වරාය නගරයෙන් දිරිගැන්වෙන ආර්ථික පරිවර්තනය

287

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ආසියානු කලාපය ඇතුළත විශාල සහ වේගයෙන් සංවර්ධනය වන පාරිභෝගික වෙළෙඳපොළවල් කිහිපයකට සමීප වීම එය ගෝලීය ආයෝජකයින් සඳහා පමණක් නොව තමන් ‘ගෝලීය පුරවැසියන්’ ලෙස සලකන අයට පවා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කරයි.වඩාත් තරගකාරී සහ ඩිජිටල් දියුණු අනාගතයක් කරා ගෙන යෑමට මේ වන විට ශ්‍රී ලංකා රජය ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමටත්, තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ නවෝත්පාදනය දිරිමත් කිරීම මගින් සිය ඩිජිටල් ආර්ථික කටයුතු ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා – චීන ව්‍යාපාර සහයෝගිතා කවුන්සිලය විසින් සංවිධානය කළ ව්‍යාපාර සමුළුවක් පසුගියදා (05) කොළඹ ගලධාරි හෝටලයේ දී පැවති අතර එහි තේමාව වූයේ ‘වරාය නගරය : ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය දිරි ගැන්වීමට’ (‘port city : Propelling Sri Lankas Economic Take Off’) යන්නයි. මෙම තේමාව යටතේ සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වන ලද්දේ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසිනි. වරාය නගරය වූ කලී මෙරට බොහෝ කතාබහට ලක් වූ මෙන්ම බොහෝ විවේචනවලට ලක් වූ ව්‍යාපෘතියකි. පසුගිය යහපාලන රජය විසින් එය තාවකාලිකව අත්හිටුවීම ද සිදු විය. එය පසුව නැවත ක්‍රියාත්මක වූ අතර ඒ නිසා අපට අවාසියක් සිදු බව ද රහසක් නොවේ. මේ පසුබිම තුළ මේ ව්‍යාපෘතියේ අනාගත ආර්ථික ප්‍රතිලාභ මොනවා ද යන්න අප හඳුනා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය. මේ අනුව කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරටට ආර්ථිකමය වශයෙන් කෙතරම් වැදගත් ද යන්න සහ එහි අනාගත විභවතා ගැන අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා සිදුකළ එම දෙසුමේ වැදගත් කරුණුවල සාරාංශයකට මෙවර ‘ආර්ථික ඇසින්’ තීරුව වෙන් වේ.

වරාය නගරයෙන් දිරිගැන්වෙන ආර්ථික පරිවර්තනය

ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති

ශ්‍රී ලංකා ආර්ථිකයට අදාළ ප්‍රධාන වර්ධනයන් ද ගෙනහැර දක්වමින් නැගී එන කොළඹ වරාය නගරයේ සන්දර්භය සහ ආර්ථිකයේ අපේක්ෂිත ගමන්මග ගැන සඳහන් කිරීමට හැකි වීම ගැන මම සතුටු වෙනවා. දිගුකාලීන ද්විත්ව හිඟයන් සහ අත්‍යවශ්‍ය වර්ධනයට අනුබල දෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අඛණ්ඩ ප්‍රමාදයන් විසින් මෙහෙයවනු ලබන ගැටලු නිසා දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික උරුමය සමග පොරබදමින් සිටී. අඩු ආදායම් තත්ත්වය නිසා පැන නගින ණය සේවාකරණ අභියෝග හේතුවෙන් සහ විශේෂයෙන්ම පසුකාලීනව කොවිඩ්

-19 ට පසුව රටට විදේශ විනිමය ගලා ඒම සිඳී යෑම නිසා මෑත කාලයේ දී වසර ගණනාවක් තිස්සේ නොගෙවූ රජයේ ණය අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබෙනවා. මූල්‍ය වෙළෙඳපොළවල් සඳහා ඇති සීමිත ප්‍රවේශය හේතුවෙන් සියලු ආර්ථිකමය ආරක්ෂිතයන් ක්ෂය වීමෙන් කල් පිරෙන විදේශ ණය ගෙවීමට ආර්ථිකයට නොහැකි වීමත් සමග, 2022 වන විට ආර්ථිකය දැඩි දුෂ්කරතාවකට ඇද වැටීමට හේතු විය.

කෙසේ වෙතත්, 2022 මුල් භාගයේ සිට ශ්‍රී ලංකාව ආර්ථිකය සඳහා නව පියවරක් ඇරඹූ අතර ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත් අතර එසේම තෝරාගත් විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම නිවේදනය කිරීමෙන් පසුව රජයේ ණය කලඹ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කළා. ඒ සමගම විශාල හා ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් මගින් ආර්ථික අර්බුදයෙන් මිදීමට යොමු වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම සඳහා එහි විධායක මණ්ඩල අනුමැතිය 2023 මාර්තු මාසයේදී ලැබීමෙන් පසුව ණය වැඩසටහනේ පළමු සමාලෝචනය සාර්ථකව නිම වීමෙන් පසු ණය මුදලේ දෙවන වාරිකය ඉතා ඉක්මනින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය තවත් අතිරේක විදේශ මූල්‍යකරණ ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලින් ලබා ගැනීමට ද මඟ විවෘත කරනු ඇත. එය ආර්ථිකයේ විදේශ අංශයේ ආරක්ෂිත තත්ත්වයන් නැවත ගොඩනැඟීමට සහාය වනු ඇත. මීට අමතරව, දේශීය ණය ප්‍රශස්තකරණය සාර්ථකව නිම කළා. ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය හිමියන්ගෙන් මූල්‍යකරණ සහතික ලබා ගැනීමට සමත් වීමත් සමග විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද දියුණු මට්ටමකට පැමිණ තිබෙනවා.

නිවැරදි කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීම නිසා ආර්ථිකයේ ප්‍රමුඛ කාර්යසාධන දර්ශකවලින් ධනාත්මක ප්‍රතිඵල පිළිබිඹු කිරීමට පටන් ගෙන තිබෙනවා.

පවතින සීඝ්‍ර නිර් උද්ධමනය තුළින් ද මෙය පිළිබිඹු වේ. 2022 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ උද්ධමනය එහි උච්චතම අගය වන සියයට 70 සිට වසරකට පසුව, 2023 ඔක්තෝබර් මාසයේදී සියයට 1.5 ක් දක්වා තියුණු ලෙස අඩු වුණා. එසේම අපේක්ෂා කළ පරිදි නොවැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 3.4 දක්වා ඉහළ යෑමක් ද නිරීක්ෂණය විය. සංසන්දනාත්මක ආර්ථිකයන් කිහිපයක් උද්ධමනය පාලනය කිරීමට දිගටම අරගල කරන අතරේ මෙය නිර් – උද්ධමනයක් කරා ආර්ථිකයේ මාවතට සෘජුවම බලපා ඇති වේගවත් හා සැලකිය යුතු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලින් අප ලබාගත් ප්‍රතිඵලයකි. මේ මාර්ගයේ ඉදිරියට යන විට, මධ්‍යයේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති පරිසරය අඩු උද්ධමනය, වෙළෙඳපොළ මත පදනම් වූ විනිමය අනුපාතය, වැඩිදියුණු කළ ණය තිරසාරභාවය සහ මූල්‍ය විනය මගින් ආයෝජන හිතකර පරිසරයක්, සාර්ව ආර්ථික ස්ථායීතාවයක් මෙන්ම ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්මයන් නිර්මාණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂයෙන් පශ්චාත් ගැටුම් යුගයේ සිට ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රගතියෙහි වැදගත් භූමිකාවක් චීනය විසින් දිගින් දිගටම ඉටු කර ඇති බව මේ අවස්ථාවේදී මා අවධාරණය කිරීමට කැමැතියි. මහජන චීන ජනරජයේ සහය ඇතිව අවසන් කර ඇති හෝ සිදු වෙමින් පවතින ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ඇත. ශ්‍රී ලංකා රජය ළඟා වී ඇති පරිදි ණය ප්‍රතිකාරයක ප්‍රධාන මූලධර්ම සහ දර්ශක නියමයන් පිළිබඳ චීන අපනයන – ආනයන බැංකුව සමග එකඟතාවක් ඇති කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උත්සාහයන් සඳහා චීනය ද ප්‍රධාන භූමිකාවක් ඉටු කර ඇත.

ඒ අනුව කැපී පෙනෙන ව්‍යාපෘති කිහිපයක් අතුරින් කොළඹ වරාය නගරය චීනයේ එක් තීරයක් – එක් මාවතක් වැඩසටහන යටතේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස මතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේම කොළඹ වරාය නගරයට ශ්‍රී ලංකාව සූදානම් වන ආර්ථික පරිවර්තනය සඳහා දිරිගැන්වීමේ හැකියාවක් ඇති බව අප විශ්වාස කරනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, අප කවුරුත් දන්නා පරිදි ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාරවලින් සමන්විත ලෝක මට්ටමේ ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමට නියමිතයි. මෙම අභිලාෂකාමී රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන්නක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඉදිරි දශක දෙක තුළ වරාය නගරය සඳහා මූල්‍ය සේවා, නේවාසික, ආගන්තුක සත්කාරය, විවේකය, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රවලට ඇමෙරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජනයක් ලැබෙනු ඇතැයි PwC Sri Lanka විසින් මූලිකව ඇස්තමේන්තු කර ඇත. මෙහි ඉදිකිරීම් කාලයේ දී මෙහි ආර්ථික අගය එකතු කිරීම ඇමෙරිකානු ඩොලර් බිලියන 19.2 ක් වනු ඇතැයි ද එසේම එහි මෙහෙයුම් අදියරවල දී ඇමෙරිකානු ඩොලර් 650 ක පමණ ඒක පුද්ගල ආදායමක් වාර්ෂිකව එකතු වනු ඇති බවට ද අපේක්ෂා කෙරේ.

මෙම විශේෂ ආර්ථික කලාපයේ ආයෝජන පරිසරයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මත කොළඹ වරාය නගරයේ පවතින ව්‍යවස්ථාදායක රාමුව කෙටි කාලයක් තුළ යළි සලකා බැලීමට නියමිතයි. දැනටමත් මේ විශේෂ ආර්ථික කලාපය, ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දිය හැකි ඕනෑම සැලකිය යුතු බාහිර කම්පනයකින් ආරක්ෂා කරන පරිසරයක් වශයෙන් ක්‍රියාත්මක වීමට සූදානම් කර ඇත.

මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදයට මූල්‍යකරණයට එරෙහි ප්‍රයත්නවලට අනුකූල වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ද ප්‍රශංසනීය ප්‍රගතියක් අත්කරගෙන ඇත. මේවා ගෝලීය ආයෝජකයින්ට ඉමහත් වටිනාකමක් ඇති සුවිශේෂී ජයග්‍රහණ බව සටහන් කළ යුතුය.

කොළඹ වරාය නගරය මගින් ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කරන අනෙකුත් සංවර්ධන ක්ෂේත්‍ර වන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය, විවේකය, ආගන්තුක සත්කාරය සහ නේවාසික අවකාශයන්ය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ ආසියානු කලාපය ඇතුළත විශාල සහ වේගයෙන් සංවර්ධනය වන පාරිභෝගික වෙළෙඳපොළවල් කිහිපයකට සමීප වීම එය ගෝලීය ආයෝජකයින් සඳහා පමණක් නොව තමන් ‘ගෝලීය පුරවැසියන්’ ලෙස සලකන අයට පවා ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කරයි.

වඩාත් තරගකාරී සහ ඩිජිටල් දියුණු අනාගතයක් කරා ගෙන යෑමට මේ වන විට ශ්‍රී ලංකා රජය ආර්ථිකය ඩිජිටල්කරණය කිරීමටත්, තාක්ෂණ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, ඩිජිටල් සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ නවෝත්පාදනය දිරිමත් කිරීම මගින් සිය ඩිජිටල් ආර්ථික කටයුතු ශීඝ්‍රයෙන් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාව දැනටමත් තාක්ෂණික සහ විදුලි සංදේශ සේවා ක්ෂේත්‍රයේ කලාපීය මට්ටම අනුව එහි වාසිය කොළඹ වරාය නගරය සේවා මධ්‍යස්ථානයක් ලෙස මතුවීමට සහ එහි පිහිටුවා ඇති ගෝලීය ව්‍යාපාරවල ප්‍රයෝජනය සඳහා හේතුවනු ඇත.

ශ්‍රී ලංකාවට අප රට තුළ පමණක් නොව ලොව පුරා ඩයස්පෝරාව ලෙස ද අතිවිශාල මානව ප්‍රාග්ධනයක් ඇති බව අපි කවුරුත් දන්නවා. කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට ද මෙම කලාපයේ සිටින අයගේ දක්ෂතා සහ ශ්‍රී ලංකාව සතු මෙම සුවිශේෂී වාසියෙන් ප්‍රයෝජනයට ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සාර්ව ආර්ථික දෘෂ්ටිකෝණයකින් සහ ලොව පුරා සාර්ථක විශේෂිත ආර්ථික කලාපවල අත්දැකීම් මත පදනම්ව වරාය නගර ව්‍යාපෘතිය ආර්ථික පරිවර්තනයේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. වෙනත් රටවල මෙවැනි ව්‍යාපෘතිවල අත්දැකීම්වලින් මෙවැනි ව්‍යාපෘති ‘දෙවන හොඳම ප්‍රතිපත්ති විසඳුම’ ලෙස ඵලදායි විය හැකි බව පෙන්වා දී ඇති අතර ආයෝජක නැඹුරු ව්‍යාපාර, නීතිමය සහ විශේෂ ආර්ථික කලාප සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද නියාමන රාමු සහ ගෝලීය හොඳම භාවිතයන් ද අවසානයේ රටේ සමස්ත ව්‍යාපාර පරිසරයට ගලා යෑමට හේතු වනු ඇත.

එබැවින්, ‘ප්‍රතිපත්ති විද්‍යාගාර’ ලෙස ද සේවය කිරීමෙන් ඔවුන්ගේ භූගෝලීය කලාපයෙන් පිටත ව්‍යාපාරික පරිසරයේ පරිවර්තනීය වෙනස්කම් සිදු කිරීමට මෙවැනි විශේෂ ආර්ථික කලාප උපකාරී වී තිබෙනවා. පසුගිය දශක කිහිපය තුළ අනුප්‍රාප්තික රජයන් විසින් ආරම්භ කරන මහා පරිමාණ සංකල්ප කිහිපයක් අප දුටුවා. එහෙත් පෝට් සිටි ව්‍යාපෘතිය මෙන් දැනට පවතින මට්ටමට පැමිණ ඇති බව දැකගත හැකි වී ඇත්තේ ඉන් ස්වල්පයක් පමණයි.

කොළඹ වරාය නගරය සඳහා ශ්‍රී ලංකා රජයට නිශ්චිත දැක්මක් ඇති අතර මෙය මෙරට ආර්ථිකය නවීන, ගතික, ඔරොත්තු දෙන සේවා-නැඹුරු ආර්ථිකයක් බවට පත් කිරීමේ ආර්ථික පරිවර්තනය සඳහා මුල් ගලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශක්තිමත් සාර්ව ආර්ථික මූලධර්ම මගින්, ප්‍රතිපත්ති අනුකූලතාවයට කැපවීම, ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ යහපාලනය මගින් ශ්‍රී ලංකා ආර්ථිකය නව වර්ධන මාවතක ගමන් කරමින් සිටී. ඉදිරි වසර කිහිපය තුළ දැනට පවතින සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ආර්ථිකය ප්‍රතිපල මත ඉහළට ගමන් කරන විට ශ්‍රී ලංකා ආර්ථිකය සංක්‍රමණය වෙමින් පවතින ගමන් පථය තුළ මෙම ඉහළ සහ තිරසාර වර්ධනයට කොළඹ වරාය නගරයෙන් ද පෝෂණය හා ප්‍රතිලාභ ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම සන්දර්භය තුළ, ආර්ථිකය පුරා සිටින සියලුම රාජ්‍ය සහ පෞද්ගලික පාර්ශ්වකරුවන්ට කොළඹ වරාය නගරය වැනි වේගයෙන් මතුවෙමින් හා පරිණාමය වෙමින් පවතින අවස්ථාවන්ගෙන් ප්‍රයෝජනයට ගැනීමට එක්ව කටයුතු කිරීම අවශ්‍ය වේ. අප වටා ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සහ යහපාලනය සහතික කිරීම සම්බන්ධයෙන් ගත් සෑම කුඩා උත්සාහයක්ම ආර්ථික වර්ධනයට සහ ආර්ථික පරිවර්තනයට සහය විය හැක. ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනීය ගමනේ දී පාර්ශ්වකරුවන් වන අප සියලු දෙනාගේ සාමූහික ප්‍රයත්නය සමග කොළඹ වරාය නගරය ද මෙහි ප්‍රධාන පියවරක් විය හැකි බව අපි විශ්වාස කරනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment