මණ්ඩලය විසිරෙව්වත් ගුරු මාරු දිගටම

70

විදුහල්පතිවරුන්ගෙන් ජනපතිට පැමිණිල්ලක්

ගුරු මාරු මණ්ඩලය විසුරුවා හැරිය ද ගුරු මාරු වැඩපිළිවෙළ එලෙසම නැවත ක්‍රියාත්මක වන බව කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (19 දා) පැමිණිලි කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරියේ ඉකුත් මාසයේදී ය. ජනාධිපතිගේ එම නියෝගය ද නොතකමින් ගුරු මාරු වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ජාතික පාසල් විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ සඳහන් වේ. එම නිසා ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ගුරු සංගම්වලට අවශ්‍ය පරිදි ගුරු මාරු ක්‍රියාත්මක වීම නිසා ජනාධිපතිගේ මැදිහත් වීමෙන් ගුරු මාරු මණ්ඩලය අහෝසි කොට ගුරු මාරු අවලංගු කරනු ලැබූ නමුත් තවමත් පෙර ක්‍රියාදාමය සිදුවෙමින් පවතින බව ජාතික පාසල් විදුහල්පතිවරුන් කළ පැමිණිල්ලේ සඳහන්ය.

මෙලෙස සිදු වන ගුරු මාරුවීම් කිසිදු පිළිගත හැකි නිර්ණායකයන්ට යටත්ව ක්‍රියාත්මක නොවන බව ද විදුහල්පතිවරුන් කියා ඇත. කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර ඇත.

මේ වන විට පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් වීම සහ අ.පො.ස සා.පෙළ විභාගය අවසන් නොවීමත් යන කාරණය සලකා ගුරු මාරු කල් දමන ලෙස ප්‍රධාන පාසල් ගණනාවක විදුහල්පතිවරුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිය ද ඒ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් නැතැයි විදුහල්පතිවරුන් ජනාධිපතිවරයාට කළ පැමිණිල්ලේ දැක්වේ.

ජාතික පාසල් විදුහල්පතිවරුන් මෙම කරුණු දක්වා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමිනි.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment