පැය 10 ක් කපන කථාව බොරු – ඉංජිනේරු සංගමයේ සභාපතිට නීතිය ක්‍රියාත්මක කරනවා

114

දැවිතෙල් හා ඩීසල් බලාගාර පාවිච්චි කරනවා – ඇමැති කංචන විජේසේකර

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ පද්ධති තුනම ජනවාරි මාසයේ පළමු සතියේ වසා දමන බවට හා පැය 10 ක 12 ක විදුලි කප්පාදුවක් සිදුකරන බවට ලංවිම ඉංජිනේරු සංගමයේ සභාපති කළ ප්‍රකාශය අසත්‍ය බවත් එයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඊයේ (21 වැනිදා) පැවැසීය.

කොළඹ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය. මුදල් නොමැතිකම නිසා පසුගිය කාලයේ දී ඉන්ධන, දැවිතෙල්, නැප්තා, ගල්අඟුරු ගෙන්වා නොගැනීම නිසා බලාගාරවල කටයුතු නිසි පරිදි කරගෙන යාමට නොහැකිවූ බවද ඇමැතිවරයා කීය.

දැවිතෙල් හා ඩීසල් බලාගාර පාවිච්චි කරන බවද පැවැසීය. එනිසා ගල්අඟුරු බලාගාරයේ විදුලිජනන පද්ධති තුනම එකවර නතර කිරීමට බලාපොරොත්තු නොවන බවත් එවැනි අවශ්‍යතාවක් නොමැති බවත් විජේසේකර මහතා කීය.

ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා කළ එම බරපතළ ප්‍රකාශවලට එරෙහිව විනය හා නීතිමය පියවර ගන්නා බවත් ඒ සඳහා නීතිපති උපදෙස් ද ලබාගන්නා බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා කියා සිටින්නේ දැනට ඇණවුම් කර තිබෙන ගල්අඟුරු නෞකාව 06 වැනිදා මෙරටට ළඟාවනු ඇති බවයි. තවත් නැව් හයක් ඇණවුම් කර ඇතැයිද එම නැව් හයෙන් තුනකට ගල්අඟුරු සමාගමෙන් මුදල් ලබාදී ඇතැයිද ඔහු කීවේය.

අමාරුවෙන් ඉස්සරහට යන වෙලාවක කවුරු හෝ කියා ඇත්නම් ගල්අඟුරු ඇණවුම් කර නැතැයි කියා එය වැරදි ප්‍රකාශයක් යැයිද සුමනසේකර මහතා සඳහන් කළේය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment