චමරි වසරේ අයිසීසී සම්මාන දෙකකට නිර්දේශ වේ

318

ඩිල්ශාන් ද නිර්දේශිත නම් අතරට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු 2023 වසරේ දක්ෂතම පන්දු වාර 20-20 ක්‍රීඩිකාව සහ දක්ෂතම එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව යන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයිසීසී) සම්මාන දෙක සඳහාම නිර්දේශිත වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ 2023 වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශව සිටී.

2023 වසරේ දී චමරි අතපත්තු එක් දින සහ පන්දුවාර විස්සයි විස්ස තරගවලදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත. චමරි 2023 වසරේදී පන්දුවාර විස්සයි විස්ස තරග 16 කට සහභාගි වී ලකුණු 470 ක් ලබා ගත් අතර කඩුලු 8 ක් ලබා ගෙන තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කර ඇත.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස්, එංගලන්තයේ සෝපි එක්කෙලෙස්ටන් සහ ඔස්ට්‍රේලියාවේ එලීස් පෙරී නිර්දේශිත අවසන් නාම හතර අතරට ඇතුළත් සෙසු ක්‍රීඩිකාවෝ වෙති.

2023 වසරේ එක් දින තරග 8 කදී ලකුණු 415 ක් සහ එක් කඩුල්ලක් දවාගෙන ඇති චමරි කණ්ඩායමේ නායිකාව ලෙස ද තම කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ ලබා දීමට සමත්ව ඇත.

එහිදී නවසීලන්තයට එරෙහිව එක දිගට ශතක දෙකක් වාර්තා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය චමරි ඉන් එක් තරගයකදී නොදැවී ලකුණු 140ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ඓතිහාසික ජයග්‍රහණයක් කරා රැගෙන ගියාය.

ඕවර 29කදී ලකුණු 196ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිල පළමු ඕවර හතරේදී ලකුණු 4 කට කඩුලු 2ක් දැවී ගොස් සිටි අවස්ථාවක පන්දු 60 කදී ශතකයට අවතීර්ණ වෙමින් කාන්තා එක්දින ඉතිහාසයේ සිව්වැනි වේගවත්ම සහ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකගේ වේගවත්ම ශතකය ද ඇය වාර්තා කළාය. එක්දින සම්මානය සඳහා ඇය සමග නිර්දේශිත වී සිටින අනෙක් ක්‍රීඩිකාවන් තිදෙනා වන්නේ ඔස්ට්‍රේලියාවේ ඒ. ගාඩ්නර්, නවසීලන්තයේ ඇමෙලියා කෙර් සහ එංගලන්තයේ නැට් එස්. බ්‍රන්ට් ක්‍රීඩිකාවයි.

2023 වසරේදී එක් දින කඩුලු 15 ක් සහ පන්දු වාර 20-20 කඩුලු 12 ක් දවා ගනිමින් ඩිල්ශාන් මධුසංඛ ප්‍රදර්ශනය කළ දස්කම් මත වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා ඔහු නිර්දේශ වී ඇත.

ඔහුට අමතරව නවසීලන්තයේ රචින් රවීන්ද්‍ර, දකුණු අප්‍රිකාවේ ගෙරාල්ඩ් කෝට්සියා සහ ඉන්දියාවේ යශස්වි ජයිස්වාල් එම සම්මානය සඳහා නිර්දේශිත සෙසු ක්‍රීඩකයෝ වෙති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment