පුරා වස්තු කොල්ලය සහ අකුණු සන්නායකය

903

බි්‍රතාන්‍ය ආක්‍රමණිකයන් ශ්‍රී ලංකාව අත්පත් කරගැනීමෙන් පසු මුලින්ම කරන ලද්දේ වෙහෙර විහාර කඩා ඒවායේ තිබූ ධනය එකතු කර ගැනීමය. මෙහිදී අප අදහස් කරන්නේ වෙහෙර විහාරවල තැන්පත් කෙරුණු මුදල් ධනය නොව රත්තරන් කරඬු, රත්තරන් බුදු පිළිම, මැණික් එබ්බවූ පාත්‍ර වැනි වටිනා දේවල්ය. ඒවා සුද්දකර ගැනීමෙන් පසු ඔවුන්ගේ ඊළඟ පියවර වූයේ රට පුරා වළදමා ඇති නිධන් ටික හෑරීමය. මෙසේ හාරන ලද නිධන්වලින් ලබාගත් රත්තරන්, රිදී, මැණික්, පුරා වස්තු තොගයකුත්, පුස්කොළ පොත් දහස් ගණනකුත්, එක්දහස් අටසිය ගණන්වල ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු භාරව සිටි එච්.සී.පී.බෙල් විසින් නැව් දෙකක පටවා එංගලන්තයට පිටත් කර හරින ලදි. මේ පුරා වස්තු මංකොල්ලයේදී සතුටු විය හැකි කාරණයක් ද අප සතුව තිබේ. එනම් මෙසේ කොල්ලකෑ රත්තරන් ද මැණික් ද පුස්කොළ පොත්ද යන සියල්ලම අදටත් එංගලන්තයේ කෞතුකාගාරවල සුරක්ෂිතව තිබෙන බවය. එහෙත් ඒවා ඔවුන් මළාට ආපසු අපට දෙන්නේ නැත. 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු, එතෙක් රාජ්‍ය මට්ටමෙන් පවත්වාගෙන ගිය නිධන් කොල්ලකෑමේ කර්මාන්තය සිවිල් කොල්ලකරුවන් විසින් අතට ගන්නා ලදි. ඒ අනුව මේ රටේ වෙහෙර විහාරවලින් සහ ගල් පර්වත යට සඟවා තිබූ නිධන් වස්තු කොල්ලකන ලදි. ශ්‍රී ලංකාවේ නිධන් වස්තු පිළිබඳ කතාව ද පෘථිවි ගෝලයේ ඛනිජ තෙල් පිළිබඳ කතන්දරය හා සමානය. මතුයම් දවසක අපේ භූ ගර්භයේ තිබෙන ඛනිජ තෙල් අවසන් වන බව කියන නමුදු ඛනිජ තෙල් කොපමණ ඉතිරිව තිබෙනවාද යන්නත් ඛනිජ තෙල් ඉවර වන මතුයම් දවස කවදාද යන්නත් කව්රුත් දන්නේ නැත. ඒ ආකාරයෙන්ම රජවරුන් සහ ඉපැරණි ධනවත් ජන ප්‍රධානීන් විසින් මේ රටේ වළ දමන ලද නිධන් ප්‍රමාණය කවදා අවසන් වේද යන බව කිසි කෙනෙක් දන්නේ නැත. ඒ නිසා දේශපාලනඥයෝද එසේ නොවන අයද තොගයට නිධන් හාරති. සමහරු එසේ කරන්නේ රත්තරන් සහ මැණික් ලබා ගැනීමටය. තවත් අය හෙණරාජ තෛලය, අදෘශ්‍යමාන වීමේ තෛලය වැනි මනඃකල්පිත තෙල් ජාති සෙවීමේ ගොන් වැඩ සඳහා නිධන් හාරති. පොතුවිල් ප්‍රදේශයේ පිහිටි ඉපැරණි මුහුදු මහා විහාරයේ නිධානයකින් ලබාගත් කරඬුවක් සහ එම කරඬුව රුපියල් කෝටි 100 ට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයන් දෙදෙනකු එස්. ටී. එෆ්. එක මගින් අත්අඩංගුවට ගෙන ඇත. කාවන්තිස්ස රජතුමා විසින් මීට අවුරුදු 2000 ට පෙර මුහුදු මහා විහාරය තනවන ලදි. විහාර මහා දේවිය පැමිණි යාත්‍රාව අවුරුදු 2000 ට පෙර ගොඩගසන්නේ අද මුහුදු මහා විහාරය ඉදිකර තිබෙන වෙරළට ය. කාවන්තිස්ස රජතුමා පසුව විහාරමහා දේවිය සමග විවාහ වූ අතර සිය ප්‍රියාදර බිරිඳ මුණගැසුණු තැන අනාගත පරපුරට සිහිපත් කරවීම සඳහා එම විහාරය තනවන ලදි. එහි තිබූ නිධානයකින් සොරාගත් කරඬුව විශාල පාෂාණයකින් නිර්මාණය කර ඇති අතර ඉතා වටිනා රතු කැට සහ නිල් කැටවලින්ද දඹ රන් බුදු පිළිමයකින්ද අලංකාර කර ඇති බව පෙනේ. මෙහිදී අතීත දඹරන් පිළිබඳ අර්ථ නිරූපණයක් දීම වැදගත්ය. මීට අවුරුදු 2000 ට පෙර රත්තරන් කැරට් 24 ට පිරිපහදු කිරීමේ තාක්ෂණයක් තිබුණේ නැත. එබැවින් එකල තිබූ රත්තරන් කැරට් 9 සහ කැරට් 8 යනාදී වටිනාකම් ඇති බාල රත්තරන්ය. අපේ රටේ ගොන් හරක්, වෙහෙර විහාර කඩා ඉපැරණි බුද්ධ ශීර්ෂ සිදුරු කොට ලබා ගන්නා රත්තරන් නිධන් වස්තු ඉතාම අඩු මිල කැරට් වටිනාකමක් ඇති බඩුය. මෙවැනි පුරා වස්තු ඉතා සුළු මුදලට විකිණෙයි.

නිධානයක් හෑරීම යනු මේ රටේ සංස්කෘතියෙන් කොටසක් සහ අතීතයෙන් කොටසක් හෑරීම හා සමානය. සංස්කෘතියක් සහ ඉතිහාසයක් නැති ජාතියක් සමාන වන්නේ වනචාරීන්ට ය. ඉතිහාසය යනු සංස්කෘතිය හා සමාන ලෝක උරුමයකි. මේ දෙකම හාරා විකුණාගෙන කන අයට දිය යුතු දඬුවම අර්ථ නිරූපනය කර ගැනීම ඉතා දුෂ්කර බව අපගේ වැටහීම වේ. ලෝකයේ බොහෝ රටවල නිධන් නැත. රාජකීයයකු විසින් නිධානයක් ඇති කරන අරමුණු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න නම් ජාතික ආපදා අවස්ථාවකදී එම නිධානය ගොඩගෙන එහි ඇති වටිනා දේවල් විකුණා එම මුදලින් ජාතික ආපදාවේ විභවය අවම කර ගැනීමය. ඊළඟ අරමුණ නම් අධික තණ්හාව නිසා වටිනා වස්තුව වළ දමා ඊට උඩින් යෝධ ගල් ගෙඩියක් තැබීමය. එසේ නිධන් වළ දැමීමේ ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලුදෙනා (ගල තිබ්බ කට්ටියද ඇතුළුව) පසුව ඝාතනය කරන ලදි. එවිට නිධානය පිළිබඳ රහස දන්නේ රජා පමණි. රජා සිය මරණ මංචකයේදී ද මේ නිධානය පිළිබඳ තණ්හාවෙන් පසුවන නමුදු ඒ පිළිබඳ පුවත සෙස්සන් නොදත් නිසා මහත් සතුටින් මරණයට පත්වී අපායේ උපදී. සැක කටයුතු තැන්වල ඇති විශාල ගල්ගෙඩි හෝ ඇතැම් සලකුණු සහිත යෝධ පර්වත දිහා නිධන් හාරන්නා බලන්නේ කෙළ හලාගෙනය.

මුහුදු මහා විහාරයෙන් ගොඩගත් කරඬුවේ සවිකෙරුණු නිල් මැණික් සහ රතු කැට රූපවාහිනියෙන් ප්‍රදර්ශනය කරන ලදි. අපගේ ඇහේ මිම්මට කෙරුණු තක්සේරුවට අනුව එහි ඇති රතු කැටය සහ නිල් කැටය පමණක් අඩුම ගණනේ රුපියල් කෝටි 200 ක් වටී. මීට අවුරුදු 2000 ට පෙර මැණික් කැපීමේ කලාවක් හෝ තාක්ෂණයක් ලංකාවේ තිබුණේ නැත. Facet කපා ආලෝක පරාවර්තනයෙන් මැණික් ගලේ කාන්තිය වැඩි කිරීමට එකල සිටි අය නොදත්හ. එබැවින් මුහුදු මහා විහාරයේ කරඬුවට අල්ලා ඇත්තේ රවුම් අසමමිතික බෝල වශයෙන් කපන ලද ගල්ය. මේ එක ගලක් ගලවා ගලේ ස්වරූපයට අවනතවී සුප්‍රකට මැණික් කට් එකක් ගැසුවොත් ලංකාවේ ප්‍රශ්නවලින් යම් ප්‍රමාණයක් ඉටුකරගත හැකි ඩොලර් ලබාගත හැකිය. ඒ කෙසේ වුවද ඉතිහාසයේ සහ සංස්කෘතියේ කෑලි ගලවා ඒවායින් Facet කැපීම හෙණ ගහන අපරාධයකි. ලොකුම ප්‍රශ්නය වන්නේ හෙණ ගහන අපරාධය යැයි කීවාට ලෝකයේ මෙවැනි කිසිදු අපරාධකාරයකුට අකුණු සන්නායක නැතුවත් හෙණ නොගැසීම ය.

advertistmentadvertistment
advertistmentadvertistment