‘අස්වැසුමෙන්‘ දුප්පතුන් කපලා – පක්‍ෂ විපක්‍ෂ මන්ත්‍රීවරු මැති සබයේදී කියති

387

වැඩේ ආරවුලක -ජගත් කුමාර

පොහොසතුන්ටත් දීලා -චමින්ද විජේසිරි

නැවත සමීක්ෂණයක් කළ යුතුයි-සෙල්වම් අඩෙක්කලනාදන්

ආබාධිත පුද්ගලයන් ඉවත් වෙලා-රෝහිත අබේගුණවර්ධන

අභියාචනා කාලය තවමත් ක්‍රියාත්මකයි-අගමැති දිනේෂ්

දුප්පතුන් ලක්‍ෂ 40ක් වුණාට සහන ලැබෙන්නේ ලක්‍ෂ 12කටයි-සජිත් ප්‍රේමදාස

අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීම වෙනුවෙන් ආණ්ඩුව විසින් සකසා ඇති ‘අස්වැසුම’ සහනාධාර ක්‍රමය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේදී නියම සුදුස්සන් ඊට ඇතුළත්ව නැති බවත් එබැවින් තාවකාලිකව මෙම වැඩසටහන නවත්වන්නැයි ඉල්ලා සිටින බවත් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවසූහ.

ඒ සම්බන්ධයෙන් ප්‍රථමයෙන් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා සභාවේ අවධානය යොමු කළ අතර ඊට පසුව චමින්ද විජේසිරි, සෙල්වම් අඩෙක්කලනාදන්, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.

එම අදහස් මෙසේය-

ජගත් කුමාර මහතා – පසුගිය දිනවල දී සාකච්ඡාවට බඳුන් වුණා. රජයේ සහනාධාර ලබා දීමේදී සුදුස්සන්ට දෙන්න ඕනා නුසුදුස්සන්ට දෙන්න එපා ආදී කතා. දැන් ජනාධිපතිතුමාගේ අදහසක් අනුව අස්වැසුම කියලා සහනාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා පවුල් තෝරාගෙන ලේඛන සකසා මේ වන විට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒත් දැන් මුළු රටේම මේ අස්වැසුම වැඩේ ආරවුලක් බවට පත් වෙලා තිබෙනවා. අසරණ සහන ලැබිය යුතු සුදුස්සන්ට අස්වැසුම ලැබෙනවාට වඩා යාන වාහන තිබෙන, පිටරටවල රැකියාවල සිටින දරුවන්ගේ අයට වැනි නුසුදුස්සන්ට අස්වැසුම ලැබෙන තත්ත්වයක් මතු වෙලා තිබෙනවා. ඒ ගැන දැන් කැළඹීමක් ඇති වෙලා තිබෙනවා. අපේ මන්ත්‍රී කණ්ඩායමත් ඊයේ සාකච්ඡා කළා මේ ගැන ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරන්න ඕනා කියලා. මේ අස්වැසුම වැඩේ තාවකාලිකව නවත්වලා නියම සුදුස්සන් තෝරගන්න කාලයක් දෙන්න. දැනට සහනාධාර දීම සමෘද්ධිය හරහා දෙන්න කියලා කියනවා.

චමින්ද විජේසිරි මහතා – මේ තේරීම වැරදියි කියලා මමත් කියනවා. රාජ්‍ය සේවයේ සිටින ඉතාම පොහොසත් අයටත් මේ සහනාධාරය ලැබිලා තිබෙනවා. දැන් ආණ්ඩු පක්ෂයේ අයත් මේක කියනවා. අපට ආරංචියි මේ සහනාධාරය දෙන්න විශාල වශයෙන් අභ්‍යන්තර ණය මුදලක් අරගෙන තිබෙනවා කියලා. ඒ ගැන සොයා බලන්න කියලා අගමැතිතුමාට කියනවා.

සෙල්වම් අඩෙක්කලනාදන් මහතා – මන්නාරමේත් මේ ප්‍රශ්නය තිබෙනවා. දුප්පත් අයට සහනාධාර නොලැබෙන තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා දැනට මේක නතර කරලා නැවත සමීක්ෂණයක් කරලා මේ වැඩපිළිවෙළ කරන්න.

රෝහිත අබේගුණවර්ධන මහතා –

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියන්නේ සැබෑ අවශ්‍යතාව තිබෙන සැබෑ දුප්පත් අයට සහන ලබා දෙන්න කියලා. අපේ පරමාර්ථය වුණෙත් ඒක. නමුත් ඒක නොවෙයි සිද්ධවෙලා තිබෙන්නේ, ආබාධිත පුද්ගලයන් ඉවත් වෙලා තිබෙනවා. අපි මේක ගෙනාවේ නුසුදුස්සන් ඉවත් කරන්න. නමුත් තවත් නුසුදුස්සන් මේකට එකතු වෙලා තිබෙනවා. සැබෑ දුප්පතුන් තවත් දුප්පත් වේවි.

දයාසිරි ජයසේකර මහතා- යූඑන්පීයයි, පොහොට්ටුවයි එකතුවෙලා ආණ්ඩුවක් හදලා දැන් ආණ්ඩු පක්ෂයේ අයම අඩුපාඩු කියනවා. ඒ ගැන අපි ස්තුතිවන්ත වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා – මේ අස්වැසුම වැඩ සටහනේ බරපතළ අඩුපාඩු ගැන කතා කළා. මන්ත්‍රීවරු දැන් ගණනාවක් නැගිටලා කිව්වා නුසුදුස්න්ට මේක ලැබෙනවා කියලා. කොවිඩ් ව්‍යසනයෙන් පසුව රටක් මුලින්ම කරන්න ඕනේ ගෘහයක ආදායම් සහ වියදම් සමීක්ෂණයක් කරන එක. ඒක අදටත් කරලා නෑ. එතකොට දත්ත නැතුව කොහොමද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේ. අනෙක ලර්න් ඒෂියා කියන සඟරාව කියනවා අපේ දුප්පත්කම ලක්ෂ 30සිට ලක්ෂ 70 දක්වා වැඩි වෙලා කියලා. ඒ කියන්නේ ලක්ෂ 40ක් දුප්පත් වෙලා. නමුත් මේ අසුවැසුමෙන් සහන ලැබෙන්නේ ලක්ෂ 12කටයි. උද්ඝෝෂණයට හේතුව ඔන්න ඕකයි. ඒ නිසා දැන්වත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට කියන්න ගෘහයක ආදායම් – වියදම් පිළිබඳ සමීක්ෂණයක් කරන්න කියලා. ඒක තමයි මුලින්ම කරන්න තිබුණේ. ඒකයි මේ ආරවුල ඇති වෙලා තිබෙන්නේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා-

දැන් අස්වැසුම වැඩසටහනේ අඩුපාඩු ගැන කියවුණා. පසුගිය කාලයේ සමීක්ෂණයක් ක්‍රියාත්මක වුණා. ඒ සඳහා යම් නිලධාරීන් සහභාගි නොවීම නිසා තරුණ අය ස්වෙච්ඡාවෙන් සේවයට ගන්න සිදු වුණා. අයිඑම්එෆ් ගිවිසුමෙත් අඩු ආදායම්ලාභීන් ගැන වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා කියා තිබෙනවා. මේ වැඩසටහනෙන් පොහොසතුන්ට සහන ලැබෙන්න බෑනේ. අඩු ආදායම්ලාභීන් සහ රෝගීන් මෙයින් කිසිලෙසකින් ඉවත් කරන්න බෑ. ඒ නිසා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය තවම ක්‍රියාත්මකයි. ඊට සහභාගිවෙන්න කියලා අපි දැනුම් දෙනවා. අපි මෙයින් අඩු ආදායම්ලාභීන් වැඩියෙන් තෝරගන්න ඕනා.

මේ වැඩසටහනට කලබලයෙන් සුදුස්සන් තෝරාගත්තේ. ඒ සමීක්ෂණය සම්පූර්ණයෙන් වැරදියි. නැවත ඒ සමීක්ෂණය කරන්න ඒ සඳහා කාලය ලබා දෙන්න කියලා ඉල්ලනවා.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා- මේක ගැන කතා කරන්න දිනයක විවාදයක් ලබා දෙන්න

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment