සැබෑ දත්ත සැඟවීමෙන් ආර්ථිකය නිවැරදි දිසාවට යොමු කළ නොහැකියි – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

43

ආර්ථික අර්බුධයෙන් ගැලවීමට සැවොම කැපකිරීම් කළ යුතු වුවත් ඒ සඳහා නිවැරදි උපක්‍රම තෝරා නොගැනීම නිසා ආර්ථිකය නැවත නිවැරදි දිසාවකට යොමු කළ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බංකොලොත් රටක පවා නිවැරදි දත්ත සැඟවීම, මූලික නෛතික සීමා නොතකා හැරීම සහ ජනතාව වෙත අනවශ්‍ය ලෙස ආර්ථික පීඩනයන් පනවන බවත් වැට් බදු සියයට 18ට වැඩි කර අසීමිත පීඩනයක් ජනතාව මත පටවා ඇති බවත් මේ යන විදිහට ඉදිරියේදී ශරීරයේ අවයවවලට හෝ වැට් බදු ගැසිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (6 දා) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

විද්‍යාත්මක දත්ත නොමැතිව අයවැයක් සකස් කළ නොහැකි බවත් එබැවින් රටට සත්‍ය තොරතුරු ඉදිරිපත් කළ යුතු බවත් වැට් බද්දක් යනු දුප්පත් මිනිසා සහ පොහොසත් මිනිසා එක හා සමානව ගෙවිය යුතු බද්දක් වුවත් මේ වන විට රෝහල් උපකරණ අත්‍යාවශ්‍ය උපාංග සහ ත්‍රිපෝෂවලට පවා වැට් බදු යොමු කර ඇති බවත්, බදු බර තුන්ගුණයකින් වැඩි කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ අයවැය කතාවේදී 2024 දී අපේක්ෂිත උද්ධමන අනුපාතය සියයට 9.6ක් යැයි පැවසුවත් මහබැංකුව එය සියයට 5ක් යැයි පවසන බවත් මහබැංකුව සහ මුදල් ඇමතිවරයාගේ දත්ත අතර පරස්පරතා දක්නට ලැබෙන බවත් මෙවැනි පරස්පරතා මත ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රට බංකොලොත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව පරිශීලනය කරන ලෙසත් එම තීන්දුව තුළ නඩුව දාපු තිදෙනාගේ පමණක් නොව ලක්ෂ 220කම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සනාථ වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම වැඩි කරත් අධ්‍යාපනයට වෙන් කරන මුදල් අඩු කර ඇති බවත් මේ නිසා ආචාර්යවරු ආදින් බුද්ධිගලනයට ලක්ව ඇති බවත් මේ සියලු දේවල් සිදු කර රජය අවසානයේ ණය ගන්න උත්සාහ කරන බවත් එසේ ගන්නා ණය මතු පරපුර ගෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන් ම අධිකරණ ඇමතිවරයා පැවසූ ආකාරයට රටෙන් හොරා කන ලද මුදල් විදෙස් රටවල ඇති නිසා එම මුදල් නැවත ලබා ගන්නේ කවදාද කියා රජයෙන් ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
රනිල් ධර්මසේන, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment