ජ්‍යොතිෂයේ පලාඵල කීම ගැන ඔබ නොදත් කතාව

751

ජ්‍යොතිෂය අනාගත පරම්පරාව ගෙනයෑම හා මහජනයා අතර රඳා පවතින්නේ මේ පලාඵල කීම උඩයි. දැනටමත් ජ්‍යොතිෂය පිරිහෙමින් පවතිනවා නම් ඒත් මේ ජ්‍යොතිෂ පලාඵල පැවසීම මත බව දැනගත යුතුමයි. බොහෝ දෙනෙකුට නියම පලාඵල පැවසීම නොකළ හැකි බව කනගාටුවෙන්වත් සඳහන් කරන්න ඕනෑ. ඒකට මූලික වශයෙන් කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි නියමිත ජ්‍යොතිෂ කරුණු කාරණා ස්ලෝක, ජ්‍යොතිෂ නියමයන් නොදන්නාකම හා මුදල් සැපයීමම මුල්කරගෙන කුමන හෝ ආයතනයකින් ලබන අභ්‍යාසයකින් පසුව ජ්‍යොතිෂ කාර්යාල දමා ගැනීම. කිසියම් කෙනෙකු ස්වකීය ජන්ම පත්‍රය රැගෙන ආවිට ඔහු බලාපොරොත්තු වන ප්‍රතිඵලය දැන ගැනීමට බැරිනම් කුමන ජ්‍යොතිෂ්‍ය උපාධි – පශ්චාත් උපාධි තිබුණත් වැඩක් නැහැ. ඒ අය ජ්‍යොතිර්වේදියා වෙත එන්නේ පලාඵලය දැන ගන්න මිසක් එයාගේ උපාධි බලන්න නොවේ. පුරාණයේ සිටි පාරම්පරික දක්‍ෂ ජ්‍යොතිර්වේදියට ඔය කිසිදු සම්මානයක් සහතිකයක් තිබුණේ නැහැ. තිබුණේ පාරම්පරික දක්‍ෂතාවය පමණයි. අවශ්‍ය ස්ලෝක කටපාඩම් තිබුණා. ස්ලෝක කිව්වෙ සෘෂිවරයන්ගේ මතය. ඒ අයට විශේෂ ප්‍රසිද්ධියක් අවශ්‍ය උනේ නැහැ. වර්තමානයේ බොහෝ දෙනා රූප පෙට්ටිය අයිති නාලිකාවට මුදල් දීලා එක එක විස්තර ප්‍රචාරය කරනවා. යමෙක් නිවැරදි පලාඵල කියනවා නම් මහජනයා වැලනොකැඩී එනවා. සමහරු තැරැව්කාරයෝ දමල ව්‍යාජ ප්‍රසිද්ධියක් දෙනවා.

ජ්‍යොතිෂයේ නිවැරදි පලාඵල කියන්න ගොඩක් විස්තර කරුණු කාරණා අවධාරණය කරගෙන ඉන්න ඕනෑ. විශේෂයෙන්ම එකක් කියන්න ඕනෑ. මුදල් ගෙවලා ඔය ජ්‍යොතිෂ පංති වලට ගිහිල්ලා දැනුම ලබාගත්තට දැනුම වර්ධනය කරගත්තට වරදක් නැහැ. දක්‍ෂ පාරපම්පරික ගුරුවරයකු යටතේ ජ්‍යොතිෂය ඉගෙන ගන්න නැතුව ඔය ජ්‍යොතිෂ ඩිප්ලෝමාව දුන් පලියට ජ්‍යොතිෂ කාර්යාල නම් දමන්න එපා. ඒකෙන් වන්නේ ජ්‍යොතිෂය මිනිසුන්ට එපා වෙනවා. ජ්‍යොතිෂ විෂය වසරකින් දෙකකින් අවසන් කලාට නියම දැනුම ලැබෙන්නෙ නැහැ. අඩුම තරමේ ගුරුවරයකු යටතේ ප්‍රායෝගිකව කරන්න ඕනෑ. “ගුරු මුෂ්ඨි” දැන ගන්න ලැබෙන්නෙ එතකොට. ගුරු මුෂ්ඨි කිසිම පොතක නැහැ. ජ්‍යොතිෂයේදී හැම එකක්ම කටපාඩමේ තියෙන්නට ඕනෑ. පලාඵල දැන ගන්න ආවම. පොත් පෙරල පෙරලා ඉන්නට බැහැ. අනික පරිගණකයෙන් නියම පලාඵල දැන ගන්න බැහැ. ජ්‍යොතිෂය කියන්නෙ ගැඹුරු ශාස්ත්‍රයක්. ලෙහෙසියට බොත්තමක් ඔබලා කියන්න බැහැ. පරිගණකය එක එක දෙයට උදව්කර ගත්තටකාරි නැහැ. ඒකේ නියම විස්තර නැහැ. පරිගණකයට ඇතුළත් කළ දත්ත විතරයි නැවතත් එලියට එන්නේ. ඒක හරියට කාපු දේ වමාරනවා වගේ වැඩක්. පරිගණකය, කැල්කියුලේටරය උපයෝගී කරගෙන මිනිස් මොළෙන් වැඩකරන්න ඕනෑ.

පලාඵල කීමේදී මුලින්ම උත්පත්ති කේන්දරය පරීක්‍ෂා කරන්න ඕනෑ. ඒකේ තිබෙනවා ජීවිත කාලයෙදීම සිදුවන දේවල් සටහන් කරල. හැබැයි කාලසීමාව නැතුව. කාලසීමාව කියන්නෙ තත්කාල කේන්දරයෙන්. තත්කාල කේන්දරය අපි හදාගන්න ඕනෑ. ඒවා පරිගණකයේ නැහැ. ජීවිත කාලය ගුණ කියන්න කලින් ආයුෂ ගුණ කියන 8 වැනි රාශිය නැත්නම් අශ්ඨමය පරීක්‍ෂා කරන්නට ඕනෑ. අශ්ඨමය අයිති කාටද? ඒවගේම ගෝචරය කවුද ඒ ගෝචර කාලසීමාවෙදී එයාගේ තත්ත්වය කොහොමද හතුරුද මිතුරුද වක්‍රද උදා ද යන බව බලන්න ඕනෑ.

6-8-12 රාශීන් මේ අශ්ඨමයේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමට උදව්කරනවා. දුෂ්ඨ ස්ථානය කියන්නේ 6 වැනි රාශියටම විතරක් නොවේ.

දෙවන රාශිය, 7 වැනි රාශිය වෙන වෙනම සුබ රාශින් උනාට, එකට ගත්තාම මරණය පිළිබිඹු වනවා. මේ කොටුවල නැත්නම් රාශිවල අඟහරුවා දුර්වල නම් රුධිරය හේතුකොට ගෙන අල්ප ආයුෂ වනවා. 2 හා 8 එකවර බැලීමේදී මේකම සිදුවනවා. පලාඵල කීමේදී උත්පත්ති කේන්දරයේ පැවසූ දේ තත්කාල කේන්දරයේ ඒ කාලෙට සඳහන් වන බව දැන ගන්න ඕනෑ.

ඒ කිව්වේ දරුවෙකුගේ පුංචිම කාලෙදී පලාඵල කියනකොට එයාගේ විවාහය, දිවයිනෙන් පිටවීම ගැන කීම උචිත නැහැ. ඉස්සෙල්ලම බලන්න ඕනෑ. එයාගේ 8 වැනි රාශියේ තත්ත්වය හා කිට්ටු සමීපතා ග්‍රහයෝ හා ග්‍රහ සංයෝග. ඒ කිව්වේ ආයුෂ

ගැනමයි. මෙහෙම බලලා අන්තිමේදී බාලාරිෂ්ඨ යෝග බලලා ආයුෂ ගැන තීරණයකට එන්න හැකි වනවා. ඊළගට 8 හා 11 වැනි රාශිය පරීක්‍ෂා කරන කොට හදිසි මරණ ගැන වැටහෙනවා. ඊළඟට දරුවා ටිකෙන් ටික වැඩිවියට පැමිණෙන කොට ඉගෙනීම ගැන බලන්න ඕනෑ.

ඉගෙනීම කිව්වට මූලික අධ්‍යාපනය ගැනයි බලන්නෙ. එහෙනම් 5 වැනි රාශිය. අධ්‍යාපනයට මූලික බුධ හා බ්‍රහස්පති උනාට මූලික අධ්‍යාපනය ගැන කියන්නෙ බුධ ඊළඟට 11 වැනි රාශියත් බ්‍රහස්පතිගේ පිහිටීමත් පරීක්‍ෂා කරන්න ඕනෑ. මූලික අධ්‍යයනය කරල උසස් අධ්‍යාපනය කරන කොට ගුරු සමඟ රවි නරක් උනොත් අංගුලිමාලට සිදුවූ දේ වනවා. මෙතැනදී රවි හතුරුම වන්න ඕනෑ. නීච වෙලා හෝ වක්‍රවෙලා බැහැ.

දැන් යන්නේ විවාහය පැත්තටයි. මෙතැන නම් ඉතා සංකීර්ණව බැලිය යුතු වනවා. මොකද ජීවිතයේ අවසාන වෙනකං සම්බන්ධ වන නිසා ඉස්සෙල්ලම බලන්න ඕනෑ. විවාහස්ථානය අයිති කාටද කවුද ඉන්නේ තත්ත්වය කොහොමද කියලා.

මේ ග්‍රහයෝ 9 දෙනාටම එක වගේම හොඳ නරක ගතිගුණ තිබෙනවා. අවස්ථාවෙන් අවස්ථාවට ඒ ඒ ග්‍රහයෝ ස්වභාවය වෙනස් කරනවා. ග්‍රහයෝ කිව්වේ ග්‍රහ කිරණ. අවශ්‍ය ග්‍රහයා තත්කාල කේන්දරයේ සිටින තත්ත්වය බලලා තමයි ගුණාගුණ කියන්න ඕනෑ. ඒක නිසා. ග්‍රහයාගේ තත්ත්වය ‘හතුරුද – මිතුරුද – ස්වක්‍ෂත්‍රද – වක්‍රද උදා’ ද බලල තමයි ග්‍රහ තත්ත්වය හරියටම කියන්නෙ. ඕනෑම ග්‍රහයෙක් එම රාශියට හතුරු නම් හෝ මිතුරු නම් හෝ තත්ත්වය “වක්‍ර” නම් හතුරු කමත්, මිතුරු කමත් පලදෙන්නේ වක්‍රය අවසන් උනාට පසුව බව දැන ගන්නම ඕනෑ. අපි හිතමු කිසියම් දවසක මේෂ ලග්නය අයිති ජන්ම පත්‍රයක විවාහ වන කාලයක සිකුරා කන්‍යාවේ (5 වැනි රාශියේ) සිට තුලාවට එනව කියා. ඒ එන වෙලාවට සිකුරා වක්‍ර නම් විවාහයට වාසිදායක තත්ත්වයක් ඇත ිකරන්නේ සිකුරා ‘වක්‍ර’ කාලයෙන් මිදුනට පසුවයි. ග්‍රහයගේ තත්ත්වය විස්තර කරල ඇති ඈපා පංචාංග ලිතේ 124-125 පිටුවල “ග්‍රහ රාශි චාරය” කියලා. මේ සමගම 5 වැනි රාශියෙන් දරු සම්පත් බැලුවොත් විවාහයට යහපතක් වේවි. විශේෂයෙන් මේ රාශියේ තත්ත්වය ගැහැණු කේන්දරයට විශේෂ තැනක් දෙනවා. හැබැයි පොරොන්දම් බැලීමේදී ලකුණු මට්ටමකට තැන දීලා පොතේ තිබෙන්නෙ මෙහෙමයි කියලා. අපි ජ්‍යොතිර්වේදයට අත පිසදාගන්නට බැහැ. ලකුණු කොහොම වුණත් ලිංග පොරොන්දම යෝනි පොරොන්දම හා වෘක්‍ෂ පොරොන්දම නම් සාමාන්‍ය වශයෙන්වත් තිබෙන්න ඕනෑ. මොකද මේ පොරොන්දම් පරීක්‍ෂාව විවාහයේදී දරු සම්පත් බැලීමට විශේෂ තැනක් ගන්නවා.

මෙසේ හොඳ විවාහයක් වෙලා ජීවිතය ගෙන යමින් ඉන්න කොට මුදල් ඕනෑ. එහෙනම් 2 වන ස්ථානය 10 රාශිය රස්සාව ගැනත් බලන්න ඕනෑ. මෙහෙම මුදල් හොයල ඉතිරි කරන්න හදන කොට වැය පක්‍ෂය ගැන බලන්නම ඕනෑ. ධන ස්ථානයෙන් 10 රාශියෙන් රස්සාව කරල මුදල් උපයලා අනවශ්‍ය වැය වනව නම් 12 වැනි රාශිය පරීක්‍ෂා කරන්නම ඕනෑ.

මේ ග්‍රහයෝ ගුණ කියනකොට විශේෂ යමක් කියන්න ඕනෑ. ග්‍රහ කිරණ පොළොවට හෝ මනුෂ්‍ය ශරීරයට වදින කොට වැටෙන විදිය ජන්ම පත්‍රය පරීක්‍ෂා කර දැනගත්තත් ඒ කාලෙට අපේ උනන්දුව උත්සාහය හා ප්‍රවේශම තිබුණොත් ග්‍රහයා පරදවා මිනිසාට ජය

ගන්නට හැකිවනවාමයි. අපට හදිසි ලොතරැයි දිනුමකට වාසනාව තිබෙනව නම් ඒ ගුණ කිය කියා හිටියට වාසනාව උදාවන්නෙ නැහැ. එහෙනම් ලොතරැයි ටිකට් පත ගන්නම ඕනෑ වනවා. එතැනදී මූලික වන්නේ උත්සාහයයි. කිසියම් හෙයකින් අඟහරුවා හතුරු වී ලේ ගලන තුවාල සිදුවීමට හැකියාව පැවැති බව දැන ගත්තොත් ඒ කාලය තුළ නිවසටම වී රංඩු සරුවල් වී නොවී සිටීමෙන් ඒ ලේ ගැලීම නවතා ගන්න හෝ ඉතාම අවම කරගන්න පුලුවන් වෙනවා. මෙතැනදී “ප්‍රවේශම” මුල් කරගෙන ග්‍රහයා පරදවන්න හැකි වනවා. යන්ත්‍ර දැමීමෙන් ඒ හතුරු කාලය නිමකිරීම නරක නැහැ. ප්‍රවේශම් වීම ඉතා හොඳයි. කලින් කලට ජන්ම පත්‍රය පරීක්‍ෂා කරගන්න එක හොඳයි. නමුත් උත්සාහය, උනන්දුව ප්‍රවේශම නිවැරදි දැක්ම කවදත් හොඳ බව අමතක කරන්න එපා.

ජ්‍යොතිෂයේ පලාඵල කීම ගැන ඔබ නොදත් කතාව

පාරම්පරික ගුප්තවේදී/ජ්‍යොතිෂවේදී
මීපේ ගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
දු.ක.0779870007

advertistmentadvertistment
advertistmentadvertistment