ගාල්ලේ රැඳවි කතට උපන් බිළිඳා කිතුලම්පිටියට

72

ගාල්ල බන්ධනාගාරයේ රැඳවි කාන්තාවක් විසින් ප්‍රසූත කරන ලද බිළිඳා කිතුලම්පිටිය ළමා නිවාසයට භාරදීමට ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලක්මිණී විදාන ගමගේ මහත්මිය නියෝග කළාය.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති ආකාරයට මෙම රැඳවි කාන්තාව අවුරුදු 17 සිට පිරිමි පුද්ගලයන් ඇසුරු කිරීමටත්, මත්ද්‍රව්‍ය භාවිතයටත් ඇබ්බැහි වී ඇති අතර සොරකම් කිරීමටද පටන් ගෙන ඇත. පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති අතර ඇපයට අත්සන් කර ඇත්තේ ඇයගේ මවය. එහෙත් ඇය නඩුවට ඉදිරිපත් නොවී අධිකරණය මඟ හරින්නට වීම නිසා මවට එම ඇප මුදල ගෙවීමට සිදුව ඇත.

එයට පසු වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර ඇති අතර ඒ වනවිට ඇය ගැබිනියක් වුවත් නීත්‍යනුකූල සැමියෙකු සිට නැත. කුස තුළ සිටින දරුවාගේ පියා බව කියන පුද්ගලයාද මේ වනවිට මාතර බන්ධනාගාරයේ රිමාන්ඩ් සිරකරුවකු බවද ඇය පවසා ඇත. දරු ප්‍රසූතියට ආසන්න වීම නිසා බන්ධනාගාර අධීක්ෂණය යටතේ ඇය මහමෝදර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉකුත් දෙසැම්බර් 12වැනිදා දරුවෙකු පූසුත කර ඇත. මැයගේ තත්වය පිළිබඳ සළකා බැලු රෝහලේ සිද්ධි සමාලෝචන කමිටුව ගාල්ල පරිවාස කාර්යාලයට දැනුම්දී ඇත්තේ ළමයාගේ ආරක්ෂාව හා භාරකාරත්වය සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසය. ඒ අනුව ගාල්ල පරිවාස කාරයාලයේ පරිවාස නිලධාරි එස්. කේ. ජයවික්‍රම මහතා අධිකරණයට කරුණු වාර්තා කරමින් ළමයාගේ ආරක්ෂාව හා භාරකාරත්වය සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය දින විස්සක් වයසැති බිළිඳාගේ ආරක්ෂාව හා භාරය සඳහා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළාය.

අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment