ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීම තනිකර ප්‍රෝඩාවක් – එස්. එම්. මරික්කාර් (සජබ)

195

අපි අදත් ගිහින් ඇමැති ධුරයේ වැඩ කළා – කාංචන විජේසේකර (ශී‍්‍රලපොපෙ)

විපක්ෂයේ මන්තී‍්‍රවරු ඊයේ (08දා) දිනයේදීත් පාර්ලිමේන්තුව තුළදී වත්මන් ජනතා උද්ඝෝෂණ වලට එකම විසඳුම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම බව යැයි කියමින් අදහස් ප‍්‍රකාශ කළහ.

එහිදී අදහස් පළ වූයේ මෙසේය.

අශෝක් අබේසිංහ මහතා (සජබ) – මේ රටේ ආර්ථික අර්බුදය හැදුවේ මේ ආණ්ඩුව නැතුව වෙන කවුරුත් නොවෙයි. එන ආණ්ඩුවකටවත් වැඩ කරන්න බැරි තත්ත්වයට එය පත් කරලා. ඒ නිසා ඒ අය හදපු අර්බුදය එයාලම විසඳන්න ඕන. ඒක ජනතාව කියනවා. රාජපක්ෂලා නැති ආණ්ඩුවක් ඕන. එහෙම ආණ්ඩුවකින් මේ ආර්ථික අර්බුදය විසඳන්න පුළුවන්.

අජිත් මාන්නප්පෙරුම (සජබ) – මේ රට හොඳට තිබුණා. බඩු තිබුණා. පෝලිම් තිබ්බේ නෑ. ජනතා මතයට ආණ්ඩුව කන් දෙන්නේ නෑ. පොහොර ප‍්‍රශ්නය විසඳන්න කිව්වා. කළේ නෑ. අපිත් මේ රට හදන්න අත් දෙකම උස්සලා සහාය දෙන්න කැමතියි. අපි ලැහැස්තියි රට වෙනුවෙන් එන්න. හැබැයි ජනාධිපති ගෙදර යන්න ඕන. රාජපක්ෂ පවුල රට පාලනයෙන් ඉවත් වෙන්න ඕන. මේ සොරකම් කරපු සල්ලි ටිකත් එකතු කරගන්න ඕන.

හේෂා විතානගේ මහතා (සජබ) –

ආණ්ඩුවේ මන්තී‍්‍රවරුන්ට විවිධ ප‍්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් ගමට යන්න බැරි ප‍්‍රශ්න. ඒ මන්තී‍්‍රවරු පව්. මේ වත්මන් තත්ත්වය තුළ හෙට ජනතාව කොළඹට එනවාලූ. ජනාධිපතිට මේක තේරෙන්නේ නැත්නම් ඔහුට විරුද්ධව රටම ඉන්නවා කියලා, කථානායකතුමා හරි ඉදිරි ආරක්ෂාව පිළිබඳ වටපිටාවක් හදන්න. නැතුව තමාගේ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් මේ පාර්ලිමේන්තු කාලය පාවිච්චි කරන්න දෙන්න එපා.

චමින්ද විජේසිරි මහතා (සජබ) –

දැන් නියෝජ්‍ය කථානායක තුමා අස්වුණාලූ. මොකද ඒ අයට ගමේ යන්න බෑ. අද වෙනතුරු මේ ඇමැති මණ්ඩලය ඉල්ලා අස්වෙලා නෑ. නමුත් අයින් වුණ ලෙස හැසිරෙනවා. ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්නෙත් නෑලූ. ඒ දෙන්නා අස්වෙන්නේ නැතුව මේ ප‍්‍රශ්නය විසඳන්න බෑ. ඒ හයිය කථානායක තුමා දෙන්න.

නලින් බණ්ඩාර මහතා (සජබ) –

මේ තත්ත්වය දැන් බරපතළ තත්ත්වයකට ඇවිත්. දැන් සංචාරක කර්මාන්තයට හතර වැනි සුනාමිය ඇවිත්. මේකට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. ඔහු සිටින තුරු අපේ ආර්ථිකය පස්සට යනවා. මේක වළක්වා ගන්න එකම ක‍්‍රමය ඔහු ඉවත්වීම. ජනාධිපති ඊයේ අපි කවුරුත් නැති වෙලාවේ මේ සභාවට ඇවිත් ගිහින්. අපි හිටියා නම් අපි කියනවා යන්න කියලා. පුළුවන් නම් අද විනාඩි 5 කට එන්න කියන්න. ඒ වගේම ඔබතුමාටත් අයිතියක් තිබෙනවා අසුන් පැනවීම ගැන පාර්ලිමේන්තුවේ. මේක තනිකර විකෘතියක්. කැබිනට් අමාත්‍යවරු 03යි ඉන්නේ. පාර්ලිමේන්තු ආසන පැනවීම විකෘත්තියක්. ජනාධිපති ඉවත්වීම වගේම ඒ විකෘතියත් ඉවත් කරන්න.

එස්. එම්. මරික්කාර් මහතා (සජබ) –

කැබිනට් ඇමැතිවරු ඉල්ලා අස්වෙලා නම් ඒ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙන්න ඕනැ. ඒත් ඒ අය ඒ නිල වාහනවලින් එනවා, ආරක්ෂාව තිබෙනවා, නිල නිවාසවල ඉන්නවා. උදාහරණයක් ලෙස සංචාරක ඇමැති ඉල්ලා අස්වුණා නම් ඔහු පත්කළ දේශපාලන පත්වීම් ඉවත් වෙන්න ඕනෑ. නමුත් ඒ අය වැඩ. මේක තනිකර ප්‍රෝඩාවක්. මේ අය ඇත්තටම ඉල්ලා අස්වෙලා නම් නිල වශයෙන් ඒ බව පෙන්විය යුතුයි.

ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා – ඇමැතිවරු ඉල්ලා අස්වූ බව ගැසට් කරලා තිබෙනවා. මේ අසුන් පැනවීම ගැන කථානායකතුමයි තීරණය කරන්නේ. වාහන, නිල නිවාස භාර දුන්නාද කියලා ප‍්‍රශ්නයක් යොමු කරලා අසන්න

මුජිබර් රහුමාන් මහතා (සජබ) –

දැන් ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නෑ. සිංහල අලූත් අවුරුද්දත් එනවා. ජනාධිපතිට ගෙදර යන්න කියනවා. ඇමරිකාවේ ඉන්න අය කියනවා ගෙදර එන්න කියලා. ඒ නිසා කථානායකතුමා හරි කියන්න එතුමාට යන්න කියලා. නැත්නම් රට තවත් අගාධයට යනවා.

කාංචන විජේසේකර මහතා (ශී‍්‍රලපොපෙ) –

ජනාධිපතිතුමා එන බව දැනගෙන විපක්ෂයේ මන්තී‍්‍රවරු හැංගුණා. ඒක තමයි ඇත්ත කතාව. ජනාධිපතිට සහාය තිබෙනවා. විපක්ෂයේ අය එදා දින 52 ආණ්ඩුව කාලේ කිව්වේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියලා. දැන් කියනවා ජනාධිපතිව අස්කරන්නලූ. ජනාධිපතිතුමා අවස්ථාව දුන්නා කැමති කැබිනට් ඇමැති මණ්ඩලයක් පත්කර ගන්න. නමුත් මේ අයට එහෙම කරන්න බෑ. මන්තී‍්‍රවරු නෑ. අපි ඒ නිසා ආණ්ඩුව විදිහට කටයුතු කරනවා. ආණ්ඩුව විදිහට අපි අදත් ගිහින් ඇමැති ධුරයේ වැඩ කළා. අපි ලබන සතියේ කැබිනට් මණ්ඩලය පත් කරනවා. ඒ ගැන සැකයක් තියාගන්න එපා.

හර්ෂණ රාජකරුණා මහතා (සජබ) –

මීට කලින් දවසකත් ජනාධිපතිතුමා ඇවිත් තිබෙනවා. අපි කියනවා පුළුවන් නම් මෙතැනට ඇවිත් කතා කරන්න කියන්න. ජනතාවට ප‍්‍රශ්න තිබෙනවා. ඔය කියන කතා පුළුවන් නම් පෙට‍්‍රල් පෝලිමකට ගිහින් කියන්න.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා – මේ සියලූදෙනාම එකම දේ කියන්නේ. අපි සභාවේ කටයුතුවලට යමු. විවාදය ආරම්භ කරමු.

ගයන්ත කරුණාතිලක මහතා (සජබ) –

ජනාධිපතිතුමා එන හින්දා අපි පැනලා ගියේ නෑ. අපේ පක්ෂයේ උද්ඝෝෂණ මාලාවක් තිබෙනවා. ඒකටයි අපි ගියේ. මේ ප‍්‍රශ්නවලට එකම විසඳුම ක්ෂණික විසඳුම ජනපති ඉල්ලා අස්වීම.

හරින් ප‍්‍රනාන්දු මහතා (සජබ) –

මේ පාර්ලිමේන්තුව ජනතාවට කන්දෙන්න කැමැති නෑ. ඒ නිසා උද්ඝෝෂණ තව තවත් කරන්න කියලා අපි කියනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment