ලොකු වාරි ව්‍යාපෘති 9ක ප්‍රගතිය බඩ ගායි

121

වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 09ක් අතුරින් ව්‍යාපෘති 07ක ප්‍රගතිය සියයට 0 සිට සියයට 13.16ක අවම මට්ටමක පැවති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම ව්‍යාපෘති සඳහා ඉකුත් වර්ෂය තුළ රුපියල් මිලියන 203,159ක වියදමක් දරා තිබුණි. එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පැවැති දුර්වල කළමනාකරණය හේතුවෙන් සැලසුම් කළ පරිදි නිම කිරීමකින් තොරව එකී ව්‍යාපෘති අත්හැර දැමීමට සිදුව ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වෙයි.

මෙකී ව්‍යාපෘති 09 සඳහා ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 333,569ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 690ක් විය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතින් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ නිර්දේශ ප්‍රකාරව අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් 2023 ජනවාරි මස 13 වැනිදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත්කොට තිබූ ලිපියට අනුව 2023 වර්ෂයේ සිට මෙකී ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට තීරණය කොට ඇති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙකී ව්‍යාපෘති අතුරින් තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය, දෙමටගල්ල හා කුඩාවිලච්චිය වැව් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, ගිං නිල්වලා හැරවීමේ ව්‍යාපෘතිය, කුඹුක්කන් ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති යන ව්‍යාපෘති සඳහා මෙතෙක් දරා ඇති පිරිවැයෙන් මේ දක්වා ජාතික ආර්ථිකයට කිසිදු දායකත්වයක් ලැබී නොතිබුණි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment