තමන් විසින්ම පාඨකයා හට ඒත්තු ගන්වන්නට උත්සහ දරන ‘අදහස’ වඩාත් විචිත්‍රවත් ලෙස කැපී පෙනෙන්නට, එය පාඨකයාගේ මනසේ රඳවා, අලවා තබන්නට රචකයෝ භාෂාමය ක්‍රමෝපායන් භාවිත කරති. ඒ අතරින් ‘උපමා’ යෙදුම් ප්‍රමුඛත්වය ලබයි.

හෙළබසේ සාම්ප්‍රදායික උපමා කොතෙකුත් තිබුණද, ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවෝ ඒවායින් යැපීමෙන් සෑහීමකට පත් නොවෙති. ඔවුහු තමන් විසින්ම තනාගත් උපමා යොදාගනිති. ඔවුනතරින්ද හොඳින්ම කැපී පෙනෙන්නේ පද්‍ය සහ ගීත ප්‍රබන්ධකයන් ය. මතු කී උපමාව පද අතර සැඟව යා නොදී, එය ශ්‍රාවකයාගේ පාඨකයාගේ නොමද අවධානයට ලක්වනු පිණිස, සෙසු පදපේළි ඊට පසුපසින් පෙළගස්වති.

සංගීත උපමා

60 දශකයේ අවසානයේදී නිර්මාණකරණයට බට එදා යෞවනයන් අතර මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්ති ද අල්විස් දෙපොළ මෙන්ම ආචාර්ය අජන්තා රණසිංහ, කේ. ඩී. කේ. ධර්මවර්ධන, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ධර්මසිරි ගමගේ, ඩෝල්ටන් අල්විස්, දයා ද අල්විස් වැන්නෝ වෙති. ඔවුන් විසින් බිහිකළ ‘ගීත’ නම් වූ සුන්දර කුමරියන්ගේ හිස පැළඳි කාන්තිමත් ‘මිණි කිරුළු’ මේ උපමාය. ඒවා නිසා නිර්මාණය නොමද අවධානයට ලක්වෙයි. බබළයි. ගී පබැඳුමකට අපමණ අගයක් ඉන් ජනිත කරදෙයි. මෙය පැහැදිලි කරදිය හැකි නිදසුන් කවරේද?

‘ප්‍රේමය’ උද්ධෘත කොට, එය අරභයා ලියැවුණු ගී ඉතිහාසය දශක හතක් ද ඉක්මවා යයි. මෙම ගීත රචනය පූර්ණ ලෙස කේන්ද්‍රගත වී ඇත්තේ එහි යෙදුණු උපමාව වටාය.

ප්‍රියාවිය, වනයෙන් ගිලගත් ජරාවාස වූ නටබුන් අතර තැන තැන විසිරි ඇති සෙල්ලිපියකි ඔබ මවෙත පිදු ප්‍රේමය.
ඔබේ ආදරේ දෙවනපෑතිස් රජ දවසේ, ශිලා ලිපියක් වාගේ
අව්වැසි වතුරින් පීඩිත වී, බිඳි තැනින් තැන අකුරු මැකී
කියවා ගන්නට බෑ… වටහා ගන්නට බෑ

මහවනවදුලේ අසරණ වී
සියවස් ගණනක් නටබුන් වී
ඉස්පිලි පාපිලි නෑ… පිරුණු වදන් වැකි නෑ

(මහාචාර්ය සුනිල් ආරියරත්න ගැයුම – මර්වින් පෙරේරා විසිනි.)

උපමාවන්ගෙන් සිය නිර්මාණ නිති සරසා ගත් ප්‍රේමකීර්ති ද අල්විස්, දශකයකදී ලද අත්දැකීම් ඇසුරෙන් පරිණතව උක්ත කී ‘ප්‍රේමය’ අරුත් ගැන්වූ වගනම්

රැළකින් තනිවී, වනමැද සරණා
කැකුඵ තුරුණු යාමේ
ඇතෙකුට ඇත්දළ යුවළක් වාගේ
මට ඔබගේ ප්‍රේමේ…

(ගැයුම අබේවර්ධන බාලසූරිය)

ගීත නිබන්ධකයකු ද ලද අත්දැකීම් මතුනොව සම්භාව්‍ය සාහිත්‍යය මෙන්ම ඉතිහාසයෙන්ද සිය නිර්මාණයන් මහත් සේ සරුසාර කරගත හැකි බව, ප්‍රේමකීර්ති විසින් වරෙක මෙලෙසින් ඔප්පු කරන්නට යෙදුනි. 1976 වසරේදී සිනමාවේදී විජය ධර්ම ශ්‍රී හැදූ ‘දුහුළු මලක්’ සංගීතවත් කළේ සංගීතඥ සරත් දසනායක විසිනි.

රෝමය ලෙසේ අතීතයේ… ගිනි ඇවිළේ
යව්වන සිත් නගරේ… වෙන වයා නැළවෙමු
නීරෝ වගේ අපි….

(මිල්ටන් මල්ලවාරච්චි)

උපමාකරණයේ නොමද විස්කම් දස්කම් පෑ ඔහු, හැමවිටම ඊට නැවුම් බවක් එක්කරන්නට තැත් දැරුවේය.

පියාපත් ලැබගත් සිතුවිලි සේනා
මෙරු ලෙස ඉගිලි සැන්දෑ කාලේ…
ඈත පෙනෙන ඔබ දැල්වූ පහනේ…එළියට රැවටී එළිය සොයා….

(ආචාර්ය සුජාතා අත්තනායක)

මේවා ගුරුකොටගත් අංකුර නිර්මාණකරුවන්, කවියන් නිතැතින්ම උපමා නමැති මිණිකිරුළු වෙතින් සිය රචනයන් සරසා ගන්නට නොපැකිළෙයි. ගීත රචනා කලාව දැඩි පසුබෑමකට ලක්වී ඇති වත්මනෙහි, එහි ප්‍රගමනය උදෙසා, ලබාගත හැකි මෙහෙවර බෙහෙවි.

සංගීත උපමා

විපර්යාසයට ලක්වීමේ, විශ්ව නීතියට අවනතව, සියල්ල ක්‍රමයෙන් විපරිනාමයට ලක්වීමේ සංසිද්ධිය ඔහු වරෙක ලියා තැබුවේ මෙලෙසිනි.

විලේ දිය ගඟුළෙදී බොරයි…
ගඟේ දිය සයුරේදී සැරයි

(ඇන්ජලීන් ගුණතිලක)

මේ පිරිසේ ජ්‍යෙෂ්ඨතමයා මෙන්ම උපදේශකයා, ගුරුවරයා වූයේ ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක, නැසීගිය කරුණාරත්න අබේසේකරයන් ය. ඔහුද මෙම ශිල්පයේ කෙළ පැමිණියෙකි. නිදසුන් කවරේද? එමටය, මෙය උපමාකරයකි, උපමා උල්පතකි විමසනු මැනවි.

විලෙන් පෙරෙන දිය විලෙහි නොලන සේ…
වැලෙන් නෙළන මල වැලට නොදෙන සේ…
ඔබෙන් ලබන දුක ඔබට නොදෙන්නෙමි….
මම එය විඳගන්නෙමි රහසේ…..

පහළ ගලන ගඟ සයුරට යනසේ…
අරුණ ගෙනෙන හිරු අවර බසින සේ…
ඔබෙන් ලබන සුව ඔබටම දෙන්නෙමි…
සපුරා සැමතැන එකවිලසේ

නළල මතින් රැඳෙනා හිස විලසේ
දෙනෙත උඩින් ඇති සිනිඳු දෙබැම සේ
සදහට ඔබ ළඟ තනිරැක ඉන්නෙමි
නිරුදක කතරක කෙම් බිම සේ

(අයිරින් ද අල්විස්)

උපමා පෙළකින් සැරසූ ඔහුගේ තවත් නිර්මාණයකදීද මතු ලෙසම, සොබාසොඳුරු බවේ අසිරිය හුවා දක්වයි.

සඳ පිරිලා නැගුනා සේ…. මාගේ ජීවන අම්බරේ
තරු වැහැලා දිලුනා සේ… මාගේ ජීවන අම්බරේ

මල් පොපියා තිබුණා සේ…. පාළු මා හද විල්තලේ
රණ තිසරා සරණා සේ…. පාළු මා හද විල්තලේ

(මිල්ටන් මල්ලවාරච්චි)

උපමාවන් අරුත් නංවනු පිණිස යොදාගන්නා වදන් කවරේද ? ‘සේ, සේමා, වැනි, විලස, විලාසේ, වගේ, වැන්නේ, වාගේ, මෙනි, ලෙස, ලෙසින්, බඳු, බඳුවන්, අයුරු, අයුරින්, විදියට’ යනාදී වශයෙන් ඒවා ලැයිස්තු ගත කළ හැකිය.

පහත කියැවෙන පදවැලෙහි හිමිකාරිය ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකා රත්නා ලංකා අබේවික්‍රමගේ ය. මෙහි කියැවෙන්නිය සිය ප්‍රේමවන්තයාගේ චිත්තස්වභාවය වටහගන්නේ දෙදෙනා හමුවන ‘සයුරු තෙර’ උපමාවට ගනිමිනි.

ඈත දියඹ වැන්නේ ඔබ නිසසල වන්නේ…
මෑත දියඹ වැන්නේ… වරෙක සසළ වන්නේ

(ආචාර්ය සුජාතා අත්තනායක)

පදවැළක සුන්දරත්වය, එයින් බිහිවන ගීතයේ මධුරත්වය, ගීතවත්බව තිව්ර කරන්නේ යළි යළිත් ගැයෙන උපමාවන් වෙතිනි. තත්කාලීන ගී පබැඳුම්කරුවන් අතර හේම ශ්‍රී ද අල්විස් ද විශිෂ්ටයෙකි. සොබාදහම් මාතාවගේ අමිල දායාද දැක දැන හැඳින, වින්දනය කරන්නෝ උපමා උපමේය සංකලනයෙන් ද ශූරයෝ වෙති. පහත නිදසුන් සලකා බලන්න.

දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා

(සුජාතා අත්තනායක)

ප්‍රේක්ෂක හද දිනූ ‘කැලණි පාලම’ වේදිකා නාට්‍යයේ නිර්මාතෘ ප්‍රවීණ නාට්‍යවේදී ආර්. ආර්. සමරකෝන් ද ගීත පබැඳුම් කලාවේ රස රහස් මනාව ප්‍රගුණ කළ රසකාමියෙකු බව මෙලෙසින් ඔප්පු කළේ උපමා දාමයකින් ගීයක මිහිර වඩනායුරු මනාව දැනහැඳිනගෙනය.

කුසුමක් සේ වරළේ රැඳෙනවා
සුවඳක් සේ මා සිරුරේ එතෙනවා
කඳුළක් සේ මා දෑසේ රැඳෙනවා
සුසුමක් සේ මා දෙතොලේ ගැටෙනවා

(ආචාර්ය වික්ටර් රත්නායක – උදයට මා හිරු එළිය ගෙනෙනවා)

සංගීත උපමා

මුලින් කී ලැයිස්තුවේ, මුල්පෙළේ රසවතුන් අතර කේ. ඩී. කේ. ධර්මවර්ධන නාමය ද කිසිවිටක නොහළ යුතුය. ශ්‍රාවකයා සොබාදහම වෙත නැඹුරු කරවන්නට, කරුණු විමසා බලන්නට, ඥානනය කරවන්නට, කුහුලෙන් කුල්මත් කරවන්නට ඔහුගේ එකම යෙදුමක් සමත්වෙයි.

උණ පඳුරක මල් පිපිලා
ඔබේ පෙමත් ඒ වාගේ
මලක් පිපි පෙති හැළිලා
ඔබේ පෙමත් ඒ වාගේ

(විජේසිරිවර්ධන පොළොන්නොවිට)

භාෂාවේ සම්මත උපමාවන් ඉක්මවා, නිර්මාණයක නැවුම් බව රැකගන්නට උත්සහ කළ 70 දශකයේ ගීත රචක ලැයිස්තුවේ, කැපී පෙණුනු කාන්තා නාමයන් අතර ගුවන් විදුලි නිවේදිකා දයා ද අල්විස් ගේ නාමය ද විය. කාන්තාවන්ම තිදෙනෙකු ගේ එකමුතුවෙන් සපිරි දුලබ නිර්මාණයකට සංගීතය සැපයූවේ ආචාර්ය නන්දා මාලිනිය විසිනි.

අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ
මා හැර ගිය ඔබ නොසිතු විළසට
ඇයි දෝ යළි ආවේ….

(නිරංජලා සරෝජිනී)

සිංහල සම්භව්‍ය සාහිත්‍යයේ උපමා කෝෂ්ඨාගාරය ධර්මසේන හිමියන්ගේ සද්ධර්මරත්නාවලිය නම් වූ මාහැඟි කෘතියයි. මේ ගී නිබන්ධකයන් එය ගුරු කරගන්නටද ඇත. කවි ගී පද රචනා කලාවේ නිපුණත්වයේ කිරුළු දරනට වෙර වෑයම් කරනා වත්මන් පරපුරද ඒ මග යන්නේ යළිත් සිංහල ගීත රචනා කලාවට අරුත්බර, සොඳුරු නිර්මාණ පහළවනු ඇති බව නිසැකය.

වල්වැදී නිසරු වී, ක්‍රමයෙන් මුඩුබිමක් බවට පත් වෙමින් යන හෙළ ගී රචනා කලාව, යම්තමින් හෝ ඉන් මුදාගැනීමට එදා මෙම කලාවේ විශිෂ්ටත්වයට පත් වූවන්ගේ උක්ත නිර්මාණගොන්නේ ඇසුර ද ඉවහල් වනවා ඇත. ඒවයින් උකහා ගත හැකි, නිදසුන් එමටය.

රතු කැට වාගේ මැයි මල් පිපි පිපි…, ඈ නිහඬව නෙතු පියා සඳකිඳුරිය සේ….. නීල අහසේ තාරකා සේ ඈ නුවන් දල්වා…., රන්කඳ වාගෙයි රන් මැණීකේ ….(අජන්තා රණසිංහ), බඹරා වගේ ඇත තවම විසේ…(ධර්මසිරි ගමගේ), රණ මොණරයි රණ මොණරිය විලාසේ… වඩාලා දෝත පුරාලා පරවි කුමාරිය සේ…, පියා සලනා ළිහිණියෙකු සේ සැඳෑ ආකාසේ …, සමනල රෑනක් සේ ….දේදුනු දහසක් සේ…. (කරුණාරත්න අබේසේකර), පායන පුන්සඳ නිලාකාසේ වාගෙයි මේ සුදු මූණ පුතාගේ…(විල්ෆ්‍රඩ් සිල්වා), හෙළ ජාතික පියුමි විලේ සුවඳ කැකුඵ මල් වැනී.., හංසියක සේ රැඳෙන්නෙමි…(හේම ශ්‍රී ද අල්විස්), සැන්දෑ අහස වගේ…(ලූෂන් බුලත්සිංහල), සංසාර සෙවනැල්ල ලෙස ආ.., රණමයුරියක ලෙසින් හද තුළ සැරිසරා…, එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ….,(ප්‍රේමකීර්ති ද අල්විස්), පොල්කිච්චි වාගේ රංඩු කරන්නේ…, ගුවන් යානයක් වාගේ පියඹන්…(එම්. එස්. ප්‍රනාන්දු), රන් මලක් ලෙස දෙව් බඹුන් ..(කුමාරදාස සපුතන්ත්‍රි), කිරිලිය සේ දුර පියාසලාළා..ත, තරුවක් වාගේ හෙටත් නොපායන…(අජන්තා රණසිංහ) රිදී පහන් වැටක් වගේ…, සිනාදොළක් වන් සිනාමලී…(සුනිල් ආරියරත්න), කඩියෙක් යනවා රජෙක් වගේ…(ස්වර්ණ ශ්‍රී බණ්ඩාර), සුදුපරෙවි රෑන සේ…(කැමිලස් පෙරේරා), මුතුමැණික් මිණිකැට සෙවනේ කුමරියක් ලෙස මා හැදුනේ…(මෙල්රෝයි ධර්මරත්න), මිහිරි සිහිනයක දැවටුන මිහිරි ගීතයක් වාගේ…. (කේ. ඩී. කේ. ධර්මවර්ධන), නාමල සේමයි පෙණුනේ … රෑන කිතුල් සේම රුවට වරළ උනාලා… (ඩෝල්ටන් අල්විස්), සිහිවටනය සේ කුමක් ලියන්නද …(ධර්ම ශ්‍රී වික්‍රමසිංහ), බැද්ද පුරා සුදු රෙද්ද වගෙයි අද… (හෙන්රි තෙන්නකෝන්), පින්න මුතුවගේ මල් මත නටනු ලස්සනයි…. (දෙල්තොට චන්ද්‍රපාල), මලට බඹරෙකු සේ සිතට ඔබ එනවා.. මුතුපොටසේ හිනාවෙයන්..පුරපෝදා හද වාගේ…මල් පැනි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ…, අලුයම හිරු එළිය වගෙයි නේ… (ක්ලැරන්ස් විජේවර්ධන), සපුමල් සුවඳක් සේ… (දයා ද අල්විස්), ගෙවල් අද්දර…සැදු සෙල්ලම් ගෙවල් වාගේ (කුලරත්න ආරියවංශ)

● ප්‍රභාත් රාජසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment