලිය සපයන බැටරියක්, ගෝලීය පිහිටුම හඳුනාගන්නා පද්ධතියක්, සංනිවේදන යොමුකරන හා ග්‍රහණය කරන ඇන්ටනාවක්, අධෝරක්ත (තාප) කැමරා, අතිධ්වනික සංවේදක, ගැටුම් වළක්වා ගැනීමේ සංවේදකයක්, වේගය මනින ත්වරණමානයක් හා පාලකය විසින් නියම කරන ලද නිශ්චිත උන්නතාංශයක ඩ්‍රෝන යානය තබා ගැනීමට උපකාරී කරන උච්චාමානයක් සහ චලන ඡායාරූප ඉතා සූක්ෂමව ග්‍රහණය කරගන්නා ගිම්බල් කැමියක් ඇතුළු දේ ඒවා අතර ප්‍රධානය.

පියාසැරි ආරම්භය ඩ්‍රෝනයෙන් ඩ්‍රෝනයට වෙනස් මුහුණුවරක් ගනු ලැබූවද බහුතරය ඒ උදෙසා ප්‍රචාලන පද්ධතියක් ආධාරකර ගැනේ. විදුලි මෝටර්, ඉලෙක්ට්‍රොනික වේග පාලක සහ ප්‍රචාලක එකතුව එය සැකසේ. ඒවායෙහි සාමුහික ක්‍රියාකාරීත්වය මත ඩ්‍රෝන යානය ඉහළට එසවීමට, ඕනෑම දිශාවකට පියාසර කරවීමට හෝ ගුවනේ නතර කර තැබීමට හැකිවේ. පියාසර කිරීමට අදාළ වන පංකා තල ක්‍රියාකරවන මෝටර ඇතුළුව සියලුම උපාංග සඳහා අවශ්‍ය විදුලිබලය සැපයීමට බැටරියක් ඩ්‍රෝන යානාව තුළ ස්ථානගතකර තිබේ. බොහෝ ඩ්‍රෝන යානා සඳහා උපයෝගි කරගන්නේ ලිතියම් – පොලිමර් බැටරි විශේෂයයි. සාමාන්‍ය ඩ්‍රෝනයක මෝටර සහ ප්‍රචාලක යුගල වශයෙන් ක්‍රියාකරයි. ඒ අනුව ප්‍රචාලක හතරක් සහිත යානයක් සතු මෝටර් යුගලයක් දක්ෂිණාවර්තව භ්‍රමණය වන අතර අනෙක් මෝටර් යුගලය ප්‍රතිවිරුද්ධ අතට භ්‍රමණය කෙරේ. ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට, ගුවනේ සැරිසැරීමට සහ ගොඩබෑමට පියාසර පාලකයෙන් සහ විද්‍යුත් වේග පාලකයන් වෙතින් ලබා ගන්නා දත්ත උපයෝගිකර ගනී. එමෙන්ම ඉලෙක්ට්‍රොනික වේග පාලකය ඩ්‍රෝන පියාසර වේගය හා නතර කරවන තොරතුරු සංඥා කරන අතර ප්‍රචාලක මෝටර ක්‍රියාකාරීත්වය ද නිරීක්ෂණය කරනු ලැබේ.

මුල්කාලීනව ඔත්තු බැලීමේ හා හමුදා මෙහෙයුම් අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා භාවිතයට ගනු ලැබීය. එහෙත් ඉලෙක්ට්‍රෝනික තාක්ෂණයේ නව සොයාගැනීම් ඔස්සේ ගුවනේ සිට රථවාහන නිරීක්ෂණය, භූගෝලීය සමීක්ෂණ කටයුතු, වනජීවීන් ගවේෂණය කිරීමේ කටයුතු හා සාගරයන්හි මත්ස්‍ය සම්පත් ගැවසෙන ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට මෙන්ම ඡායාරූපකරණය, වීඩියෝකරණය ආදී කටයුතු උදෙසා ද දැන් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනේ. එමෙන්ම හදිසි ආපදා තත්ත්වයන් යටතේ මිනිසුන් හට ළඟාවිය නොහැකි ස්ථාන ආශ්‍රිතව මුදාගැනීම් මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු සපයා ගැනීමට, කාලගුණික දත්ත රැස්කිරීමට සහ 3D සිතියම් නිර්මාණය කරගැනීමට ද ඩ්‍රෝන ඇසුරු කරගත් තාක්ෂණ යෙදවුම් උපයෝගිකර ගැනේ. විශේෂයෙන්ම ලොව පුරාම ව්‍යාප්ත වූ කොරෝනා රෝග වසංගත අවස්ථාවේදී භාණ්ඩ බෙදාහැරීමේ සේවා කටයුතු සඳහා බොහෝ ආයතන ඩ්‍රෝන යානා උපයෝගීකර ගැනීමට කටයුතු කළ ආකාරය මේ උදෙසා හොඳම නිදර්ශනයයි.

කෙසේ වුවද යුධමය අවශ්‍යතා උදෙසා නිෂ්පාදනය කළ ඩ්‍රෝන යානා වඩාත් හොඳින් පරිසර හිතකාමී නිපැයුමක් බවට පත්වී සුහුරු කෘෂිකර්මාන්තයේ ඉදිරි ගමන සාක්ෂාත්කර ගැනීම උදෙසා භාවිතයට පැමිණීම වඩාත් සතුටුදායක තත්ත්වයකි. ඩ්‍රෝන තාක්ෂණය ගොවිතැනට සහ එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට භාවිත කළ හැකි මෙවලමක් බව දකුණු කොරියාව, ජපානය, චීනය, තායිලන්තය, මැලේසියාව යන ආසියාතික රටවල සහ උගන්ඩාව, ටියුනීසියාව, කෙන්යාව වැනි අප්‍රිකානු රටවල මෙන්ම යුරෝපයේ ඉතාලිය හා මොල්දෝවාව යන රටවල ගොවීන් දැනටමත් පෙන්වා දී තිබේ.

බෝගයක සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි පරිසරයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, පසෙහි පෝෂක අන්තර්ගතය, කෘමි සහ රෝග ආසාදන, ජල සම්පාදනය සහ සූර්යාලෝකය ආදී කරුණු බලපැවැත්වේ. බෝගයකට අවශ්‍ය ආහාර නිෂ්පාදනය කර ගැනීමට ශාක පත්‍ර ඉවහල්වේ. මෙහිදී සූර්යාලෝකයේ විවිධ තරංග ආයාමවල ආලෝකය අවශෝෂණය කර ගැනීමට හා පරාවර්ථනය කිරීමට ශාක පත්‍ර ඉවහල් වේ. ඒ ඔස්සේ බෝගයක උෂ්ණත්වයේ වෙනස්වීම් නිරීක්ෂණය කළ හැකිවේ. මේ උදෙසා ඩ්‍රෝන යානාවකට සවිකරන ලද අධෝරක්ත (තාප) කැමරා භාවිතා කළ හැකිවේ.

සුහුරු ගොවිතැනේදී එක් ප්‍රධාන ක්‍රියාකාරකමක් වන්නේ ජල කළමනාකරණයයි. එහිදී නිවැරදි වේලාවට ජලය ප්‍රශස්ත ප්‍රමාණයකින් යෙදීමෙන් බෝග ක්ෂේත්‍රයේ ජල පරිබෝජනයේ සඵලතාවය වැඩිකර ගත හැකිවේ. වගා ක්ෂේත්‍රයක පාංශු පරිසරයේ ලක්ෂණ මත ජලසම්පාදන ගැටලු හෝ එහි තෙතමනය අඩු හෝ වැඩි ප්‍රදේශ හඳුනාගැනීමට හැකිවේ. ජල සැපයුමේ විචල්‍යතාවයන් සිතියම්ගත කිරීම සඳහා දුරස්ථ සංවේදක සහිත ඩ්‍රෝන යානා සමග සබැඳි තාප කැමරා සහ විශ්ලේෂණ යෙදවුම් උපකාරීවේ.

ඩ්‍රෝන යානා හා සංවේදක තාක්ෂණය නිරන්තරයෙන්ම සංවර්ධනය වෙමින් වේගයෙන් ඉදිරියට යයි. තත්කාලීන මෙහෙයුම් සඳහා ලබාගත හැකි පරිගණක බලය ඉහළ යමින් පවතී. ගොවිතැනට හා සත්ත්ව පාලනයට අදාළව නිපදවන සංවේදක මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යමින් ඇත. ඒ අතර ගොවිතැනට අදාළව භාවිත කළහැකි ස්වයංක්‍රීය මෙහෙයුම් ඒකක වඩ වඩාත් නිපදවේ. එසේම ගොවිතැනේ සහ සත්ත්ව පාලනයේ විශේෂිත භාවිත හා ගැටලු විසඳා ගැනීම උදෙසා ඩ්‍රෝන යානා තාක්ෂණය ඔස්සේ භාවිත කරන යෙදවුම් තව තවත් සංවර්ධනයට යොමුවෙමින් පවතී. එමෙන්ම ලොව පුරාම ව්‍යාප්ත වන සංනිවේදන පහසුකම් ඩ්‍රෝන භාවිතය ව්‍යාප්ත කිරීමට හේතුවී තිබේ. ඒ අනුව අනාගතයේදී සුහුරු ගොවිතැන උදෙසා ඩ්‍රෝන යානා භාවිතයේ විශාල විභවයක් පෙන්නුම් කරයි.

එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment