සත් අවුරුද්දකින්ය
ඔබ ලියා තිබුණේ දෙවැනි කවි පොත
ඉනුත් සත් වසකින්ය
මගේ ඇස ගැසුණේ එකව් පොත

අපරාධයකි
මගේ ඇස කළේ….

සේකර අමරසේකර – විමල් දිසා
සිරි ගුණසිංහ
එදා ලියූ කවියට පසු අමරකීර්ති ලියනගේ
දුටුවේ මම ඔබේ කවිය අහස උසට
දිවිතුරා මා ලියූ කවි සියලු
බලා සිටී එදෙස සසලව
ප්‍රීති සිතකින්

ගමන නිමවන මානයේ සිට
මම දකින්නේ දැන්
ඔබේ ගමන ඉහළ අහසකය
දිවි පුරා මා ලියූ චිත්ත වීථි
පසුකර යයි ඔබ
නූලට ගිනි තියන ඔබෙ කවිය
හැඟීම් ගිනි කෙළියකි

ඒ කවි ඇත්තේ
විශ්වයේ සවුම්ම සියුම්ම තැනකය
ඔබ කීවේත් එයයි

මලක් මල් – සුවඳත් අතර
ඉන්න මට ඉඩ දෙන්න
ගද්‍යත් – පද්‍යත් අතර
ඉන්න මට ඉඩ දෙන්න

මව් රටයි – පිට රටයි අතර ලිහිල් ඉඩ
මට එතැන ඉන්න ඉඩ දෙන්න….

ඔබ ඒ තැන සිට ලියූ කවි
වීදුරු පෙට්ටියක සුළඟකි
විමසන්ට වචන නැති

ඇය නෙත් පහර් වැද සොයනවිට
වංගුව ඇය සඟවගත් නිසා
ඔබ ලියයි

ගෙයක් අඩිපාරක් වංගුවක් මහපාරත්
දෙනවද එහි යන්නට – සිරුරත් මැරිලා යන්න ඉස්සර
සිය දහස්වර මා බලා සිට ඇතත් ඕනෑ
බලන්නට යළිත් ශෝක වංගුව

ඉහළ කවියා දේශපාලනය කවියට ගන්නේ ආත්මීකරණයෙන්

චිත්‍රයක් ඇත ලස්සන
වීර මූණකි ජාතික
විටෙක දෙවියන් බවට පත්වන
කවුද ඇණයක් ගසා එල්ලපු

මගේ මනසේ නිදන කුටියේ
ඝන ඇණයකින් එල්ලපු
චිත්‍රයක් ඇත
මා බිත්තියක එල්ලන

ජාතිවාදී චින්තනය පළමුවෙන් යටත් කර ගන්නේ නිදහස් සිතය කියා කවියා කියන්නේ මානසික අත්දැකීමක් ලෙසය.

අපි කවුරුත් හොඳින් හඳුනන
කදිරගාමර්ගෙ හද සිදුරුවූ හැටි
අප කවුරුත් හොඳින් නාඳුනන
උණ්ඩයෙන් මා හද පරාජය විය
කියන්නද මා පුතුට කදිර් මාමාගෙ මරණය

එදා සිදුවූ කදිර්ගාමර් ඝාතනය ලංකා ඉතිහාසය මහ පාපය කියාය මේ කවියා කවියෙන් අප හද ලියන්නේ.

සුද්දා මැරීමට ජාතිවාදියා අද කරන සටන කවියට නඟන කවියා එය විනිවිද හෙළි කරන්නේ අද අප ජීවත්වන්නේ සුද්දන්ගේ අගනා දේ සමග බවය. එය තමාවම මරා ගැන්මක් බවය.

මා දෙන පහර
මාව රිදවීමටය
සුදු මුහුණ ඉරිලා
මගෙ ලේ ගැලීමය

කවියා දේශපාලනයේ දොර හැරගන්නේ මානවවාදයේ යතුරෙන්ය. ‘ගෝලීයව සිතන්න. ස්වභාවිකව ක්‍රියා කරන්න’ යන එළිසබත් ෂටෝරිස් නව ජීව පරිණාම විද්‍යාඥවරියගේ මහාර්ඝ සංකල්පය මෙහිදී අපට සිහිවේ.

පොඩි කෙල්ල දිනුවනෙ අද අලුත් අවුරුද්දෙ
‘ලොකුම බොරුව තරගෙ
කෙල්ල කිව්වෙ
‘අපේ ගෙදරට ලයිට් අරං’

කවියා කියන්නේ බොරුව දිනුමක් වූ සැටිත් දිනුමම බොරුවක් වූ සැටිත්ද? ගීන්ස්බර්ග් ඇමරිකානු කවියා කියන්නේ කවිය සුලුදෙයට ළංවිය යුතුය කියාය. කවියා ත්‍රීරෝද රථ රියැදුරෙකුට ළංවන්නට තැත් දරන්නේ සහෝදර චේතනාවකින්ය.

මම දුටිමි ඔබ මුහුණ
මට වැඩිය කඩවසම්
මට වැඩියෙ හරිම මොඩ්
ඔහුගේ රථයේ කාරය ගෑවුණු දවසේ කවියාට ඇසුණේ මේ වචනය
ඇයි තොගේ ඇස් පොට්ටද
මහත්තයා දෙනව පන්දාහක්
අනෙකාට ළංවීම සුන්දරම දේකි. වේදනාවකි අනෙකා අපව තේරුම් නොගතහොත්

අමරකීර්තිගේ හැම කවක්ම සිද්ධ කරන්නේ අප අලුත් කල්පනා අහසකට එසැවීමය. ඊට හේතු වන්නේ ඉහළ කවි නිකම්ම භාව ප්‍රකාශනයක් පමණක් නොව ඒවායේ කිසියම් පරිකල්පනීය මූලයක් තිබීමයි.

අමරකීර්තිගේ කවියේ හදවත් දෙකක් ඇත. පරිකල්පනීය මුහුණුවරක් මෙන්ම ඇතුළාන්තය ඕවනීයය. එයයි අපගේ මානසික මණ්ඩලය මෙන් හදවත් මණ්ඩලය ද (MIND SET – HEART SET) පාරවන්නේ. මැදිවියේ විවාහකයකු තුළ තම නිවසට යනෙන මිතුරියක ගැන උපදින විරාග රාගය කවියට නඟා ඇත්තේ සියුම් සැත්කමක් වගේය.

දුර පායලා සේ
දොරින් ඈ ඇතුළුවන
ඈ සිරුර
රශ්මියෙන්
දිස්නයෙන්
ලස්සනින්
දිස්න කළ
රස්න කළ
උස්න කළ

ඈ දැක්මෙන් ඔහු පිපෙන සැටි කවියා සිතන්නේ නළුවෙකු මෙනි. ඔහු හඬක් ඇති වචනම සොයා ගනී. කවියා කියන්නේ තමාගේ මංගල මුදුවේ රශ්මිය නමැති පිහිතලයෙන් ඇය මරා දමන බවය.

මගේ මංගල මුද්ද දිස්නයෙන් දිස්න දී
මායි ඒ පිහිතලය ඇගේ ළය සිදුරු කළ

ඇමරිකන් ජනපදයක පුංචි ගමක සිටියදී එමලි ඩිකින්සන් කිවිඳියට එම නුවර ම සිටි ප්‍රොස්ට් කවියා අහම්බෙන් හමු නොවීම ගැන කඳුළක් අමරකීර්තිගේ කවියක ඇත. ඔහුගේ පැතුම එමලි ප්‍රොස්ට්, ගජමන් නෝනා හා ඒ උයනේ ඇවිදීමටය. ජනතාව නම් පදිකයේ සිටින්නන් නොව මනසේ සිටින අනෙකාය. මොන බසක මොන දෙසත, මොන කලෙක

කවියන් වුව, මිය නොයා වසන
උන් උන් හා දොඩන…..
කවියාගේ නෙත් දුහුවිල්ලෙන් ඉහළට එසවෙන්නකි.
ඊ වැකුණ හද සනසවන තත
යාළුවේ කෝ අපේ වෙණ තත
අපට හමුවෙද යළිත් ඒ තත

පශ්චාත් නූතන සාහිත්‍යය කම්පිත සමාජයක් පිළිබඳ කලාවකි. නූතන කවියා කතා කරන්නේ අවුල්වූ මිනිසාටය. (CONFLICT MAN) කෙනෙක් තව කෙනෙකුට කතා කරන හඬක් අමර කීර්තිගේ ලිවීමෙහි ඇත.

මට ඇසේ මල් පිපෙන සැටි
මම සවන් දී සිටිමි
සඳ නැඟෙන සැටි
ඉර බහින සද්දය
රත් දෙතොල් ඇරෙන හඬ
මේ සියල්ල ම ඇසෙන
එවිට ලියවෙන කවිය
මගේ හොඳම කවිය වේ …..

කවියාගේ විද්‍යාගාරය මේ හැඟීම් ලෝකය නොවේද? කවියා දන්නේ ඒ හැඟීම් පිළිබඳ රසායන විද්‍යාවය. හොඳ කවියක් හඳුනාගන්නා මිම්ම කවියාම තනා දෙයි. අමරකීර්ති ජය ගන්නට තැත් දරන අභියෝගය එයයි.

එය සමාජයට ඔප්පු කරන මිම්මක් නැත්තෙන් ළතවෙමි. එවැනි උත්තම මිම්මක් හදන්න රස්තියාදු වෙමි. මේ නිසා ඔහුගේ කවිය අමරකීර්ති කවියක් වනු ඇත.

● පරාක්‍රම කොඩිතුවක්කු

advertistmentadvertistment
advertistmentadvertistment