විස කසිප්පු තොග පිටින් කොළඹ එයි

271

නීත්‍යානුකූල මත්පැන් මිල ඉහළ යෑම නිසා සෞඛ්‍යයට අහිත කර ලෙස නිෂ්පාදනය කරන අනවසර මත්පැන් (කසිප්පු) විශාල වශයෙන් කොළඹට බෙදා හරින බවට පොලිසියට තොරතුරු ගලා එන බව පානදුර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතා ‘දිවයින’ ට ඊයේ (20දා) පැවසීය.

පානදුර කොට්ඨාශයේ දූෂණ වැටලීම් ඒකකය මගින් සිදු කරන ලද වැටලීමකදී මීගොඩ සහ ජා ඇල ඔතේකැලේ ප්‍රදේශවලදී කසිප්පු බූලි සහ ගෝඩා බැරල් ඇතුළු ස්ප්‍රීතු තොගයක් සමග සැකකරුවන් හත් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. මෙම කසිප්පු නිෂ්පාදනයට ජලය යොදාගෙන ඇත්තේ ඉතාමත් අපවිත්‍ර ස්ථානවලින් බව ද ගෝඩා බැරැල්වල කුණුවී ගිය විවිධ සතුන්ගේ සිරුරු කැබලි පවා තිබූ බව ද පොලිසිය කියයි. ජා ඇල සහ මීගොඩ ප්‍රදේශවල සිට මිනිස් සිරුරට ඉතා අහිත කර මෙම කසිප්පු සතියකට වරක් කොළඹ නගරයට විශාල ප්‍රමාණවලින් බෙදා හරින බව එම වැටලීම් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීවේය.

මෙම කසිප්පු බෝතල් රුපියල් 700 – 800 කට අතර මිල ගණන් වලට අලෙවි වන අතර ට්‍රක් රථවලින් මෙන්ම සුපිරි වාහනවලින් ද මෙම කසිප්පු කොළඹට ගෙන එන බවත් පොලිසිය කියයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment