මම ග්‍රහලෝකයේ වාසනාවන්තම මිනිසා වෙමි

825

තෝර් පෙඩර්සන්

ලෝකයේ හරි අපූරු මිනිස්සු සිටිති. “ඔබ ලෝකයේ රටවල් කීයකට සංචාරය කර තිබේද?” ඒ ප්‍රශ්නය ඩෙන්මාර්කයේ තෝර් පෙඩර්සන්ගෙන් ඇසුවහොත් ලැබෙන පිළිතුර 203කි. විශේෂත්වය වන්නේ මෙකී රටවල් 203 හි සංචාරය කිරීම සඳහා ඔහු කිසිවිටෙක ගුවන් යානයක් භාවිත නො කිරීමයි. පසුගිය ජූලි 24 වෙනිදා පෙඩර්සන් ඩෙන්මාර්කයේ නැගෙනහිර වෙරළින් ඔහුගේ ඓතිහාසික ලෝක සවාරිය නිමා කළේය. මිලාන් මර්ස්ක් නෞකාවෙන් අර්හාස් වරායට පැමිණි ඔහු තමන්ගේ නිවසට ගියේ වසර දහයකට පසුවයි. ලෝකයා ඔහු ගැන කතාකරන්නට ගත්තේ ඊටත් පසුවයි.

මිනිසුන්ට බොහෝ සිහින තිබේ. නමුත් පෙඩර්සන්ට අනුව ඔහුගේ සිහිනය පිස්සුවකි. ලෝකය හිතන තරම් සුන්දර සුව පහසු තැනක් නොවේ. තමන්ගේ පෙම්වතිය සොයා ලෝකය වටා තනිවම ගිය කුමාරයන් ගැන ඇත්තේ රුසියානු සුරංගනා කතාවලයි. ගංගා, දිය ඇලි, කඳු ශිඛර, හිම කඳු හා කාන්තාර පසු කරමින් යන ගමනේදී විෂ ඝෝර සතුන් වග වළසුන් මෙන්ම ගෝත්‍රික මිනී කන්නන්ද ඔහුට හමු වේ. නමුත් පෙඩර්සන් ලෝකය දෙස ඊට වඩා සුබවාදී ඇසකින් බැලුවේය. ඔහු මිනිසුන්ව විශ්වාස කළේය. ඒ නිසාම ලෝකය පුරා සාමකාමී මෙන්ම දරුණු ගැටුම් පවතින කලාප හරහා ගොස් තම ඉලක්කය සම්පූර්ණ කිරීමට ඔහුට හැකිවිය.

2013 දී එනම් වයස 34 දී පෙඩර්සන්ට මෙම නැවුම් අදහස පහල වී ඇත්තේ ඔහුගේ පියා විසින් එවු ලිපියක් හේතුවනි. එතෙක් කිසිවෙකු ලෝකයේ සෑම රටකටම සංචාරය කර නොමැති බව පෙඩර්සන්ට එදින දැන ගැනීමට ලැබුණි. එකදු ගුවන් යානයක් හෝ භාවිත නොකර එසේ ලෝකය පුරා සංචාරය කළ අයෙකු මින් පෙර වාර්තා වන්නේද නැත.

ඉන් දින කිහිපයකට පසු පෙඩර්සන් තම දීර්ඝ සංචාරය සඳහා තම ගමන් මලු අසුරා ගත්තේය. හරියටම 2013 ඔක්තෝබර් 10 වෙනිදා ඔහු ඩෙන්මාර්කයෙන් පිටත් විය. “ඔන්න ඔහේ යනවා” යන හැඟීම මිස වෙනත් විශේෂ සැලසුමක් ඔහු සතුව නොවීය. ඔහු තම සංචාරයට “Once Upon a Saga” යන නාමය යොදා ගෙන තිබුණි. ගමනට පෙර කිසිවිටෙක කඩ නොකරන බවට වූ ස්වයං නීති තුනකට දිවුරුම් දුන්නේය.

සෑම රටකම අවම වශයෙන් පැය 24ක් ගත කරන බවත්, දිනකට දළ වශයෙන් ඩොලර් 20කින් ජීවත් වන බවත් රටවල් සියල්ලේම සංචාරය කිරීමෙන් තොරව ආපසු නිවසට නො පැමිණෙන බවත් එකී ස්වයං දිවුරුම් තුනයි.

දින 3,576 ක් තුළ බහාලුම් නැව් 37 ක්, දුම්රිය 158ක්, බස් රථ 351ක්, කුලී රථ 219ක්, බෝට්ටු 33ක් හා රික්ෂෝ 43ක් ඔහුගේ සංචාරය සඳහා යොදා ගෙන තිබුණි. ඊට අමතරව බොහෝ දුරක් තම දෙපයින් ගමන් කළේය. ගමන් කළ සම්පූර්ණ දුර ප්‍රමාණය සැතපුම් 223,000 කි. එය පෘථිවිය වටා වට නමයක් ගමන් කළා හා සමානය. මුලින්ම ගිය රට ජර්මනිය වන අතර අවසාන රට මාලදිවයිනයි. මාලදිවයිනට යෑමට පෙර පෙඩර්සන් ශ්‍රී ලංකාවේ දින කිහිපයක් ගත කර තිබුණි. සංචාරය කළ රටවල් 203 ට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් ස්වෛරී රාජ්‍ය 195කුත් තවත් මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශ 8කුත් ඇතුළත් වෙයි.

ලෝක ගෝලය වටා ගමන් කිරීම සුන්දර අත්දැකීමක්ම නොවේ. එය අපුරු අදහසකි. නමුත් ලෙහෙසි-පහසු අභියෝගයක් නොවේ. පෙඩර්සන් බටහිර අප්‍රිකාවේදී ඉබෝලා රෝගයටත්, ඝානාවේදී දරුණු මැලේරියා රෝගයටත් ගොදුරු විය. කොවිඩ් වසංගතයටත් ලොක් ඩවුන් නීති වලටත් කොටු වීමට ඔහුට සිදු විය. මැදපෙරදිග කලාපයේදී වීසා සඳහා බාධාවන් පැමිණුනි. මධ්‍යම අප්‍රිකාවට ඇතුලුරෑ වීමට උත්සාහ කිරීමේදී හය වතාවක් ඔහුගේ වීසා ප්‍රතික්ෂේප වී තිබුණි. අත්ලාන්තික් සාගරයේදී ඔහු ගමන් ගත් බහාලුම් නෞකාව දරුණු කුණාටුවකට හසු විය. මොන්ගෝලියාවේ සිට චීනය හරහා පාකිස්තානයට යෑමේ සැලසුම අතහැරීමට සිදුවූයේ චීනය ඊට අවසර නොදුන් නිසාය. ඒ නිසා නැවත සැතපුම් 7500 ක් පසුපසට පැමිණ පාකිස්තානයට ඇතුළු වීමට ඔහුට සිදුවිය.

පෙඩර්සන්ට අනුව මෙම දැවැන්ත ජයග්‍රහණයේ විශාලතම කැප කිරීම කර ඇත්තේ ඔහුගේ බිරිඳයි. ඔහු ඩෙන්මාර්කයෙන් පිටත්වන විට ඇය ඔහුගේ පෙම්වතියයි. හොංකොං දේශයේ සිටියදී ඔහුට ඇය හා විවාහ වීමට අවශ්‍ය විය. විවාහ වුවහොත් ඇය වෙනුවෙන් වීසා අයැදුම්කර ඇයව හොංකොං වෙත ගෙන්වා ගත හැකිය. නමුත් ඒ සඳහා ඔහු නැවත තම මව් රටට යෑමට අවශ්‍යය. ඒ නිසා විවාහය සඳහා විකල්ප ක්‍රමයක් ඔහු සොයා බැලුවේය.

“මම අන්තර්ජාලයෙන් Online ක්‍රමයට අපිව විවාහ කරගන්න සමාගමක් හොයාගත්තා. ඒ ක්‍රමය ඩෙන්මාර්කයේ වලංගු නැහැ. නමුත් හොංකොං එය පිළිගත්තා. මං ඇයට වීසා ලබාගෙන හොංකොං රටට ගෙන්වා ගත්තා. කොරෝනා කාලෙ නිසා ඇයට සති තුනක් නිරෝධායනය වෙන්න සිදුවුණා. අපි දින 100 ක් එකට සිටියා. පසුව අපි වනාටුවල ලස්සන විවාහ උත්සවයක් පැවැත්වූවා. ඇය ආපසු ඩෙන්මාර්කයට ගිහින් මං එනකම් වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළා.” ඔහු තම බිරිඳ හා විවාහව පිළිබඳව මාලදිවයිනේදී මාධ්‍යවේදියෙකුට පවසා සිටියේය.

තම සංචාරයේදී හමු වූ ශ්‍රී ලංකාව පිළිබඳව පෙඩර්සන් ඉහළින්ම වර්ණනා කර තිබුණි. විශේෂයෙන් ලංකාවේ තේ පිළිබඳවත් ආගන්තුක සත්කාර පිළිබඳවත් ඔහු සඳහන් කර තිබුණි. කොළඹ බාබර් සාප්පුවකින් කොණ්ඩය කපා ගත් හැටිත් ඉන්පසුව කරණවෑමියාගේ ශක්තිමත් ඇඟිලි තුඩින් තම හිස සම්බාහනය කළ හැටි පිළිබඳවත් ඔහු ස්මරණය කර තිබුණි. කොටින්ම ශ්‍රී ලංකාව යනු නරකක් කියන්න බැරි තරම් හොඳ රටක් යනුවෙන් පෙඩර්සන් සටහන් කර තිබුණි.

ශානක ලියනගම

advertistmentadvertistment
advertistmentadvertistment