මත් ඇබ්බැහියත් පරද්දන මාරක වීඩියෝ ක්‍රීඩා

436

යාපනයේ සිසුවා මැරුණේ එවැනි වීඩියෝ විධානයකින්

මත්ද්‍රව්‍ය ගැන නොදන්නා කෙනෙක් ඇතිදැයි සැක සහිතය. එපමණකටම “මතට” ඇබ්බැහි වූ අය ලොව පුරා එමටය. ඒ නිසාම මත්ද්‍රව්‍ය ගැන විශාල කතාබහක් ඇතිවී තිබේ. එහෙයින්ම මතට ඇබ්බැහිවූ අයෙක් හඳුනාගැනීමට තරම් සමාජය දැනුවත්ය. මත්ද්‍රව්‍ය “වර්ග” ගැන සමාජයේ බොහෝ දෙනා දැනුවත්ය.

එහි විපාක ගැන දැනුවත්ය. එහෙත් මතට තරම්ම සමාජයේ තරුණ කොටස් ලෙහෙසියෙන්ම ඇබ්බැහි වන “මාරක වීඩියෝ ක්‍රීඩා” ගැන සමාජය එතරම්ම දැනුවත් නැත. පසුගිය සතියේ පරිගණක ක්‍රීඩාවක විධානයන්ට බිය වී යාපනය, කිලිනොච්චි සරසවියේ විසි දෙහැවිරිදි සිසුවෙක් සියදිවි නසා ගැනීමේ සිදුවීම අපට පෙන්වා දෙන්නේ එම නොදැනුවත්කමේ විපාකයයි. ඇබ්බැහි වන සුළු මාරක වීඩියෝ ක්‍රීඩා ජීවිත බිලිගත් පළමු අවස්ථාව මෙය නොවේ. එමෙන්ම ජීවිත අඩාල කළ අවස්ථාව ද මෙය නොවේ.

ඉන්දියාවේ 16 හැවිරිදි තරුණයෙක් පසුගිය වසරේ තම පියාගේ පිස්තෝලය සොරකම් කර මව මරා දැම්මේ පබ්ජී වීඩියෝ ක්‍රීඩා කිරීම නවත්වන්නට බලකළ නිසාය. 2015, 2016 වර්ෂවලදී ද බ්ලූවේල් ක්‍රීඩාව නිසා රුසියාව, ඇමෙරිකාව, ඉන්දියාව ආදී රටවල් තරුණ ජීවිත දෙසීයකට ආසන්න ගණනක් බිලි ගත්තේය.

මොකක්ද මේ බ්ලූ වේල්

මත් ඇබ්බැහියත් පරද්දන මාරක වීඩියෝ ක්‍රීඩා

බ්ලූ වේල් ක්‍රීඩාව දින පනහක් තිස්සේ කෙරෙන ක්‍රීඩාවකි. එක් දිනයකට එක ක්‍රියාකාරකමක් ලෙස කෙරෙන මේ ක්‍රීඩාවේ අවසාන ක්‍රියාකාරකම සියදිවි නසා ගැනීය. මේ මාරක ක්‍රීඩාව මෙහෙයවන පුද්ගලයන් (ඇඩ්මින්ඩන්වරු – admin ) දින පනහක් තිස්සේ මොළය සේදීමක් කර වින්දිතයාව සියදිවි නසා ගැනීමට මෙහෙයවයි. උදේ 4.20 අවදි වීම වැනි සරළ ක්‍රියාකාරකම්වලින් පටන් ගෙන මේ ක්‍රීඩාව මරණය දක්වාම මෙහෙයවන්නේය.

“ග්ලූමි සන්ඩේ” නොහොත් “හංගේරියන් සූසයිඩ් සෝන්ග්” වැනි ගීත පවා මේ සඳහා යොදා ගනී. මේ ක්‍රීඩාවේ ලින්ක් එක අදාළ පුද්ගලයාට ෆේස්බුක් වට්ස්ඇප් හෝ වෙනත් සමාජ ජාලයක් හරහා ලැබෙයි. මේ ක්‍රීඩාව සාමන්‍ය ලෙසින් බාගත (download) කර ගන්නට හැකියාවක් නැත. ක්‍රීඩාවේ ඇඩ්මින් ලෙස කටයුතු කරන පුද්ගලයා දුර්වල මානසිකත්වයකින් යුතුව සමාජජාල මාධ්‍යවල හැසිරෙන පුද්ගලයන් ඉතා සූක්ෂම ආකාරයට සොයා ගන්නේය. මේ ලින්ක් වැරදීමකින් හෝ ක්ලික් කළ මොහොතේ පටන් ඔවුන් අදාළ පුද්ගලයාගේ දුරකථන පරිගණක ටැබ් ආදිය මේ “මාරක ක්‍රීඩා මෙහෙයවන පුද්ගලයන්” විසින් හැක් කරනු ලබන්නේය. ඉන් පසු ක්‍රමක් ක්‍රමයෙන් ඒ පුද්ගලයා මරණය වැළඳ ගැනීම දක්වාම පොළඹවන්නේය. මේ ක්‍රීඩාව නිසා සියදිවි නසා ගත් අයගේ සිරුරේ කොතැනක හෝ තියුණු ආයුධයකින් සිදුකර ගත් නිල් තල්මසකුගේ රූපයක කැළලක් ඇත.

දුර්වල මානසිකත්වයකින් යුතු පිරිස ලෝකයෙන් ඉවත් කිරීම මේ “බ්ලූවේල් ක්‍රීඩාවේ” ඉලක්කයයි.

තිරය පිටුපස සිට ලෝකය පාලනය කරනවා යැයි සමහරු විශ්වාස කරන “ඉලුමිනාටි” සංවිධානය මේ ක්‍රීඩාව පිටුපස සිටින බව අන්තර්ජාල මූලාශ්‍ර සඳහන් කරයි. එමෙන්ම “ෆ්‍රී ෆයර්” ක්‍රීඩාව ද “ඉලුමිනාටි” සංවිධානයට සම්බන්ධ බව කියැවේ. ඉලුමිනාටි සංවිධානයේ සංකේත වෙන ත්‍රිකෝණය තුළ පිහිටි ඇස, 666 ආදී සලකුණු මේ ක්‍රීඩාව තුළ දකින්නට හැකිය.

ලෝක ජනගහනය අඩු කිරීමත් මුලින් කී ලෙස දුර්වල මානසිකත්වයකින් යුතු පිරිස ලෝකයෙන් සහමුලින් උපුටා දැමීමත් ඔවුන්ගේ ප්‍රධාන අරමුණය.

“ඩාර්ක් වෙබ්” හා “ඩීප් වෙබ්” ආශ්‍රිතව සජීවී වීඩියෝ ක්‍රීඩා දකින්නට හැකිය. මේ ක්‍රීඩා ආශ්‍රිතව මිනී මැරුම් පවා සිදුවෙන බවට පැවසෙයි. සමහරක් ක්‍රීඩා තුළ ස්ත්‍රී පුරුෂ ළමා දූෂණය පවා සිදුවෙන බවට වාර්තා වෙයි.

මත් ඇබ්බැහියත් පරද්දන මාරක වීඩියෝ ක්‍රීඩා

මේ වෙබ්අඩවි වලට සාමාන්‍ය සර්ච් එන්ජින්වලින් පිවිසිය නොහැකිය. ඒ සඳහා වෙනම සර්ච් එන්ජින් ඇත. මේ කටයුතු සඳහා මිනිසුන් පැහැර ගැනීම වැනි කටයුතු සිදුවන නිසා මේවා සාමාන්‍ය ජන ජීවිතයට ඉතා නරක අන්දමින් තර්ජනයක් කරන්නේය.

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව වීඩියෝ ගේම්වලට ඇබ්බැහිවීම මානසික රෝගී තත්ත්වයකි. ජනගහනයෙන් 1% මේ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී ඇති බව හෙළිවී තිබේ.

වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ප්‍රචණ්ඩත්වය වැඩිවීමට හේතුවකි. ඇමෙරිකාවේ පාසල් දරුවන් 227 යොදාගෙන ඔවුන්ගේ ප්‍රචණ්ඩ හැසිරීම් හා වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වීම අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමට කළ සමීක්ෂණයකින් පැහැදිලි වී තිබුණේ ප්‍රචණ්ඩ හැසිරීම් වැඩි පිරිස වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වූ අය බවයි. වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වූ අය බොහොමයක් හැඟීම් දැනීම් දරා ගැනීමට අපහසුතා ඇති අයය.

පසුගිය වර්ෂයේ පකිස්ථානයේ ලාහෝර් නුවර 14 හැවිරිදි සිසුවෙක් තම මව සොයුරියන් දෙදෙනා හා සොයුරා වෙඩි තබා ඝාතනය කළේ මව විසින් “පබ්ජී” ගැසීමට බැන වැදුණු නිසාය. “පබ්ජී” ගැසීමට දුරකථනය නොදුන් නිසා ගල් ගසා සිය මිතුරකු මරා දැමූ 13 වියැති සිසුවෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි. ක්‍රීඩා කරන විට ශබ්ද නොකරන ලෙස ඉල්ලූ අයෙක්ව මරා දැමීම, ක්‍රීඩාවට බාධා කළ පියාගේ අතපය හිස වෙන් කොට මරා දැමීම ආදී අපරාධ රැසක් වීඩියෝ ක්‍රීඩා නිසා සිදු වී ඇත. එමෙන්ම සිය පියාගේ බැංකු ගිණුමෙන් ලක්ෂ 16ක මුදල් ගෙන පබ්ජී ක්‍රීඩා කළ 17 හැවිරිදි තරුණයෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ පබ්ජී තහනම් කළද vpn යොදාගෙන එය ක්‍රීඩා කරන පිරිස ඉන්දියාවේ ඉහළ යමින් ඇත.

කණ්ඩායම් වශයෙන් මුදල් ඔට්ටුවලට මේ වීඩියෝ ගේම් ගැසීම ද අද සාමාන්‍ය තත්ත්වයකි. පොලිසියට අසු නොවී සිය ජාවාරම් කරගෙන යෑමට පබ්ජී යොදාගත් අවස්ථාව ද ඉන්දියාවෙන් වාර්තා වෙයි.

වීඩියෝ ක්‍රීඩාවල යහපත් පැත්තක්ද ඇත. වීඩියෝ ගේම් ප්‍රශ්න විසඳීමේ හැකියාව, තර්කන හැකියාව, බහුකාර්යතාව, වේගවත් හා නිවැරදි තීරණ ගැනීමේ හැකියාව, නිර්මාණශීලීත්වය ඉහළ යෑම මේ අතරින් කිහිපයකි.

එමෙන්ම වීඩියෝ ගේම් යනු හොඳ මුදල් ඉපැයුම් මාධ්‍යයකි. එමෙන්ම බුද්ධි මට්ටම් ඉහළ දමාගැනීමේ හැකියාවද මේ “වීඩියෝ
ගේම්” අතර ඇත.

1950 සහ 1960 ගණන්වල දී වීඩියෝ ක්‍රීඩා ආරම්භ වූයේ යැයි සැළකේ. 1962 වර්ෂයේදී ඇමෙරිකාවේ, මැසචුසෙට්ස් ඉන්ස්ටිට්යුට් (Massachusetts Institute of Technology (MIT) හිදී පැවති වීඩියෝ සංදර්ශනයකදී එවැනි ක්‍රීඩාවක් මුල් වරට හඳුන්වා දී ඇතැයි ද කියැවේ.

එකල මෙතරම් මාරක ඝනයේ වීඩියෝ ක්‍රීඩා දකින්නට ලැබුණේ නැත. එකල පරිගණකය පවා සුලබ නොවූ අවදියක මේ ගැන කිසිවකුත් අවධානය යොමු නොකරන්නටද ඇත. කෙසේ හෝ වර්තමානය වන විට පරිගණකය තරමටම හෝ ඊටත් වඩා ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන පිරිස වැඩිය. ඒවා භාවිතා කර හොඳම දේට වඩා නරක දේ කරන පිරිසද වැඩිය.

මත් ඇබ්බැහියත් පරද්දන මාරක වීඩියෝ ක්‍රීඩා

මතට ඇබ්බැහි වූ අයකු හඳුනාගැනීම පහසු වුවද, වීඩියෝ ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිහිය විකල් කරගත් අයකු හඳුනාගැනීම පහසු නැත. එවැනි වීඩියෝ ක්‍රීඩා හඳුනා ගැනීමද පහසු නැත. එහෙයින්ම තත්ත්වය තරමක් දරුණුය. මුදල් හදල් යහමින් ඇති පවුල්වල දරුවෝ තමන්ගේ කාමරවල අධික මිල ගණන් වැයවන පරිගණක, ශබ්ද උපාංග සවිකරගෙන මෙවැනි ක්‍රීඩා සඳහා යොමුව සිටී. කෑමට බීමට හෝ කාමරයෙන් එළියට නොඑන දරුවන් ගැන මවුපියන් විමසිලිමත් විය යුතුය. “වීඩියෝ ගේම්” ඇබ්බැහිය, මත්ද්‍රව්‍ය ඇබ්බැහිය තරමින්ම භයානක බව ලොව ප්‍රකට මනෝ වෛද්‍යවරුන් පවා කියන්නේ ඒ නිසාය.

මදුෂානි කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment