විල මැද සටනේ තීන්දුව අද  – අටවැනි විධායක ජනපති කවුද?

295

සජිත් ඉවත් වෙයි

රනිල්ගේ නම පොහොට්ටුවෙන් –  ස්ථිර කිරීම සජබයෙන්

ඩලස්ගේ නම සජබයෙන් –  ස්ථිර කිරීම පොහොට්ටුවෙන්


මෙරට දේශපාලන ඉතිහාසයට ඓතිහාසික සිදුවීමක් එක් කරමින් ශ්‍රී ලංකාවේ අටවැනි විධායක අනුප්‍රාප්තික ජනාධිපති තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තුවේදී අද (20දා) පෙරවරු 10.00ට ආරම්භ කෙරේ.

මැතිවරණයකින් ජනාධිපතිවරයකු තේරා පත්කර ගැනීම වෙනුවට පාර්ලිමේන්තුව මගින් නව ජනපති තෝරා ගැනීම මෙම ඓතිහාසික සිද්ධියයි. ඒ අනුව නව ජනපති තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම ඊයේ සිදුවූවේ තවත් ආන්දෝලනාත්මක සිද්ධි කිහිපයක්ද එක් කරමිනි.

එහිදී වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම, අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ නම් නිසි පරිදි යෝජනා ස්ථිරත්වයෙන් ඉදිරිපත්වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම නිසා වැඩ බලන ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගත යුතු වේ.

ඊයේ ප්‍රථමයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්විය.

ඉන් පසුව ඊයේ ප්‍රමුඛතම සහ ඓතිහාසික කාර්යය වූවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයතු තෝරා ගැනීම සම්බන්ධයෙන් නිවේදනය සහ ඊට අදාළ කාර්යය ඉටු කිරීම සඳහා තේරීම්භාර නිලධාරියා ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා වෙත බලය පවරා අවස්ථාව සලසා දීමයි. මහ ලේකම්වරයා අසුනින් නැඟිට නව ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා මන්ත්‍රීවරුන් අනුගමනය කළ යුතු නීත්‍යානුකූල පියවර සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් අදාළ අනුපිළිවෙළ සභාවට දැන්වීය.

ඒ අනුව ජනාධිපතිවරයකු තෝරා ගැනීමට අදාළ නාමයෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය. එහිදී එතෙක් ජනපති සටනේ ප්‍රධාන අපේක්ෂකයකු ලෙස සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැඟිට සියල්ලන් විමතියට පත් කරමින් සිය නියෝජිතයා ලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් එම නම ස්ථිර කරනු ලැබිණ.

අනතුරුව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැඟිට සිය යාබද අසුනෙහි සිටි වත්මන් වැඩ බලන ජනාධිපති සහ සිය පාසල් මිතුරා ද වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඉතා සතුටින් යෝජනා කරන බව දැන්වූ අතර හිටපු ඇමැති මනූෂ නානායක්කාර මහතා එම යෝජනාව ස්ථිර කළේය.

මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඒ සඳහා නැඟී සිටින විට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඔහුට විරෝධය එල්ල වූ අතර කථානායකවරයා මැදිහත්ව එය පාලනය කිරීමට ක්‍රියා කළේය.

ඉන් පසුව තවත් නම් තිබේදැයි මහ ලේකම්වරයා විමසීමට පෙර ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නම විජිත හේරත් මහතා විසින් යෝජනා කළ අතර ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය යෝජනාව ස්ථිර කළාය.

ඩලස් අලහප්පෙරුම, රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක යන මහත්වරුන් ඒ වන විට සභාවේ අසුන් ගෙන සිටි අතර ජනාධිපති ධුරයෙහි වැඩකටයුතු කරගෙන යෑමට කැමැත්ත ප්‍රකාශ කරමින් අදාළ ලිපිද ලබා දී ඇති නිසා එම යෝජනා නීත්‍යානුකූල ලෙස සම්මත වූ බව දැන්වූ මහ ලේකම්වරයා ඒ සඳහා නියමිත පරිදි ඡන්දය විමසීමට කටයුතු කිරීම සඳහා අද (20දා) දින වෙන් කරනු ලැබිණි.

පසුව සභාවේ කටයුතු නිමා කළ අතර මේ සඳහා ගතවූයේ විනාඩි 10ක වැනි සුළු කාලයක් වීම විශේෂත්වයක් විය.

මෙම ඡන්ද විමසීමේදී වැඩිම ආසන ප්‍රමාණයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළද එහි සභාපති විපක්ෂයේ නියෝජිතයා වූ ඩලස් අලහප්පෙරුම මහතාගේ නම ස්ථිර කිරීම මත එම පක්ෂයේ බරපතළ බෙදීමක් ඇතිවී තිබෙන බව පැහැදිලි වෙයි. මෙම ඓතිහාසික ඡන්ද විමසීම අද පෙරවරු 10.00 ට ආරම්භ වන පාර්ලිමේන්තු රැස්වීමේදී සිදුවන අතර මන්ත්‍රීවරුන් ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර තේරීම් භාර නිලධාරියා (පාර්ලිමේන්තු මහ ලේකම්) විසින් හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ඒවාට මුද්‍රා තැබීම සිදුකෙරේ.

මෙම ඡන්ද විමසීමේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවීම විශේෂත්වයක් වේ.

මේ අනුව ඡන්දය දීම ආරම්භ කළ විට තේරීම් භාර නිලධාරියා ලෙස කටයුතු කරන මහ ලේකම්වරයා විසින් කථානායක ද ඇතුළු එක් එක් මන්ත්‍රීවරයාගේ නම අඬගසනු ලැබේ. එවිට එම මන්ත්‍රීවරයා තේරීම් භාර නිලධාරියාගේ මේසය වෙත ගොස් ඡන්ද පත්‍රිකාවක් ලබාගත යුතු අතර එම මන්ත්‍රීවරයා ඉදිරියේදීම තේරීම්භාර නිලධාරියා ඡන්ද පත්‍රිකාවේ පසුපස තම මුලකුරු සමග කෙටි අත්සන යෙදීම සිදු කෙරේ.

ඉන්පසු ඡන්ද පත්‍රිකාව ලබාගත් මන්ත්‍රීවරයා සභා ගර්භයේ මැද සකස් කර ඇති කුටියට ගොස් ඡන්ද පත්‍රිකාව ලකුණු කොට තේරීම් භාර නිලධාරියාගේ කෙටි අත්සන පෙනෙන ලෙස නවා තේරීම් භාර නිලධාරියාගේ මේසය මත ඇති පෙට්ටියට දැමිය යුතුය.

එක් මන්ත්‍රීවරයකුට එක් ඡන්දයක් පමණක් හිමි වන අතර ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “1” යන ඉලක්කම යොදා ඡන්දය සලකුණු කළ යුතුය. අපේක්ෂකයන් කිහිපදෙනකු සිටින බැවින් දෙවැනි මනාපයද සලකුණු කිරීමට අවස්ථාව සැලසේ. ඒ අනුව අනෙකුත් ඡන්ද අපේක්ෂකයන්ගේ නම් ඉදිරියේ ඇති කොටු තුළ 2,3 ආදී ලෙස මනාපයන් අනුපිළිවෙළ අනුව ලකුණු කිරීමට හැකිය.

මේ අතර යම් මන්ත්‍රීවරයකුගේ නම අඬගැසූ විට සමස්ත ඡන්දය දීම අවසන් කළයුතු වෙලාවට පෙර දෙවන වරටත් අඬගසන අතර එහිදී ද එම මන්ත්‍රීවරයා ඡන්දය නොදී සිටී නම් ඔහු ඡන්දය දීමෙන් වැළකී සිටි අයකු ලෙස සැලකේ. ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව එක් එක් අපේක්ෂකයා වෙනුවෙන් සටහන් කරනු ලැබූ මනාප සංඛ්‍යාව ගණන් කිරීම සිදුවේ. ඡන්දය ගණන් කරන ස්ථානයට යම් අපේක්ෂකයකු පැමිණීමට කැමති නම් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිවන අතර නැතහොත් තමා නියෝජනය කිරීමට වෙනත් මන්ත්‍රීවරයකු එම ස්ථානයට පත්කිරීමට එම අපේක්ෂකයාට හැකියාව පවතී.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයකු ලබා ගන්නේ නම් එම අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගනු ලැබූ බව මෙහිදී තේරීම් භාර නිලධාරියා එනම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා නොපමාව ප්‍රකාශයට පත් කරනු ඇත.

දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිම අපේක්ෂකයකු ලබා නොමැතිනම් මෙම කටයුතු ටිකක් දීර්ඝ වේ. එවිට අඩුම ඡන්ද සංඛ්‍යාවක් ගත් අපේක්ෂකයා තරගයෙන් ඉවත් කෙරෙන අතර එසේ තරගයෙන් ඉවත් කළ අපේක්ෂකයාට පළමු මනාපය ලෙස ඡන්දය දුන් එක් එක් මන්ත්‍රීවරයාගේ දෙවන මනාපය ඇති නම් ඒවා අදාළ අපේක්ෂකයාට එකතු කිරීම සිදුවේ.

මෙහිදී අපේක්ෂකයන් දෙදෙනකු හෝ කිහිපදෙනකු ලැබූ ඡන්ද සමාන වුවහොත් තේරීම් භාර නිලධාරියාගේ පරම අභිමතය පරිදි කුසපත් ඇදීමක් මගින් නව ජනාධිපති තෝරා ගැනේ.

එසේම ජනාධිපතිවරයා තෝරා ගැනීමේ සිට දින තුනක් ඇතුළත අපේක්ෂකයාගේ නම මහලේකම්වරයා විසින් ගැසට් පත්‍රයේ පළ කළ යුතු වේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment