ව්‍යවස්ථාදායක සභාවට එරෙහි පෙත්සම සලකා බැලීමෙන් අගවිනිසුරු ඉවත් වෙයි

122

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබියදීත් එකී නිර්දේශ ප්‍රතික්ෂේප කිරීමෙන් කථානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව එම විනිසුරුවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරනා තීන්දුවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඊයේ (21දා) ඉවත් විය.

නීතිඥ බී.පී.එන්.එම්. පතිරත්න මහතා විසින් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කුමුදුනි වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ත්‍රීපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ දී කැඳවිණි.

පෙත්සමේ සඳහන් විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට තමා නිර්දේශ කර තිබූ බැවින් ව්‍යවස්ථාදායක සභාවට එරෙහි එම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලන විනිසුරු මඬුල්ල නියෝජනය කිරීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දුන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ලබන 28 වැනිදා තමා නොමැති විනිසුරු මඬුල්ලක් හමුවේදී එම පෙත්සම කැඳවීමට පියවර ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයාට නියෝග කළේය.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment