කරදියනාරු වැඩිම වැටලීම් කළ පොලිසියේ දෙදෙනා මාරු කරලා: පොලිස්පති මැදිහත් වී වැඩේ නවත්වයි

6587

ලොක්කකු ගැනත් විමර්ශනයක්

මඩකළපුව කරදියනාරු පොලිසියේ වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදුකළ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රදේශයේ උසස් නිලධාරියකු විසින් මාරු කර යැවීම වහාම අවලංගු කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම නිලධාරීන් නැවත එම පොලිසියේම රාජකාරි කිරීම සඳහා අනුයුක්ත කර ඇත.

මඩකළපුව කරදියනාරු ප්‍රදේශයේ වැලි ජාවාරම්කාරයකු ලෙස ප්‍රසිද්ධ ප්‍රභා නමැත්තාට අයත් වැලි ටැක්ටරයක් අත්අඩංගුවට ගැනීම මෙම නිලධාරීන් දෙදෙනා මාරුකර යැවීමට හේතු වූ බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.

මෙම ජාවාරම්කරු එම නිලධාරීන් දෙදෙනාට තර්ජනය කරමින් පවසා ඇත්තේ ප්‍රදේශයේ උසස් නිලධාරියකු ලවා ඔවුන් මාරුකර යවන බවය.

එම තර්ජනය සිදුකර දින දෙකක් ගතවන්නට පෙර වැටලීම සිදු කළ මඩකළපුව කරදියනාරු පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු වන කැලුම් සහ විදූෂන් දෙදෙනා කලවංචිකුඩියට සහ එරාවුර් පොලිස් ස්ථාන වලට මාරුකර යවා තිබිණි.

මෙම නිලධාරීන් දෙදෙනාගෙන් කැලුම් නමැති නිලධාරියා ගත වූ මාස 06ක කාලසීමාවේදී කරදියනාරු පොලිසිය කළ මත්ද්‍රව්‍ය සහ නීති විරෝධි වැලි ජාවාරම් 187න් 128ක්ම සිදුකර තිබිණි. විදූෂන් නමැති නිලධාරියා එම වැටලීම් අතරින් 87ක් සිදුකර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත එම නිලධාරීන් දෙදෙනාගේ මාරු කිරීම් වහාම නතර කර ඔවුන් නැවත එම පොලිසියටම අනුයුක්ත කර තිබේ.

මෙවැනි දක්ෂ නිලධාරීන්ගේ රාජකාරි අගය නොකර ඔවුන් විවිධ කෙනෙහිලිකම්වලට ලක් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත එම ප්‍රදේශයේ උසස් නිලධාරියාට එරෙහි විමර්ශනයක් ද ක්‍රියාත්මක කර ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment