යුරෝපයට ළමයින් විකුණන මහා ජාවාරමක්

512

ශ්‍රී ලාංකික දරුවන් මැලේසියාව ඔස්සේ යුරෝපයට රැගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන දෙහිවල පදිංචි 76 හැවිරිදි ද්‍රවිඩ ජාතිකයකු කටුනායක ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනකු රටින් පිට කර මිනිස් ජාවාරම් කිරීමේ අවස්ථාවන් පිළිබඳ චෝදනාවට ලක් වී සිටීම නිසා, මොහු පිළිබඳ විශේෂ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකය වෙත නියෝග කර තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් ඔහු ලුහුබඳිමින්, ඔහු සමීපව නිරීක්ෂණය කරමින් සිටි අතර, ඔහු පිළිබඳව මැලේසියාවේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම පසුබිම යටතේ පසුගිය 25 වැනිදා 14 හැවිරිදි පිරිමි දරුවකු සිය පියා සමග මොහු විසින් මැලේසියාව වෙත රැගෙන යමින් සිටියදී ක්වාලාලම්පූර් නුවර ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන, ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව මොවුන් එදින උදෑසන 09.30 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට, එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ. – 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබූ අතර, ගුවන්තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ අවදානම් තක්සේරු කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

මොහු ඉකුත් 2022 දෙසැම්බර් මාසයේ සිට 2023 අප්‍රියෙල් මාසය දක්වා ශ්‍රී ලාංකික දරුවන් 17 දෙනෙකු මෙසේ මැලේසියාව බලා රැගෙන ගොස් ඇති අතර ඔවුන් සියලුම දෙනා ද්‍රවිඩ ජාතික ළමුන් වීම විශේෂත්වයකි.

ඔවුන් අතරින් ළමුන් 13 දෙනෙකුගේ තොරතුරු ඉහත ආගමන විගමන දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත. එම ළමුන් අතරින් 08 දෙනෙකු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉතිරි 05 දෙනා මඩකලපුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

මෙම දරුවන් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ලබා ගෙන, ඔවුන් සමග මුලින්ම මැලේසියාව බලා පිටත්ව යෑම සිදු කෙරේ . ඉන් අනතුරුව ඔවුන් මැලේසියානු දරුවන් ලෙස අවශ්‍ය ලියකියවිලි සකස් කර ප්‍රංශය සහ එංගලන්තය වෙත මිනිස් ජාවාරමේ නිරත කරවීම සිදු කර ඇත.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment