ශාන්තිපුර හිටියට කිසිම සෙතක් ශාන්තියක් නැති මිනිස්සු

838

වනාන්තරයක් ‘ශාන්තිපුරයක්’ කළේ ‘විලියම් බාස්’….

පසු කලෙක ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා

ලංකාවේ උසම ස්ථානයේ පිහිටි නිවස, මිනිස් ජනාවාසය, තේ වතුයාය, තේ කර්මාන්ත ශාලාව, විහාරස්ථානය, හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය සියල්ලම එකම තැනක

රටේ බොහෝ දෙනෙක් නිවාඩුවට ‘ටි්‍රප් ‘ යන්නේ නුවරඑළියටය. අරමුණ සීත දේශගුණයේ සැප විඳ නිවාඩුව ගත කිරීමය. එහෙත් රටේ බොහෝ දෙනෙකුට දැනෙන සැප නුවරඑළියේ ශාන්තිපුර වැසියන්ට දැනෙන්නේ නැත. ශාන්තිපුර යනු රටේ උසින්ම පිහිටි ජනාවාසයයි. මේ උසම මිනිස් ජනාවාසය පිහිටි ශාන්තිපුර ගම්මානය ගැන අපේ රටේ පමණක් නොව විදේශ රටවලද නොදන්නා කෙනෙක් නැත. එහෙත් ශාන්තිපුරයේ සිටින බොහෝ දෙනෙකු විඳින දුක ගැන ඒ කිසිවෙකුත් දන්නේද නැත. ශාන්තිපුරයේ දිවි ගෙවන ජනතාවට තවමත් විසඳා ගත යුතු ප්‍රශ්න රාශියකි. රටක් ජනතාවක් නොව වගකිවයුත්තන්ද ඒ බව දැනගත යුතුය.

“පුංචි එංගලන්තය කියල නුවරඑළියට නමක් පටබැඳිල තියෙන්නේ නිකන් නෙවෙයි. මේ නගරයේ භූ විද්‍යාත්මක පිහිටීම, සුවිශේෂ වූ දේශගුණික තත්ත්වය වගේම ලෝකයේ වෙනත් රටවලදී අත්විඳිය නොහැකි සෞන්දර්යාත්මක වටිනාකම නිසයි එහෙම කියන්නේ. රටේ පිහිටි උසින් වැඩිම ස්ථාන තියන තැන. හැබැයි අපේ රටේ වගකිවයුත්තන්ට මේ ස්වභාවිකව උරුමව ඇති දායාදය ලොවට බෙදා දෙන්න හැකියාවක් නැති වෙලා තියෙනවා. ඒක කනගාටුවට කාරණයක්” කේ. ඩී. උපාලි කියන්නේය.

ඔහු ශාන්තිපුර උසම ජනාවාසයේ නැරඹුම් මැදිරිය අසල පිහිටි ආපන ශාලාව පවත්වාගෙන යන්නේය. ඉතා දීර්ඝ කාලයක් ශාන්තිපුරය සමග දිවි ගෙවන ඔහු කියන කතාව ඉවතලිය හැක්කක් නොවේ.

දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් නුවරඑළිය නගරයේ සුන්දරත්වය නැරඹුවද බොහෝ පිරිසකට ශ්‍රීලංකාවේ පිහිටි උසම ජනාවාසය වන ශාන්තිපුර ගම්මානයට යෑම මගහැරේ. ඒ බවට නුවරඑළිය නගරවාසීහු සාක්ෂි දරන්නෝය.

ඇත්තෙන්ම කිවහොත් ශාන්තිපුරයට යෑමට ගිරි දුර්ග, කඳු හෙල්, ඇලදොළ ගංගා, තරණය කළ යුතු නැත. ගමන පහසුය. ඒ මෙසේය, නුවරඑළිය-මහනුවර ප්‍රධාන මාර්ගයේ, කිලෝමීටර් 02 ක් පමණ ගිය විට බඹරකැලේ විහාරය අසලින් ශාන්තිපුර පිවිසුම් මාර්ගය හමුවේ. එම ස්ථානයේ සිට වංගු සහිත කඳු මාර්ගයකින් කිලෝමීටර් 04 ක් පමණ ගිය විට ශාන්තිපුර ගම්මානය හමුවේ. නුවරඑළිය නගරයේ සිට ශාන්තිපුර දක්වා පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථ සේවාවක් ද ක්‍රියාත්මක කෙරේ. පා ගමනින් මේ කිලෝමීටර හතර පසු කරන්නෙකුට අතිශය සුන්දර පරිසරයක අසිරිය විඳ ගැනීමේ අවස්ථාව උදාවේ.

සංඥා කුලුනු රැසක් ස්ථාපිත කර ඇති කිකිළියාමාන කඳුවැටියට පහළින් තේ වගාව හා එළවළු වගාව මැදිකරගෙන ශාන්තිපුර ගම්මානය පිහිටා තිබේ.

මුහුදු මට්ටමේ සිට අඩි 7342 ක් පමණ ඉහළින් පිහිටි ශාන්තිපුර ගම්මානයේ සිංහල, දමිළ හා මුස්ලිම් පවුල් 5000 ක් පමණ දැනට ජීවත් වෙති. කිකිළියාමාන කඳු පාමුල සිට මෙම ගම්මානයේ ඉදිකිරීම් කර ඇති අයුරු දැකගත හැකිය. ගම්මානයට බටහිර දෙසින් ලංකාවේ උසින් වැඩිම කඳුවැටිය ලෙස සැලකෙන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 2524 කි.

ශාන්තිපුර හිටියට කිසිම සෙතක් ශාන්තියක් නැති මිනිස්සු

සංචාරක කර්මාන්තයට සම්බන්ධ නිවාඩු නිකේතන රැසක් ගම්මානය තුළ තිබේ. සිංහල, දමිළ, මුස්ලිම් සෑම ජාතිකයෙකුම මෙම ගම්මානයේ ජාති, කුල, ආගම් භේදයකින් තොරව ඉතා සහජීවනයෙන් වාසය කරන්නෝය.

සුදු ජාතිකයන්ගෙන් 1948 වසරේදී අපට නාමික නිදහසක් ලැබුණද බි්‍රතාන්‍යන් විසින් පාලනය කළ නුවරඑළිය නගරයට ඉහළින්ම පිහිටි ශ්‍රී ලංකාවේ උසින් වැඩිම ස්ථානයේ පිහිටි තේ වත්ත නම් කර තිබුණේ “ඔලිෆන්ට්” ලෙසිනි. එම තේ වතුයායේ ටී. විලියම් ප්‍රනාන්දු නමැති ප්‍රධාන බාසුන්නැහැ කෙනෙකු පදිංචිව සිටියේය. අතිශය සුන්දර මිනිසෙකු වූ හෙතෙම සමාජ සේවා කටයුතු සඳහා ලැදි මානව හිතවාදී පුද්ගලයෙක් බව ශාන්තිපුර වැසියෝ පවසති. උපතින් කතෝලිකයෙකු වූ විලියම් ප්‍රනාන්දු මහතා බෞද්ධ කාන්තාවක් විවාහ කර ගැනීමෙන් පසුව බෞද්ධයකු විය.

විලියම් ප්‍රනාන්දු මහතාගේ සිතේ කාලයක් තිස්සේ වැඩෙමින් තිබූ සිතුවිල්ලක් යථාර්ථයක් බවට පත් කරමින් වනගත ප්‍රදේශයක්ව තිබූ ශාන්තිපුර ගම්මානයක් ලෙස ආරම්භ වූ අතීත කතාව අපට ආවර්ජණය කරමින් පැවසූවේ ශාන්තිපුර ගම්මානයේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටි බෞද්ධ විහාරස්ථානය වන චේතියගිරි විහාරයේ විහාරාධිපති ලෙස වැඩවසන මෑතගම සෝභිත නායක හිමිපාණන් වහන්සේය.

දැනට ගිලන්ව සිටින උන්වහන්සේ ශාන්තිපුර ගම්මානය ආරම්භය අප සමග මෙසේ පැවසූහ.

“මහත්තයෝ විලියම් ප්‍රනාන්දු මහත්තයා 60 දශකයේ ආවේ මොරටුවේ ඉඳන්. ඔලිෆන්ට් තේ වත්තේ පදිංචිවෙලා එතුමා බාස් කෙනෙක් විදිහට වැඩ කරමින් සිටියා. 60 දශකයේම ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳී දේශපාලනය කළා. එතෙන්දි නුවරඑළිය
නගරාධිපති තනතුරට පත්වෙන්න අවස්ථාව ලැබුණා. පස්සේ කාලෙකදී නුවරඑළිය ප්‍රදේශයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ලෙස පත්වී වසර හතරහමාරක කාලයක් ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළා. ඒ කාලේදී තමයි පුංචි එංගලන්තය කියල නුවරඑළියට නම පටබැඳුනේ.

සුදු ජාතිකයන්ගේ කාලේ නිසා සිංහල, දෙමළ, මුස්ලිම් කාටවත් ඉඩම් අඟලක් දුන්නේ නෑ. ඉඩම් ලැබුණේ වරප්‍රසාද ලත් පිරිසකට පමණයි. මෙහෙ තියන බංගලා සුද්දන්ගේ පරණ බංගලා. සාමාන්‍ය මිනිස්සු විදිහට හිටියේ සුද්දන්ගේ වැඩ කරන්න වලපනේ, වැලිමඩ, කොත්මලේ වගේ අවට ප්‍රදේශවලින් ආව සුළු පිරිසක්. බෞද්ධ පවුලකින් විලියම් ප්‍රනාන්දු මහත්තයා විවාහ වුණාට පස්සේ එතුමත් බෞද්ධ ආගමිකයෙක් වුණා. දේශපාලනයට පිවිසුනාට පසුව එතුමා ප්‍රදේශයේ පුරවල් 18 ක් විතර ඇති කරන්න පූර්ණ ලෙස මැදිහත් වුණා. විලියම් මහත්තයාගේ බිරිඳගේ නම ශාන්ති. ඒ නම මේ ගමට යොදලා ශාන්තිපුර කියල හැදුවා. එහිදී එතුමා ජාති, කුල, ආගම් භේදයකින් තොරව ඉඩම් ලබා දුන්නා.

හැටේ දශකයේ ආරම්භ කරන ලද ශාන්තිපුර ගම්මානය තමයි ලංකාවේ උසම මිනිස් ජනාවාසය. මේ ප්‍රදේශයේ සුන්දර පරිසරය දැකලා එතුමා ශාන්තිපුරට විශේෂත්වයක් දක්වල ඇළුම් කළා. අවට තිබෙන මාර්ග, විදුලිය, තැපැල් කන්තෝරුව, රජයේ පාසල, පේෂකර්ම වැඩපළ වගේ ස්ථාන හා යටිතල පහසුකම් මේ ගමට ලබා දුන්නා. මිශ්‍ර ජන කොටසක් පදිංචි කළා. එතුමා මෙතන උසම තැන පන්සල ඉදිකරන්න කල්පනා කළා. මේ කොටස පන්සලට වෙන් කළා. කතෝලික පල්ලිය සඳහා තැනක් වෙන් කළා. ගමේ ඉඩම් අක්කරය තුනට බෙදලා එක් පුද්ගලයෙකුට ලබාදෙන විදිහට කටයුතු කළා. මුලින්ම පවුල් 100 ක් විතර පදිංචි කළා. රජයේ සේවය කරන අය හිටියේ නෑ. ඒ කාලේ අර්තාපල් වගාව තිබුණේ නෑ. සාමාන්‍ය බෝග වගාවන් තමයි තිබුණේ. වෙන ආදායම් මාර්ග මිනිසුන්ට තිබුණෙත් නෑ. ප්‍රධාන වශයෙන් කළේ එළවළු වගාව.

එතුමාගේ බලාපොරොත්තුව වගේම සැලැස්ම තිබුණේ මෙතන ජාත්‍යන්තර මට්ටමේ ආයතනයක් කරලා මිනිස්සුන්ගේ ආර්ථික, සමාජ, සංස්කෘතික ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ඇති කරන්න. එතුමාගේ හිතේ තිබුණ බලාපොරොත්තු සඳහන් කර “කඳු සිහිනය” කියල පොතක් ලියල තිබුණා. එතුමාට මේ පන්සලට හොඳ හාමුදුරුවෝ කෙනෙක් අවශ්‍ය වුණා. පණ්ඩිත නියංගන්දර සරණතිස්ස හාමුදුරුවන්ට පන්සල භාර දුන්නා. උන්වහන්සේ දැන උගත්, කාර්යශූර, ප්‍රියශීලී, ගුණවත් යතිවරයන් වහන්සේ කෙනෙක්. ඒ කාලේ මමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරල හිටියේ. නායක හාමුදුරුවන්ට තනියම කරන්න බැරි නිසා මමත් රජයේ ගුරු පත්වීමක් ලබාගෙන මෙහේට යොමු වුණා. 1973 දුරුතු මාසේ 03 වෙනිදා මේ පන්සල ආරම්භ කළා. ගමේ ජනතාවට ඒ වන විට තිබුණ දැඩි අර්ථික අපහසුතාවයන් මැද කෙසේ හෝ විහාරස්ථානයත් ටිකෙන් ටික දියුණු කළා. ගමට ප්‍රධාන ප්‍රශ්නයක් මාර්ග නිසි ලෙස නොමැතිවීම.

ශාන්තිපුර ගම්මානයේ ජනතාව දැන් යම් ආර්ථික වශයෙන් තරමක දියුණුවක් ලබා තිබෙනවා. සැමදෙනාම ඒක දැඩි කැප කිරීමකින් ලබා ගත් දෙයක්. කොහොම වුණත් ගමේ අතුරු ප්‍රශ්නත් ඇති වෙලා තිබෙනවා. නිවාස හා බෝග වගාවන් සඳහා ජල මූලාශ්‍ර එළිපෙහෙලි කිරීම හේතුවෙන් නුවරඑළියට පානීය ජල ප්‍රශ්නයක් ඇතිව තිබෙනවා. නුවරඑළියට එන සංචාරක ප්‍රජාවට ජලය සැපයීමේ ප්‍රශ්නයක් තිබෙනවා. නිසි සංවර්ධන සැලැස්මක් අනුව සංවර්ධන ක්‍රියාවන් සිදු කළා නම් නුවරඑළියට නළ ලිං අවශ්‍ය වන්නේ නෑ. ස්වභාවික ජල මූලාශ්‍ර ආරක්ෂා නොකළ නිසා දැන් ප්‍රශ්න පැන නැගී තිබෙනවා. වගකිවයුතු අංශ මේවා ගැන මීට වඩා සැළසුම් සහගතව කටයුතු කළ යුතුයි.

කේ. ඩී. උපාලිට තවත් බොහෝ දේ අප සමග කියන්නට තිබේ.

“ලංකාවේ උසම ජනාවාසය වන මෙම ස්ථානයේ නැරඹුම් මැදිරියට ශ්‍රීපාද කන්ද, ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල, කිකිළියාමාන, හග්ගල කඳුවැටිය, නුවරඑළිය නගරයේ සුප්‍රසිද්ධ ග්‍රෙගරි වැව ආදී ස්ථාන මනස්කාන්ත අයුරින් නරඹන්න පුළුවන්. දේශීය හා විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙම ස්ථානයට ආවත් අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් හරියට නෑ. නුවරඑළිය ප්‍රාදේශීය සභාවට මෙම ස්ථානයේ අයිතිය තිබෙන්නේ. ප්‍රාදේශීය සභාව ලක්ෂහයකට, හතකට මෙය ටෙන්ඩර් මගින් ලබා දෙනවා. නමුත් මෙය විලියම් ප්‍රනාන්දු මහතා ඉදිකර දුන්නායින් පසුව ප්‍රාදේශීය සභාව මගින් වසර ගණනක් ගෙවී ගියත් කිසිම අලුත් වැඩියාවක් කරල දීල නෑ. ගමේ ජනතාවට අයිති දෙයක් මේක. ප්‍රාදේශීය සභාව මුදල් ගන්න එක පමණක් කරනවා. නරඹන්න එන විදේශිකයන් එක් අයෙකුගෙන් රුපියල් 100/- ක් අය කරනවා. නමුත් ඒ අයට ප්‍රාදේශීය සභාවෙන් ලබා දී ඇති පහසුකම් ප්‍රමාණවත් නෑ. මෙම ගම සංචාරක කර්මාන්තය පැත්තෙන් අනිවර්යෙන් මීට වඩා දියුණු කළ යුතු ගමක්. රටට විදේශීය විනිමය ගෙන ඒමට හැකි ස්ථානයක්. මෙහි අඩුපාඩු සපුරා දෙන ලෙස හා වැදගත්කම ගැන නුවරඑළිය ප්‍රාදේශීය සභාවට කීපවරක් දැනුම් දුන්නත් මේ දක්වා සුදුසු ක්‍රියාමාර්ග ගෙන නෑ.”

ශාන්තිපුර මිනිස් ජනාවාසයේ උසම ස්ථානයේ පිහිටුවා ඇති නිවසට අප ගොඩ වුණේ ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ ඝන මිහිදුමෙන් ප්‍රදේශයම වැසී ගිය මෙහොතකය. මිනිත්තු කීපයකින් මිහිදුම පහව ගියත් දැඩි ශීතල නම් පහව යන්නේ නැත. අප එම නිවසට ගොඩවන අවස්ථාවේ දෙදරු පියෙකු වන ගෘහමූලික මුත්තුලිංගම් මෝහන්රාජ් (50) හා ඔහුගේ බිරිඳ වන ගෝපාල් මිඳුලා (39) යන දෙදෙනාම සිටියහ. හදවත් රෝගියෙකු වන මුත්තුලිංගම් මෝහන්රාජ් රෝගී තත්වයෙන් පසුවූ නිසා ගෝපිල් මිඳුලා අප සමග කතාබහට එක් වූවාය.

“අපේ ගෙදර ලංකාවේ උසම තැන තිබෙන ගෙදර කියලා ලෝකේම ප්‍රසිද්ධයි කියල ගොඩක් අය බලන්න එනවා. පිටරට අයත් ඇවිත් යනවා. හැබැයි අපේ ගෙදරට එන්න හරියට පාරක් නෑ. කිලෝමීටරයක් විතර දුර පොඩි අඩි පාරක් දිගේ තමයි එන්නේ. අපි හරි දුප්පත්. මගේ සැමියා වසර ගණනක් තිස්සේ ලෙඩ වෙලා ඉන්නේ. අධ්‍යාපනය හදාරණ දරුවන් දෙන්නෙක් අපිට ඉන්නවා. නමුත් ස්ථීර ආදායම් මාර්ගයක් නෑ. මම ඇඟළුම් කම්හලක වැඩ කරලා ගන්න පඩියෙන් තමයි සැමියාගේ බෙහෙත්, දරුවන්ගේ වියදම්, ආහාර වියදම් ඔක්කොම පිරිමහ ගන්නේ. අපි ලංකාවේ උසම තැන හිටියත් තවම හරියට ගේ හදාගෙන නෑ. වර්ෂා කාලයට හරිම දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. අපිට කවුරු හරි උදව් කරනවානම් ඒක ලොකු පිනක්.”

එම්. නසාර් යනු ශාන්තිපුර ගම්මානයේ ජනතාවට විඳින්නට සිදුව ඇති දුක් කරදර ගැන සංවේදීය. ඒ ගැන ඔහුට අවබෝධයක් තිබේ.

“මගේ උපන් ගමත් ශාන්තිපුර. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ජාතිකයෙක්ම මේ ගම්මානයේ සමගියෙන් සහජීවනයෙන් ජිවත් වෙනවා. විලියම් ප්‍රනාන්දු මහතා මෙම ගම පිහිටුවීමෙන් පසුව පන්සලේ විහාරාධිපති හිමියන් ගමේ ජනතාව වෙනුවෙන් ආගම් භේදයෙන් තොරව විශාල කැප කිරීමක් කරලා කටයුතු කළා. ගමට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මාර්ග අපහසුතාවය. කඳු සහිත නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නවා. මේ ගම සංචාරක කර්මාන්තය සඳහා උචිතම ගම්මානයක් වුණත් මේ දක්වා ඊට අවශ්‍ය යටිතල පහසුකම් සපයලා දීලා නෑ. ගම ලෝකෙම ප්‍රසිද්ධ වුණාට වැඩක් නෑ මෙහෙට එන සංචාරකයන්ට අවශ්‍ය පොදු පහසුකම් ටික ලබා දෙන්න බැරිනම්.

අනෙක මේ ගම කෘෂිකාර්මික ගමක්. මේ ගමේ වස විස නැති කාබනික වගාවන් රැසක් තිබෙනවා. ඒවා නිසි මිලකට අලෙවි කරගන්න ගොවියන්ට අවස්ථාවක් නෑ. මේ ගමේ සියලුම දේ සෞඛ්‍ය ආරක්ෂිත දේවල්. සංචාරකයන්ගේ පැමිණීම වැඩිකිරීම සඳහා පොදු පහසුකම් දියුණු කර ගම් වැසියන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ලොවම ප්‍රසිද්ධ මේ ගම්මානය ගැන ජනාධිපතිවරයාගේ අවධානයට ලක්විය යුතු බවයි අපි හිතන්නේ .”

ලංකවේ උසම ස්ථානයේ පිහිටි නිවස, මිනිස් ජනාවාසය, තේ වතුයාය, තේ කර්මාන්ත ශාලාව, විහාරස්ථානය, හින්දු කෝවිල, ඉස්ලාම් පල්ලිය රටේ මෙම ස්ථාන සියල්ල නැරඹිය හැක්කේ නුවරඑළිය ශාන්තිපුර ගම්මානයේදීය.

සොභා සෞන්දර්යෙන් අනූන වූ සුවිශේෂී භූ විෂමතාවයන් සහිත ශ්‍රී ලංකාවේ උසම ගම්මානය සංවර්ධනය කර සංචාරක කර්මාන්තය හරහා රටට විදේශ විනිමය උපයීමට හැකි මෙවන් තැනක් අපේ මව් බිමේ තවත් නැති තරම්ය.

සටහන හා ඡායාරූප –
ගාමිණී බණ්ඩාර
ඉලංගන්තිලක – මස්කෙළිය

advertistmentadvertistment
advertistmentadvertistment