මොනවා කියනවද?…මේක රත්තරන් බේරෙ(ර)න පාර්ලිමේන්තුවක්

1321

හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්නගේ කාර්යාලයෙන් පකිස්ථානයේ කරච්චි සිට එවූ කන්ටේනරයක තිබූ හෙරොයින් කිලෝ 131 රේගුවෙන් මුදා ගැනීමට කළ මැදිහත්වීම 2013 දේශපාලන භූමිය රත් කළේය. වරද එම කාර්යාලයේ ලේකම්වරයකු පිට පැටවිණි. පරීක්ෂණයකට සිදුවූ දෙයක් නොමැත. ආගමන සහ විගමන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව රහස් පොලිසිය ක්‍රියාත්මක නොවීමද ගැටලුවකි. අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලිසියට අධිකරණය අවස්ථාව දී තිබියදීත් නීතිය ක්‍රියාත්මක නොවීම කාගේත් අවධානයට යොමු වී ඇත.

රත්‍රන් ජාවාරම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම සහ විශේෂයෙන්ම ජාවාරම්කරුට පැනවිය හැකිව තිබූ සම්පූර්ණ දඩය අය නොකර ගැනීමත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු විය යුතුය.

රත්‍රන් ජාවාරම්කරු හැට හැවිරිදි අබ්දුල් අලි සබ්රි මොහමඩ් රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කොමිටිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවීමට හේතුවක් නැත. රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව කථානායක මහින්ද යාපා අබේවර්ධන ක්‍රියාත්මක විය යුතු බවට ස්ථාවරය ගත් මන්ත්‍රීවරු ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට ඉදිරිපත් කළ යුතුය. ඒ රහීම් මන්ත්‍රීවරයා සමස්ත පාර්ලිමේන්තු අර්බුදය තීව්‍ර කර ඇති බැවිනි. පාර්ලිමේන්තු ක්‍රමය තුළ මැති ඇමැතිවරුන්ට හිමි වරප්‍රසාදවල සීමාවක් නොමැත. එම වරප්‍රසාදවලට මුවාවී කරන අකටයුතුකම්වලද සීමාවක් නැත. ආනයනය කරන සුදු සීනි කිලෝවකට පනවා තිබූ රුපියල් 50 බද්ද සහ 25 ට අඩුකරන්නේ මුදල් අමාත්‍යවරයාය. ඒ 2020 ඔක්තෝබර් 13 දිනය. ආන්දෝලණාත්මක යුගදනවි ගිවිසුමට 2021 සැප්තැම්බර් 17 රාත්‍රියේ අත්සන් කරන්නේ ද මුදල් අමාත්‍යවරයාය. මැති ඇමැතිවරුන් තීරු බදු රහිතව ආනයනය කරන සුපිරි වාහන තමන්ගේ නමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ දිනයේදීම තුන්වැනි පාර්ශ්වයකට විකිණීමට අවස්ථාව පාර්ලිමේන්තු වරප්‍රසාද මැති ඇමැතින්ට හිමිවේ. වරක් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු අධිකරණයේ ගොනුකළ නඩුවක සඳහන් වූයේ වරකට පාර්ලිමේන්තුව නීති විරෝධීව ලබා දෙන මෙම වරප්‍රසාදය නිසා රුපියල් බිලියන හතක ආදායමක් රජයට අහිමි වන බවය. මෙවැනි රටක් බංකොළොත් වීම පිළිබඳව ජනතාව පුදුම විය යුතුද?

ප්‍රකාශ නොකළ රුපියල් මිලියන 74 (ලක්ෂ 740) වටිනා රත්‍රන් තොගයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන 91 ක් (වටිනාකම රුපියල් මිලියන 4.2 (ලක්ෂ 42) සමග මන්ත්‍රීවරයකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට පත්වීම සහ පාර්ලිමේන්තුවට නව මහ ලේකම්වරියක පත්වීම එක දිනක (2023 මැයි 24) වාර්තා කිරීමට සිදුවීම ඛේදවාචකයකි. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ පමණක් නොව රටේම ඛේදවාචකයයි. මහජන නියෝජිතයන් 225 කින් සමන්විත පාර්ලිමේන්තුවේ සැබෑ තත්ත්වය පිළිබිඹු කරයි. කථානායකවරයා සහ ඉතිරි මන්ත්‍රීවරු 223 දෙනාම නිර්වස්ත්‍ර වීමකි. රත්‍රන් රහසේ පිට කිරීමට ගොස් අසුවූ මහජන නියෝජිතයාට අමුතුවෙන් නිර්වස්ත්‍ර වීමට අවශ්‍ය නැත.

අලි සබ්රි මන්ත්‍රීවරයාගේ අත්අඩංගුවට පත්වීම සහ කුෂානි රෝහණධීර ගේ නව පත්වීම එකම දිනක සිදුවීම නැවත නැවතත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව රටක් ලෙස මුහුණ දෙන අභියෝගයයි.

නමුත් සැබෑ ප්‍රශ්නය ව්‍යාපාරික සබ්රි රහසින් රත්‍රන් සහ ස්මාර්ට් ජංගම දුරකථන පිට කිරීමට කළ උත්සාහය ව්‍යර්ථ වීම නොවේ. එවැනි වංචාවක් අදාළ මන්ත්‍රීවරයා කළ බවට කිසිදු සැකයකින් තොරව ඔප්පු වූ පසුව ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවට සහ අදාළ දේශපාලන පක්ෂයට නිසි ක්‍රමවේදයක් නොමැති වීමයි.

සබ්රිට 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා ලබා දුන් පක්ෂයට (රිෂාඩ් බදුයුදීන් නායකත්වය දෙන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය) සහ ඔහු තරග කළ පක්ෂයට (එම්. එම්. නයිමුල්ලහා මහා ලේකම් ලෙස කටයුතු කරන මුස්ලිම් නැෂනල් එලායන්ස් / යුනයිටඩ් නැෂනල් එලායන්ස්) සිද්ධිය සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් සෑහීමට පත්විය හැකිද? රිෂාඩ් බදුයුදීන් සහ නයිමුල්ලහා යන දෙදෙනාම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කර ඇත.

සබ්රි පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරන එකම මුස්ලිම් මන්ත්‍රීවරයා ලෙස රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය එකතුවී ‘තරාදිය’ ලාංඡනය යටතේ පත්වීම අමතක කර සබ්රි ගේ ක්‍රියා කලාපය හෙළිදරව් කළ අවාසනාවන්ත තත්ත්වය කිසිසේත් විමසා බැලිය නොහැක. දශක තුනකට වැඩි කාලයක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් මන්ත්‍රීවරයකු පත්කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම පක්ෂ දෙක එම ප්‍රදේශයේ පමණක් එක ලාංඡනයක් යටතේ තරග කළේය. එම පක්ෂ දෙකෙන් අපේක්ෂකයන් හතර දෙනා බැගින් ඉදිරිපත් කළ අතර එජාපය සහ ශ්‍රීලනිපය නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් අපේක්ෂකයන් දෙදෙනකු ද ‘තරාදිය’ ලාංඡනය යටතේ තරග කළේය. අවසන් වරට එම දිස්ත්‍රික්කය නියෝජනය කළේ ඒ. එච්. එම්. නයිනාමරික්කාර් ය. ඒ එජාපය වෙනුවෙනි.

විපක්ෂ මන්ත්‍රීවරුන් සබ්රිට පාර්ලිමේන්තුව තහනම් කළ යුතු බවට කථානායක මහින්ද යාපා අබේවර්ධනට යෝජනා කළේය. කථානායකවරයා එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ඔහුගේ ස්ථාවරය වූයේ ඔහුට එවැනි තීන්දුවක් ගැනීමේ බලයක් නොමැති බවයි. අතිශය බරපතළ විනිමය වංචාවකට රුපියල් ලක්ෂ 74 නැතහොත් රුපියල් මිලියන 7.4 ගෙවා රේගුවෙන් පිටවන මන්ත්‍රීවරයාට එදිනම පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කිරීමට අවස්ථාව අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ නීතියක් ක්‍රියාත්මක නොවන බවයි. එම තත්ත්වය සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයට මෙන්ම රහීම්ව මහජන නියෝජිතයකු කළ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට සහ මුස්ලිම් නැෂනල් එලායන්ස් / යුනයිටඩ් නැෂනල් එලායන්ස් අදාළය.

හිටපු පොලිස්පතිවරයකු වූ පූජිත් ජයසුන්දර 2016 ප්‍රකාශ කළ පරිදි නීතිය නැමීමට අවශ්‍ය නැත. ඒ නීතියක් නොමැති නිසාය. රත්‍රන් කිලෝ තුනහමාරක් සමඟ මැයි 23 දින උදේ රේගු අත්අඩංගුවට පත්වූ මන්ත්‍රීවරයකුට, ඊට පසු දින මන්ත්‍රීවරයකු ලෙස ක්‍රියා කිරීමේ වරප්‍රසාදය හිමිවෙනවා නම් ව්‍යවස්ථාදායකය මහජන මුදලින් නඩත්තු කිරීමේ තේරුමක් නැත. එහි උණුසුම නැතිවීමට පෙර එම මන්ත්‍රීවරයා නැවතත් හොරෙන් රත්‍රන් ගෙනා ඩුබායි දේශයට නැවතත් ගුවන්ගත වීම ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුව සමච්චල් කිරීමකි. නමුත් රහීම් මන්ත්‍රීවරයාට දොස් පවරා තේරුමක් නැත.

නීති සම්පාදනය සහ මූල්‍ය පරිපාලනය පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම් දෙක වේ. එම වගකීම් දෙකම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ක්‍රියාකර ඇත්තේ /ක්‍රියා කරන්නේ ඉතාමත් වගකීම් විරහිත ආකාරයට බව නැවතත් රටේ උත්තරීතර යැයි පවසන එම ආයතනය අවධාරණය කර ඇත. පාර්ලිමේන්තුව රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳව සංවේදීව කටයුතු නොකරන බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත.

පොලිසියේ වගකීම

සබ්රි මෙහෙයවූ හෝ සම්බන්ධ වූ රත්‍රන් ජාවාරම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිසියට අවශ්‍යතාවයක් නොමැතිද? මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිචාරය කුමක්ද? ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක අදාළ ආංශික අධීක්ෂණ කොමිටියේ වගකීම කුමක්ද? නීතියක් නොමැති රටක් කිසිදා ජනතාව අපේක්ෂා කරන දියුණු තත්ත්වයට පත් නොවන බව අවධාරණය කළ යුතුය. ශ්‍රී ලංකාව බංකොළොත් බව නිල වශයෙන් පිළිගෙන ඇති තත්ත්වය තුළ තවදුරටත් අදහාගත නොහැකි ජාවාරම්වලට ඉඩ දීම සහාසික අපරාධයකි. රේගුව හරහා රහසින් රත්‍රන් ඇතුළු වටිනා භාණ්ඩ පිට කිරීමට උත්සහ කළ කිසිදු පුද්ගලයකු /කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය නොකරන්නේ ඇයි ? රේගුව හෙළි කර ගන්නා ජාවාරම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැතිද? එසේ කිරීමට යම්කිසි නීතිමය බාධාවක් තිබේද? එසේ තිබෙනවා නම් එම තත්ත්වය වෙනස් කිරීමට පාර්ලිමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ගය කුමක්ද? සබ්රි මන්ත්‍රීවරයා කළ වංචාව මෙන්ම පාර්ලිමේන්තුවේ නපුංසක ක්‍රියාකලාපය ජනතාවගේ කෝපයට භාජනය විය යුතුය.

මෑතකදී පත්කළ නව ජාතික පොලිස් කොමිසම ගුවන් තොටුපළ හරහා ක්‍රියාත්මක ජාවාරම් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විමසා බැලිය යුතු නොවේද? රත්‍රන් ජාවාරම්කරුවන්ට /ඕනෑම ජවරම්කරුවකුට යම් දඩයක් පනවා, එම භාණ්ඩ රාජසන්තක කිරීමේ වරදක් නැත. එසේ කළ යුතුමය. නමුත් වැළැක්වූ ජාවාරම සම්බන්ධයෙන් පොලිසිය වහාම විමර්ශනය කළ යුතු නොවේද?

‘ගෝඩා’ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන රටක රත්‍රන් කිලෝ තුනහමාරක් සහ ස්මාර්ට් ජංගම දුරකථන රහසින් පිට කිරීමට උත්සහ කළ මන්ත්‍රීවරයා /එම කණ්ඩායම සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් නොවීම කිසිසේත් අනුමත කළ නොහැක.

ශ්‍රී ලංකාවේ අපූරු තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ රත්‍රන් ජවරම්කරුටත් පොලිස් ආරක්ෂාව ලැබේ. අලි සබ්රි රහීම්ට ද මන්ත්‍රීවරයකු ලෙස පොලිස් ආරක්ෂාව හිමිය. මේ වසරේ මාර්තු මාසයේ සිට රහීම් මන්ත්‍රීවරයා රේගුවේ අත්අඩංගුවට පත්වන තුරු හයවරක් ඩුබායි ගොස් ඇත. මන්ත්‍රීවරයා අත්අඩංගුවට පත්වූයේ ඩුබායි ගොස් හයවන වරට නැවත රටට ඇතුළුවන අවස්ථාවේදීය. වංචාවට හසු වූවාට පසුව ඔහු තව එක වරක් ඩුබායි දේශය බලා ගුවන්ගත විය.

රහීම්ගේ ජාවාරම සම්බන්ධයෙන් දේශපාලනික විමසීමක් කළ යුතුමය. රුපියල් මිලියන 78.2 පමණ වටිනා රත්‍රන් සහ ස්මාට් ජංගම දුරකථන තොගයක් අහිමිකරගත් රහීම් රුපියල් මිලියන 7.4 දඩයකුත් ගෙවීමෙන් පසුව අපූරු හෙළිදරව්ක් කළේය. ඒ තමන් අත්අඩංගුවට පත්වීමෙන් පසුව ජනාධිපති ලේකම් සමන් ඒකනායක හරහා රනිල් වික්‍රමසිංහගේ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ මැදිහත්වීමක් බලාපොරොත්තු වූ බවයි.

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමා වෙනුවෙන් මැදිහත් නොවීම නිසා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව තමන් ඡන්දය පාවිච්චි කළ බව රහීම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත. රහීම් මන්ත්‍රීවරයා ආණ්ඩුවේ නිසැක මැදිහත්වීම බලාපොරොත්තු වන්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට (ඔක්තෝබර් 2020) සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස තෝරා පත් කර ගැනීමට (ජුලි 2022) ඡන්දය දුන් නිසාය. මන්ත්‍රීවරයා සහ ආණ්ඩුව අතර තිබූ ගනුදෙනුව කුමක්ද?

පාර්ලිමේන්තු අවුල

මන්ත්‍රීවරයාගේ රත්‍රන් ජාවාරම හෙළිදරව් වූ පසුව ඔහු කළ ප්‍රකාශ අවධාරණය කරන්නේ පාර්ලිමේන්තුව හරහා ක්‍රියාත්මක සමස්ත පක්ෂ ක්‍රමය බිඳ වැටී ඇති බවයි. ඡන්දයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරු පක්ෂ නායකත්වයට පිටතින් දේශපාලන බලය ගොඩනඟා ගෙන ඇති ආකාරය හිරිකිතය. ප්‍රධාන දේශපාලන පක්ෂ අනෙකුත් කණ්ඩායම් අතර ඇතිකර ගන්නා ගිවිසුම්වල අවිනිශ්චිතභාවයයි.

පුත්තලමට රහීම් ඉදිරිපත් කළ රිෂාඩ් බදුයුදීන්ගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය හරහාය. තමන් රිෂාඩ් බදියුදීන් ගේ පක්ෂය සමඟ සන්ධානගත වීම සඳහන් නොකර රහීම් මන්ත්‍රීවරයාට එරෙහිව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත හඬක් නඟයි. පාර්ලිමේන්තුවම එකම ගනුදෙනුවකි. එම තත්ත්වය අවබෝධ කර නොගෙන එජාපයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම තේරුම්ගත නොහැක. රහීම් මන්ත්‍රීවරයා එම ගනුදෙනුවේ කොටස්කරුවකු වී ඇත. නිසියාකාර පොලිස් පරීක්ෂණයක් සිදු කළානම් රත්‍රන් ජාවාරම ආරම්භවූ දිනය සහ එය වේගවත් කළ ආකාරය හෙළිකරගත හැකි නොවේද?

මේ වසරේ මාර්තු මාසයේ සිට අද වනතුරු හත්වරක් ඩුබායි බලා මන්ත්‍රීවරයා ගුවන්ගත වීම අවධාරණය කරන භයානක ප්‍රවණතාවය පාර්ලිමේන්තුව අවබෝධකර ගත යුතුය. ඇත්තටම අබමල් රේණුවක ලැජ්ජාවක් තිබෙනවා නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරියකුට ආණ්ඩුව පාර්ලිමේන්තුව ….. ආරාධනා කරන්නේ නැත. කිසිදු වටිනාකමක් නොමැති මෙවැනි විකාර මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ කාගේ අවශ්‍යතාවයකටද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් මූල්‍ය පහසුකම් සපයන ආයතන මෙන්ම ඉන්දියාව, චීනය සහ ජපානය වැනි ණය හිමියන්ද විධායකය සහ ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුය. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ක්‍රියාත්මක ජාවාරම් ලෝකයට අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව බංකොළොත් කළ සමස්ත ක්‍රියාදාමය තවමත් එලෙසම ක්‍රියාත්මක බවයි.

රත්‍රන් ජාවාරම හෙළිදරව් වීමට දින කීපයකට පෙර රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මාධ්‍යයේ අවධානයට ලක්වූයේ චීන ජාතිකයකු හොර විදේශීය ගමන් බලපත්‍රයක් (චීන නොවන) මගින් ඇතුළු වීමට කළ උත්සහයක් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව වැළැක් වූ අවස්ථාවේදී ඊට මැදිහත් වීමයි. එම සිදුවීමද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සිදුවිය. රහීම් මෙන්ම අරුන්ධික අමාත්‍යවරයාද පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ එම චීන ජාතිකයාගේ පැමිණීම ඇමෙරිකානු ඩොලර් මිලියන 100-150 ක ආයෝජනයකට අදාළ බැවින් තමන් මැදිහත්වී ඔහුට රට තුළට ඒමට අවස්ථාව ලබා දුන් බවයි. නමුත් එම පුද්ගලයා චීනයට අවශ්‍ය බව චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති තත්ත්වය තුළ ආණ්ඩුව වඩාත් සැලකිල්ලෙන් කටයුතු කළ යුතුව ඇත.

ඉහත සඳහන් කළ සිදුවීම් දෙක ඇතුළුව මැති ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ගම්පහ උඩුගම්පොල පැවති උත්සවයකදී ආණ්ඩුවේ ප්‍රධාන සංවිධානයක ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගෙන් විමසීය. නමුත් අමාත්‍යවරයා පසුගිය වසරේ කොළඹ මහාධිකරණයෙන් ව්‍යාපාරික ජී. මෙන්ඩිස් නමැත්තාට තර්ජනය කිරීම සහ රුපියල් මිලියන 64 කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරු කර ඇති තත්ත්වය තුළ සමස්ත පාර්ලිමේන්තුවේ විශ්වාසනීය බව පිළිබඳව ප්‍රශ්නයක් තිබේ. වසර දෙකක සිර දඬුවමක් වසර පහකට අත්හිටුවූ කොළඹ මහා අධිකරණය රුපියල් මිලියන 25 ක දඩයක් සහ රුපියල් මිලියන එකක වන්දියක් ගෙවීමටද නියෝග කළේය.

මිනීමැරීමේ චෝදනාවට රත්නපුර අධිකරණයෙන් 2020 ජුලි වරදකරු කර මරණ දඬුවම පැනවූ ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඉහළ අධිකරණයෙන් නිදහස් වීම සහ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් කොටි ත්‍රස්තවාදියකු වූ පිල්ලෙයාන් නඩු කටයුත්තෙන් නිදහස් වීමද සලකා බැලිය යුතුය. එම දෙදෙනාම අද රාජ්‍ය අමත්‍යවරුය. අලි සබ්රි රහීම් රත්‍රන් ජාවාරමේ යෙදීම අහඹු සිදුවීමක් නොවේ.

මහා බැංකුව දෙවරක් කොල්ලකෑ රටේ ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මැති ඇමැතීන් ඕනෑම අකටයුත්තක් කළ හැකිය. මුර බල්ලන් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු කමිටු වාර්තා අවධාරණය කරන්නේ දූෂණය, වංචා සහ අක්‍රමිකතා ශ්‍රී ලංකා රාජ්‍ය තුළ නිල වශයෙන් පිළිගෙන බවයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment