පුංචි කාවින්ද වෙනුවෙන් රටම එක්වෙයි…ලංකාවේ සංවේදීම උපන් දිනය සැමරුවේ මෙහෙමයි….

6930

ආදරය රැගෙන රුවන්වැල්ලට යතුරු පැදිකරුවන් 500ක්

“ආදරෙයි…… පැලෙන්න… මං වගේ අම්ම කෙනකුට මේ දුන්න ආදරයට….” උස්හඬින් එසේ පවසන අම්මා කෙනකුගේ දර්ශන ඇතුළත් වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ නිතර සැරිසරනු දැකගත හැක. රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ අම්මාගේ මුවින් එවැනි හැඟීම්බර වචන මාලාවක් ප්‍රකාශයට පත්වන්නේ 10 හැවිරිදි තම පුතුණුවන් සතුටට පත් කිරීම පිණිස මෙරට යතුරුපැදිකරුවන් පිරිසක් කරන ලද විශිෂ්ඨ කැපකිරීමක්, මැදිහත්වීමක් හේතුවෙන් ය. ෆේස්බුක් උපයෝගි කර ගනිමින් ඇය විසින් කරන ලද ඉල්ලීමක් මත මෙරට තුළ මෑතකදී සිදුකළ සංවේදී උපන්දින සැමරුමක් පිළිබඳ වූ ඒ කතාව පෙළගැසෙන්නේ පහත සඳහන් ආකාරයෙන් ය.

කාවින්ද දෙව්මිණ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් ය. හදවතේ සිදුරු තුනක් සහිතව උපත ලබන කාවින්දගේ මනස ද හෙමින් වැඩෙන මනසක් බවට වෛiවරුන් විසින් හඳුනාගෙන ඇත. එබැවින් අන් දරුවන්ට මෙන් නිදහසේ දුව පැන ඇවිදීම සමනල්ලු පසුපස ලුහුබැඳ යෑම වැනි ළමා වියේ දඟකාර ක්‍රියාකාරකම් අකැපය. කාවින්ද උස්මහත් වන්නේ වෛi උපදෙස් මත ය. අහිංසක, දයාබර සිනහවක් නිතර මුහඟ පිපෙන කාවින්ද යනු විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වුවද ඔහුගේ මවට කාවින්ද යනු අරවින්දයක් ම ය.

කාවින්දගේ 10 වැනි උපන් දිනය යෙදී තිබුණේ මීට දින කීපයකට එපිට දවසකය. උපන් දිනය පිළිබඳ ඒ හැටි හැඟීමක් කාවින්දට නැතත් දිනක් සිය පුතු තුරුළු කරගත් කාවින්දගේ මව විමසා සිටින්නේ උපන් දින තෑග්ගක් ලෙස කාවින්දට අවශ්‍ය කුමක් ද යන්න පිළිබඳවය. විශේෂ අවශ්‍යතා සහිත දරුවකු වුවද කුඩා කල පටන් යතුරුපැදි සමූහයක් අසීමිත ඇල්මක් දක්වන කාවින්ද, මවගේ පැනයට පිළිතුරු සපයමින් පවසා සිටින්නේ තම උපන් දිනය නිමිත්තෙන් එක එක පාට යතුරුපැදි කීපයක් දැක ගැනීමට අවශ්‍ය බව ය. කුඩා දරුවකු විසින් ඉල්ලා සිටින අරුම පුදුම උපන් දින තෑග්ගක් වූ එය ලෙහෙසියෙන් සැබෑ කර ගැනීම තරමක් අපහසු කටයුත්තක් වුවද තම පුතණුවන්ගේ අහිංසක ඉල්ලීම එකවර ප්‍රතික්‍ෂේප කිරීමට මැලිකමක් දක්වන කාවින්දගේ මව ඒ පිළිබඳව කීපවරක් සිතා බලන අතර තම පුතණුවන් කුඩා කල පටන් යතුරුපැදි කෙරෙහි දක්වන, ඇල්ම, බැල්ම හේතුවෙන් එවැනි ඉල්ලීමක් කරන්නට ඇතැයි ඇය අනුමාන කර සිටින්නේ ඉන් අනතුරුවය.

පුතණුවන්ගේ සිහිනය සැබෑවක් බවට පත් කොට ඒ පුංචි සිත සතුටු කළ යුතුය. එහෙත් ඒ සඳහා විවිධ වර්ගයේ යතුරුපැදි හත අටක් හෝ සොයාගත යුතුය. තමන්ගේ ආර්ථිකය හා සමාජ වටපිටාව අනුව එය තරමක් අසීරුය. ජීවිතයේ මහන්සිය පමණටත් වඩා අත්විඳිමින් වසර 10 ක් පුරා තම පුතණුවන් වෙනුවෙන් අප්‍රමාණ දුක් කන්දරාවක් අත්විඳ ඇති ඒ අම්මා අවසන් වශයෙන් තීරණය කරනු ලබන්නේ කාවින්දගේ සිහිනමය ආශාව කෙසේ හෝ සැබෑවක් කිරීමෙන් මෙපිට එම අධිෂ්ඨානය නතර නොකරන්නටය. දස අතේ කල්පනා කරන ඇය අවසානයේදී තීරණය කරන්නේ තම පුතණුවන්ගේ ඉල්ලීම සමාජ මාධ්‍ය ඔස්සේ රට හමුවේ තැබීමටය.

ඒ සැබෑ වූ සිහිනය පිළිබඳව කාවින්දගේ මව වන චමිලා දමයන්ති මහත්මිය අප හා විස්තර කර සිටියේ උතුරා යන සතුටකින් යුක්තවය. ඒ අතරතුර ඇය සංවේදී වූ අවස්ථාවන් කීපයක් ද විය.

“මගේ දරුව ඉපදිලා දවස් තුනකින් පස්සේ කොළඹ ළමා රෝහලට යවනවා. ඒ අරන් ගිහින් ප්‍රතිකාර කළත් අවුරුදු තුනක් ගතවෙන තුරු දරුවට කෙළින් හිටගන්නවත් පුළුවන්කමක් තිබුණේ නැහැ. මම මගේ මහන්සියෙන් මේ තරමට හරි මගේ පුතාව ගොඩනඟා ගත්ත. කෙනකුට අවුරුදු 10 ක් කියන්නේ ඉලක්කමක් වෙන්න ඇති. ඒත් මට මේ අවුරදු 10 කියන්නේ කල්පයක්. දරුවත් එක්ක බස් එකකට නැග්ගත් අපිව කොන්වෙනවා. ඉස්පිරිතාලයට ගියත්, බැංකුවට ගියත් ඒ කොතනත් එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. අපි ඉල්ලා සිටිය ආදරය සමාජයෙන් ලැබුණේ නෑ. සමච්චලයට තමයි හුඟදෙනෙක් අපි දිහා බැලුවේ. මගේ පුතා වගේ තවත් දරුවෝ මේ රටේ ඕන තරම් ඇති. ඒ දරුවන්ගෙ අම්මල තාත්තල වෙන මොකුත් ඉල්ලන්නෙ නෑ. අපි ඉල්ලන්නෙ එක දෙයයි. ඒ තමයි ආදරය. මේ වගේ දරුවන්ට ආදරය විතරයි ඕන. එදා මගේ පුතාගෙ උපන් දිනය දවසෙ මේ රටේ ආදරණීය කොල්ලො කෙල්ලො පන්සීයක් විතර ඒ ආදරයත් අරගෙන අපේ ගෙදර ආවා. මුළු රුවන්වැල්ල නගරයම එදා ආදරයෙන් පිරිල ඉතිරිල ගියා. ඒ දරුවන්ට ස්තුති කරන්න සුදුසු වචනයක් මට හොයාගන්න බැරිවුණ හින්ද තමයි මම එදා මහා හයියෙන් කිව්වේ ‘පැලෙන්න ආදරෙයි’ කියලා.

චමිලා දමයන්ති මහත්මිය පවසන කතාව එතෙකින් නිමාවට පත්වන්නෙ නැත. ඇයට තවත් බොහෝ දේ පැවසීමට ඇත. තම පුතණුවන්ගේ උපන්දින සැමරුම පිණිස රටම රොද බැඳගත් ආකාරය ඇය විසින් පවසන්නට වූවේ මේ ආකාරයෙන් ය.

“මගේ පුතා මෝටර් බයික්වල සද්දයට, ලයිට්වලට පමණක් නොවෙයි හෝන් සද්දයටත් පුදුම කැමැත්තක් දක්වන දරුවෙක්. පාරෙ බයික් එකක් ගියොත් නොපෙනී යන තුරුම ඒ දිහා බලාගෙන ඉන්නවා. පුතාගේ 10 වැනි උපන් දිනය තිබුණෙ මැයි 26 වැනිදා. උපන් දින තෑග්ගක් ඕනද කියල ඇහුවම පුතා කිව්ව පාට පාට මෝටර් බයික් ගොඩක් බලන්න ආසයි කියලා. අපිට එහෙම බයික් කොයින්ද. අන්තිමට මම තීරණය කළා සමාජ මාධ්‍ය ජාලයට ඒ ඉල්ලීම යොමු කරල ඒ හරහා හෝ බයික් හත අටක් ගෙන්නගෙන පුතාව සතුටු කරන්න.

මැසෙන්ජර් හරහා මේ පණිවිඩය දුන්නට පස්සෙ කීපදෙනෙක් එක එක ප්‍රතිචාර දක්වල තිබුණා. එක පුතෙක් ඒක දැකල මට කතා කරල කිව්ව දරුවගෙ පින්තූරයක් එවන්න ඊට පස්සේ ඒ අය කීපදෙනෙක්වත් එන්නම් කියල. ඒ පාර මම කිව්ව “පුතේ… යතුරුපැදි 10 ක් මට හොයල දෙන්න ඒ ඇති කියලා. එහෙමයි ආරම්භය ගත්තෙ. ඒ පුතාගෙ නමවත් මම දන්නෙ නෑ. අවුරුදු 19 ක ඉලංදාරියෙක්. ඊට පස්සෙ ඒ පුතාගෙ මැදිහත්වීමෙන් මගේ ඉල්ලීම තව තවත් පිරිස අතරට යනවා. කොහොමහරි ඒ ආරංචිය අපේ රටේ යතුරුපැදි ධාවනකරුවන්ගේ ගෲප් කීපයකටත් ගිහින් තියෙනවා. පසුගිය 26 වැනිදා මුළු රුවන්වැල්ලම යතුරුපැදි ධාවනය කරන කොල්ලො කෙල්ලෝ පන්සීයක් පමණ පිරිසකගෙන් පිරිල යන්න ගත්තේ ඔන්න ඔහොමයි. මගේ රත්තරන් පුතා එදා තරම් සතුටු වූ දවසක් තවත් නෑ. ගාල්ල, අකුරැස්ස, තංගල්ල වගේ රටේ බොහෝ ප්‍රදේශවල ඉඳල අතින් තෙල් ගහගෙන අපේ අහිංසක ඉල්ලීම ඉටුකරන්න එදා රත්තරන් හදවත් පන්සීයක් අපේ ගෙදර ආවා. ගේයි වත්තයි ඉඩමදි හින්ද ගෙවල් ළඟ ඉස්කෝලයක් තෝරගන්න වුණා මගේ දරුවගෙ උපන් දිනය සමරන්න. එදා තමයි මම දැනගත්තෙ අපේ රට කියන්නේ මොන තරම් වටින තැනක්ද කියලා. ඒ ආපු දරුවන්ට ස්තුති කරන්න මට වචන නෑ.”

සමාජ මාධ්‍ය ජාලා රට තුළ දැඩි අප්‍රසාදයට ලක්වෙන පරිසරයක ඒ හරහා සිදු වූ යහපත් මෙන්ම දුර්ලභ සිදුවීමක් ලෙස ද මෙය හඳුන්වා දිය හැක. සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කර ගනිමින් බීච් පාටි, මත්පැන්, මත්කුඩු සාද සංවිධානය වන රටක රුවන්වැල්ල සිදුවීම යනු සමාජ ජාලා මඩගොහොරුව සුවඳවත් කරමින් සුපිපි අරවින්දයක් බඳුය. එහි පලකළ දැන්වීමක් හරහා ආදරය රැගෙන රටේ සිව්දෙසින් පැමිණි තරුණ තරුණියන් පිරිසක් කාවින්දගේ 10 වන උපන් දිනය මහත් හරසරින් පැවැත්වූ අයුරුත්, එය සජීවීව නැරඹූ පිරිස මේ වන විටත් ලක්‍ෂ දෙක ඉක්මවා තිබෙන අතර ඒ වෙනුවෙන් කාවින්දගේ මව තම උතුරා යන ආදරය රට හමුවේ ප්‍රකාශ කර සිටින්නේ ‘පැලෙන්න ආදරෙයි’ යනුවෙන්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment